මාර්තු මාසයට යෙදී තිබෙන ලෝක එන්ඩොමෙට්‍රියෝසිස් මාසය නිමිත්තෙනි
මාසික ඔසප් වේදනාව සෑම කාන්තාවකටම මුහුණ දෙන්නට සිදුවන සෞඛ්‍යමය තත්ත්වයකි. මෙම වේදනාකාරිත්වය සාමාන්‍ය තත්ත්වයක් ලෙස බොහෝ කාන්තාවන් සිතන නමුත් ඔසප් වේදනාව සෑම කාන්තාවකටම එක හා සමානව ඇති නොවේ. මෙහිදී කෙනකුට සුළු අපහසුතා ඇති විය හැකි නමුත් ඇතැමෙකුට දැඩි වේදනාකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. මේ සඳහා විවිධ හේතු බලපාන අතර එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) නම් රෝගය මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුනාගෙන ඇත. මෙය බොහෝවිට හඳුනා ගැනීමට ප්‍රමාද වන රෝගී තත්ත්වයකි.
මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ප්‍රභාත් රන්දොඹගේ මහතා කරුණු පැහැදිලි කළේ මෙසේය.
එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ මොනවගේ රෝගී තත්ත්වයක් ද?
සාමාන්‍යයෙන් “ගර්භාශයේ ඇතුළත” ඇති පටලය (Endometrium) සෑම මාසයකම වර්ධනය වී ඔසප් සමයේ ඉවත් වෙනවා. මාසික ඔසප් චක්‍රයේදී මෙම Endometrium පටක හෝර්මෝනවලට ප්‍රතිචාර දක්වමින් සක්‍රිය වීමත් ඔසප් කාලය අවසන් වූ පසු අක්‍රිය වීමත් ඊළඟ ඔසප් වාරයේදී නැවත සක්‍රිය වීමත් සිදු වෙනවා. එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය ඇති විට, එම පටලයට සමාන පටල ගර්භාශයේ ඇතුළත පමණක් නොව “ගර්භාශයෙන් පිටතත්” වර්ධනය වෙනවා. එය බොහෝවිට; ඩිම්බකෝෂවල, ගර්භාශ නාළවල, යටිබඩ ආශ්‍රිත ශ්‍රෝණි ප්‍රදේශයේ, මලපහ පද්ධතිය හෝ මූත්‍රාශය අසල සිදු වෙනවා. මේ හේතූන් නිසා දැඩි ඔසප් වේදනාව, උදර කුහරය ඇතුළත පටක සහ අවයව එකට ඇලීම (adhesions), දිගුකාලීන යටිබඩ වේදනාව ඇති වෙන්න පුළුවන්.
මේ රෝගය වැඩි වශයෙන් බලපාන්නේ කුමන කණ්ඩායම්වලට ද?
ප්‍රධාන වශයෙන් ප්‍රජනක වයසේ කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය ඇති විය හැකියි. විශේෂයෙන් වයස අවුරුදු 20–40 අතර කාන්තාවන්ට මෙන්ම, මෙම රෝගය සම්බන්ධ පවුලේ ඉතිහාසයක් තිබෙන කාන්තාවන්ට මේ සඳහා අවදානමක් තිබෙනවා. ඒ වගේම දරු ප්‍රසූතිය ප්‍රමාද කිරීමත්, අවදානම් සාධක වශයෙන් හඳුනාගන්න පුළුවන්.
මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවා ද?
දැඩි ඔසප් වේදනාව
(කාලයත් සමඟ වැඩි වීම)
ඔසප් නොවන දිනවලත් යටි බඩ වේදනාව
ලිංගික සම්බන්ධතාවයේදී වේදනාව
ඔසප් සමයේ මලබද්ධය හෝ මූත්‍රා කිරීමේදී වේදනාව
අධික රුධිර වහනය
ගැබ් ගැනීමට අපහසු වීම
මෙහිදී වැදගත් කරුණක් පැවසිය යුතුයි. එනම් රෝගයේ ප්‍රමාණය සහ වේදනාව සැමවිටම සමාන වන්නේ නැහැ.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කළොත්?
Endometriosis රෝගයේ ප්‍රමාණය (stage) සහ රෝගියාට ඇති වන වේදනාව සෘජුව සමාන වන්නේ නැහැ. මෙම රෝගය සාමාන්‍යයෙන් අදියර 4කට වර්ගීකරණය කෙරෙනවා.
Stage I (Minimal) – කුඩා තැන් කිහිපයක පමණක් තිබීම.
Stage II (Mild) – වැඩි ප්‍රමාණයක පැතිරී තිබීම.
Stage III (Moderate) – ගැඹුරු තැන් සහ කුඩා adhesions.
Stage IV (Severe) – විශාල ovarian cyst (chocolate cyst), ගැඹුරු තැන්පත්වීම් සහ ඝන adhesions.
එහෙත් Stage I හෝ II වැනි “මුල්” අදියරවලදී පවා ස්නායු අසල ගැඹුරු ලෙස තැන්පත්වූ තැන් නිසා ඉතා දැඩි වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම Stage IV අවස්ථාවේ “වර්ධනය වූ” අවස්ථාවකදී පවා සමහර විට වේදනාව අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා රෝගයේ ප්‍රමාණය පමණක් බලා වේදනාව තක්සේරු කරන්න බැහැ. ස්ථානය, ස්නායු සම්බන්ධතාවය සහ දීර්ඝකාලීන පැවැත්ම වැනි සාධක ද වැදගත් වෙනවා.
රෝගය හඳුනාගැනීම ප්‍රමාද වන්නේ ඇයි?
