පුරුෂාධිපත්‍යය පැතිරුණු සමාජයක කාන්තාව යනු දිනෙන් දින පුවත් මවන තේමාවකි. මවක් වේවා, දියණියක් වේවා, තරුණියක් වේවා ඔවුනට සමාජය තුළ අත්විඳින්නට
සිදුවන දුක්ඛදායක සහ අනපේක්ෂිත සිදුවීම් පිරිමි පාර්ශ්වයට සාපේක්ෂව වැඩිය. ඕනෑම සංස්කෘතියක පරිසරයක කාන්තා හිංසනය අතිප්‍රබල ලෙස ක්‍රියාත්මක වන සාහසික ක්‍රියාවලියක් වේ. එහි එක් පැතිකඩක් ලෙස කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් දසුන් සමාජ මාධ්‍යයට හෝ අන්තර්ජාලයට අවසරයකින් තොරව මුදාහැරීම අද වන විට සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙන ඛේදනීය තත්ත්වයකි.
විශේෂයෙන් අද සමාජය තුළ ප්‍රේමවන්තයන් තමා ආදරය කළ ප්‍රේමවන්තියගේ නිරුවත ලෝකයාට හෙළි කිරීමට තරම් පහත් තත්ත්වයට පත්ව ඇත. මෙහි ඇති අනුවේදනීයම කාරණය වන්නේ එම නිරුවත් පින්තූර වේවා, දර්ශන පට වේවා ඒවා සමාජ මාධ්‍ය තුළ පළ කරනවා යැයි පවසමින් ඔවුන් තර්ජනය කිරීම හා මානසික පීඩාවක් ලබාදීමයි.
එමෙන්ම සමාජ මාධ්‍ය තුළ පවතින වාරණමය තත්ත්වයන් සීමාසහිත නිසා, ව්‍යාජ ගිණුම් තුළින් මිනිසුන් රවටමින් උපක්‍රමශීලිව පුද්ගලයන්ගේ නිරුවත් ඡායාරූප ගන්නා පිරිස් හා පසුව ඒවා රැගෙන තර්ජනය කරමින් මුදල් කඩාගන්නා වංචාකරුවන් ද සිටින බව අප කවුරුත් දන්නා කාරණයකි.
මෙවැනි නිරුවත් දර්ශන, නිරුවත් ඡායාරූප කෙනෙකුගේ අවසරයකින් තොරව අවභාවිතයට ගැනීම බරපතළ වරදකි. ඒ අනුව ඔබ ඒ පිළිබඳව ඇති නීතිමය රාමුව දැනගැනීම ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකාව තුළ යමකුගේ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන අවසරයකින් තොරව හුවමාරු කිරීම හෝ පළ කිරීම වරදක් බව කියවෙන නීතීන් කිහිපයක්ම පවතී.
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act, No 9 of 2024)
මෙම පනත ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර වැළැක්වීමට ඇති ප්‍රධානතම නීති තත්ත්වයකි. යම් පුද්ගලයකුගේ පෞද්ගලික තොරතුරු (ඡායාරූප, වීඩියෝ) ඔවුන්ගේ කැමැත්තෙන් තොරව අන්තර්ජාලයට මුදාහැරීම හරහා සිදුවන හිරිහැරවලට එරෙහිව දඬුවම් ලබාදීමට මේ හරහා හැකියාව තිබේ. විශේෂයෙන්ම හිටපු පෙම්වතුන් හෝ වෙනත් අයෙකු විසින් පළිගැනීමක් ලෙස නිරුවත් ඡායාරූප බෙදාහැරීම සම්බන්ධව සිදුකරන නීතිමය පියවරක් ලෙස මෙම පනත පෙන්වා දිය හැකිය.
දණ්ඩ නීති සංග්‍රහය
දණ්ඩ නීති සංග්‍රහය තුළ ලිංගික හිරිහැර පිළිබඳව 345 වගන්තිය තුළ කාන්තාවට ඇගේ කැමැත්තෙන් තොරව නිරුවත් ඡායාරූප පෙන්වීම හෝ ඒවා පෙන්වා බියවැද්දීම ලිංගික හිරිහැරයක් සේ සැලකේ. අපරාධමය බියගැන්වීම, නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසා මුදල් හෝ ලිංගික අල්ලස් ඉල්ලීම අපරාධයක් බව එහි අනාවරණය කරයි.
අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත
අසභ්‍ය හෝ නිරුවත් ඡායාරූප නිෂ්පාදනය කිරීම, විකිණීම, බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය කිරීම මෙම පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව දක්වා තිබේ.
පරිගණක අපරාධ පනත (Computer Crime Act, No 24 of 2007)
මෙම පනතට අනුව පරිගණකය හෝ ජංගම දුරකතනයක් භාවිත කර යමෙකුගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන පරිදි ඡායාරූප ලබාගැනීම හෝ බෙදාහැරීම සිදු කරන්නේ නම් එම පනතට අනුව නීතිමය පියවර ලබාගත හැකි බව දක්වයි.
මෙම නීතිමය තත්ත්වයන් අනුව ලංකාවේ නිරුවත් ඡායාරූප, වීඩියෝ අත්තනෝමතික ලෙස ප්‍රචාරණය කරන්නන් හට දඬුවම් ලබා දිය හැකිය. මෙවැනි තත්ත්වයකදී සහන සලසා ගත හැකි ප්‍රධානතම හා සුදුසුම ක්‍රමයක් වන්නේ ළඟම ඇති පොලිස් ස්ථානය හෝ ශ්‍රී ලංකා
පොලීසියේ ළමා හා කාන්තා
අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. එමෙන්ම මේ හා සම්බන්ධ තත්ත්වයකදී හදිසි ඇමතුම් ලබා ගැනීම සඳහා 109 දුරකතන අංකය හා 0112 444 444 යන දුරකතන අංක භාවිත කරමින් අදාළ පාර්ශ්ව දැනුවත් කර නීතිමය උපදෙස් හා සහන ලබාගත හැකියි. එමෙන්ම [email protected] ඊ-තැපෑල වෙත සාක්ෂි සහිතව පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
යම් හෙයකින් නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ඔබ අත්තනෝමතික ලෙස ප්‍රචාරණය කළ අයෙකු ලෙස පළමු වරට වරදකරුවකු වුවහොත් වසර පහක් නොඉක්මවූ සිර දඬුවමක් හෝ රුපියල් 500,000 නොඉක්මවන දඩ මුදලක් නියම කෙරේ. එමෙන්ම දෙවැනි වරට හෝ නැවත වරදකරුවකු වුවහොත් වසර දහයක සිරදඬුවමක් සහ රුපියල් මිලියනය දක්වා දඩ මුදලකට මුහුණ දීමට ඔහුට සිදුවේ. මේ නිසා මෙම නිරුවත් ඡායාරූප, වීඩියෝ පට අවභාවිත කිරීම, ඒවා පෙන්වා තර්ජනය කිරීම ඉතාමත් බරපතළ දඬුවම් හිමිවන වරදක් බව සියලු දෙනා වටහා ගත යුතුය.
මෙවැනි තත්ත්වයන්ගෙන් මිදීමට නම් තමා පවුලෙන් පිට සාමාජිකයන් සමඟ ගනුදෙනු කිරීමේදී පමණ දැනගෙන ඇසුරු කිරීම ඉතා වැදගත් වේ. ප්‍රේමවන්තයන් අතරේ වුවද විවාහයට පෙර යම් යම් ලිංගික සීමාකම් තබා ගැනීමට තරුණ පිරිස පෙලඹිය යුතුය. එමෙන්ම සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ඔබ නොදන්නා කෙනෙකු මෙවැනි බලහත්කාරකම් කරන්නේ නම් එවැනි අවස්ථාවලින් ඔබ ඈත්වීමට ඔබ තුළ ශික්ෂණයක් ඇති කරගැනීම කළ යුතුය. නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන වෙනත් කෙනෙකුට යැවීමට පෙලඹුණහොත් සෑම විටම තමා ගැනත් තම පවුලටත් මින් ඇතිවිය හැකි භයානක තත්ත්වය පිළිබඳව තමාටම වැටහිය යුතුය. ඔබේ ආරක්ෂාව ඇත්තේ ඔබ සතුවය. ඒ නිසා මනා සැලකිල්ලෙන් සහ හැඟීම්වලට වහල් නොවී බුද්ධියෙන් ක්‍රියා කරන්නේ නම් මෙවැනි තත්ත්වයන්ගෙන් ඔබට පහසුවෙන් මිදිය හැකිය.
TEXT – ජිවන්ත ගුණවර්ධන