බොහෝවිට මෙම රෝගය ඇති වී වසර ගණනාවකට පසුවයි හඳුනාගන්නේ. ඒ සඳහා හේතු කිහිපයක් බලපානවා. එකක් “ඔසප් වේදනාව සාමාන්‍යයි” යන වැරදි අදහස. ඒ වගේම රෝග ලක්ෂණ වෙනත් රෝග සමඟ සමාන වීම වගේම මෙම රෝගය හඳුනා ගැනීම සඳහා විශේෂිත පරීක්ෂණ අවශ්‍ය වීමයි. මෙවැනි හේතු මත රෝගය හඳුනා ගැනීම සාමාන්‍යයෙන් අවුරුදු 7–10ක් ප්‍රමාද වෙන්නත් පුළුවන්.
රෝගය හඳුනාගන්නේ කොහොමද?
එන්ඩොමෙට්‍රියෝසිස් හඳුනාගැනීම එක පරීක්ෂණයකින් පමණක් සිදු කළ නොහැකියි. රෝග ලක්ෂණ, ශාරීරික පරීක්ෂාව සහ scan පරීක්ෂණ එකට විශ්ලේෂණය කරලා තමයි එය තීරණය කරන්න වෙන්නේ. එය මේ ආකාරයට විස්තර කළ හැකියි:
රෝග ලක්ෂණ පිළිබඳ විස්තරාත්මක වෛද්‍ය පරීක්ෂාව: වෛද්‍යවරයා පළමුව ඔබගේ වේදනාවේ ස්වභාවය, එය ආරම්භ වන වේලාව, මාසික රුධිර වහනය සමඟ ඇති සම්බන්ධය, ලිංගික සම්බන්ධයේ වේදනාව, බඩවැල් හෝ මූත්‍රා වේදනාව, ගැබ් ගැනීමේ අපහසුතාව වැනි කරුණු විමසනවා. පසුව උදරය සහ යෝනි පරීක්ෂාවක් කර ගැඹුරු වේදනා ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කරනවා.
අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (Ultrasound)
මෙය සාමාන්‍යයෙන් පළමු scan පරීක්ෂාවයි. ඩිම්බ කෝෂයේ ඇති “චොකලට් cyst” හඳුනාගැනීමට එය උපකාරී වෙනවා. ඒත් කුඩා පෘෂ්ඨීයව තැන්පත්වූ තැන් සියල්ලම Ultrasound ස්කෑන් පරීක්ෂණයක් මඟින් හඳුනාගන්න බැහැ. එමනිසා ස්කෑන් වාර්තාව සාමාන්‍ය වුණත් රෝගය සම්පූර්ණයෙන් බැහැර කරන්න බැහැ.
MRI (අවශ්‍ය නම්): මෙම රෝගී තත්ත්වය යම් ආකාරයකට වැඩි වීමක් (deep disease) සිදු වී යැයි සැක ඇති අවස්ථාවලදී MRI භාවිත කරනවා. බඩවැල්, මූත්‍රාශය හෝ පටල ආශ්‍රිත ගැඹුරු සම්බන්ධතාව හඳුනා ගැනීමට මෙය උපකාරී වෙනවා. විශේෂයෙන් ප්‍රතිකාර සැත්කම් සැලසුම් කිරීමේදී ප්‍රයෝජනවත් වෙනවා.
ලැපරොස්කොපි සැත්කම (Laparoscopy): මෙය රෝගය තහවුරු කිරීමට ඇති “gold standard” ක්‍රමය ලෙස සැලකෙනවා. කුඩා කැපුම් හරහා කැමරාවක් ඇතුළු කිරීමෙන් රෝග තැන් සෘජුව හඳුනාගන්න පුළුවන්. එමෙන්ම එකම සැත්කමේදී රෝගී පටක ඉවත් කරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙය බහුලව භාවිත වෙනවා.
එන්ඩොමෙට්‍රියෝසිස් හඳුනාගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. රෝග ලක්ෂණ සහ scan පරීක්ෂණ එකට සලකා බැලීම අත්‍යවශ්‍යයි. “Scan එක සාමාන්‍යයි” යනුවෙන් වේදනාව නොසලකා හැරීම සුදුසු නැහැ.
එන්ඩොමෙට්‍රියෝසිස් තිබුණොත් ගැබ්ගැනීමේ ගැටලු ඇති වෙනවා ද?
සියලුම කාන්තාවන්ට එහෙම වෙන්නේ නැහැ. බොහෝ දෙනා ස්වභාවිකව ගැබ්ගන්නවා. නමුත්, ඩිම්බකෝෂවලට හානි වීම, උදර කුහරය තුළ පටක ඇලීම සහ ශ්‍රෝණි ව්‍යුහ වෙනස් වීම සහ විශේෂයෙන් පැලෝපිය නාළවලට හානි වීම නිසා එම නාළ අකර්මණ්‍ය වීම වැනි හේතු නිසා ගැබ්ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. එමනිසා මදසරු බවෙන් පෙළෙන කාන්තාවන් සඳහා ඉක්මන් වෛද්‍ය උපදෙස් ලැබීම ඉතා වැදගත්.
මෙම රෝගය ඉක්මනින් හඳුනා ගැනීම අවශ්‍ය වෙන්නේ ඇයි?
මෙම රෝගය හඳුනාගත්තොත් වේදනාව පාලනය කළ හැකියි. ඒ වගේම ගැබ්ගැනීමේ හැකියාව රැකගන්න පුළුවන් වෙනවා. ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගන්නත් පුළුවන්. එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ ප්‍රජනන වයසේ කාන්තාවන්ට ඇති වන රෝගයක්. ඉක්මන් හඳුනාගැනීම සහ නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මඟින් සාර්ථකව පාලනය කර ගන්න පුළුවන්.
TEXT – ශෂී ගමගේ
