Tuesday, March 31, 2026
Epaper
Home විශේෂාංගආදරය-විශ්වාසය සහ සතුට පිටුපස ඇති විද්‍යාත්මක රහස

ආදරය-විශ්වාසය සහ සතුට පිටුපස ඇති විද්‍යාත්මක රහස

by Shanaka Lakehouse

ආදරය කියන්නේ අපේ හදවතට දැනෙන හැඟීමක් විතරක් නෙවෙයි. ආදරය අපේ මොළය තුළ සිදුවන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මෙම ක්‍රියාවලියට උදවු වන හෝමෝනය ඔක්සිටොසින් හෙවත් ආදර හෝමෝනය ලෙස හඳුන්වයි. මෙම ඔක්සිටොසින් හෝමෝනය යනු අපගේ මොළයේ හයිපොතැලමස මඟින් නිපදවන පිටියුටරි ග්‍රන්ථිය මඟින් රුධිරයට මුදා හරින ස්වාභාවික හෝමෝනයකි.

මෙය ප්‍රධාන වශයෙන් සමාජීය බැඳීම්, අන්තර් පුද්ගල සම්බන්ධතා වැනි මානසික තත්ත්වයන් සඳහා බලපාන හෝමෝනයකි. මිනිසුන් අතර ඇති වන ආදරය, විශ්වාසය සහ අනුකම්පාව වැනි හැඟීම් ජනනය කිරීමට මෙම හෝමෝනය දායක වන නිසාම මෙය ආදර හෝමෝනය ලෙස හඳුන්වයි. වැලඳ ගැනීමකදී හෝ ආදරණීය ස්පර්ශයකදී මෙය ශරීරය තුළ ශීඝ්‍රයෙන් ඉහළට යන අතර එයින් හිතට මහත් සතුටක් සහ ආරක්ෂිත බවක් ලබා දෙයි.

මොළයේ සිදුවන මෙම සංකීර්ණ ක්‍රියාවලිය සඳහා ඔක්සිටොසින් හෝමෝනය වගේම ඩෝපමින්, සෙරටොනින්, එන්ඩොර්ෆින් වැනි හෝමෝන ද උදවු වෙයි.

ඔක්සිටොසින් හෝමෝනය මවක් සහ දරුවෙක් අතර පවතින ලොව ශක්තිමත්ම බැඳීමට ප්‍රධාන හේතුව වෙයි. දරු ප්‍රසූතියේ දී ගර්භාෂය සංකෝචනය කර දරුවා මෙලොවට බිහි කිරීමට මඟ පාදන්නේ මෙම හෝමෝනය යි. දරුවා ඉපදුණු පසු මව සහ දරුවා අතර ඇති වන ශරීර ස්පර්ශයන් හරහා මවගේ සිරුරේ ඔක්සිටොසින් අධික ලෙස නිපදවේ.

එමඟින් මව තුළ දරුවා කෙරෙහි දැඩි සෙනෙහසක් ඇති කරන අතරම මවුකිරි දීමේ ක්‍රියාවලියේ දී පියයුරු වලින් පහසුවෙන් කිරි ගලා යෑම සඳහා උපකාර කරයි. දරුවාගේ වර්ධනයට මෙන්ම මවගේ මානසික සුවතාවට ද මෙය එකසේ බලපායි.

ඔක්සිටොසින් මට්ටම සිරුරේ නිසි පරිදි පවත්වා ගැනීම අපගේ මානසික සෞඛ්‍යයට ඉතා වැදගත් වෙයි. මිනිසුන් පිළිබඳ විශ්වාසයන්, බැඳීම් ඇති කර ගැනීමට මෙය උපකාරී වෙයි. දරුවකු තුළ මව කෙරෙහි ඇති වන විශ්වාසය සහ ආරක්ෂිත හැඟීම නිසාවෙන් දරුවා කිරි උරා බීම සිදු කරයි. එසේම සහෝදර සහෝදරියන්, ප්‍රේමවන්තයන්, මිතුරු මිතුරියන් සමඟ විශ්වාසය, සමීපත්වය ඇති කර ගැනීමට මෙම හෝමෝනය බලපායි. සමාජ හැසිරීම්වලදී අනෙකා සමඟ සුහදශීලීව කටයුතු කිරීමට, අනෙකාට අනුකම්පා කිරීමට, උදවු උපකාර කිරීමට, කණ්ඩායම් සමඟ සහයෝගීව කටයුතු කිරීමට මෙම ඔක්සිටොසින් මට්ටම හොඳ මට්ටමට තිබීම වැදගත් වෙයි. එසේම ආතතිය, කාංසාව වැනි හැඟීම් අඩු කිරීමට ද මෙම හෝමෝනය ඉතා වැදගත් වෙයි.

ඔක්සිටොසින් බොහෝ විට ධනාත්මක හෝමෝනයක් ලෙස හැඳින්වුව ද මෙහි යම් අඳුරු පැතිකඩක් ද පවතී. ධනාත්මකව ගත් විට මෙය රුධිර පීඩනය අඩු කරයි, මානසික ආතතිය ඇති කරන හෝමෝන පාලනය කරයි, වේදනාව, දරා ගැනීමේ ශක්තිය වැඩිකරයි.

නමුත් මෙහි අහිතකර බලපෑම් ලෙස ඇතැම් අවස්ථාවලදී අන් අය කෙරෙහි ඇති වන ඊර්ෂ්‍යාව හෝ සැකය වැනි දෑ වැඩි කිරීමට මෙය බලපෑම් කරයි. කණ්ඩායම් භේදය ඇති කිරීමට, තමන්ගේ කණ්ඩායමට පමණක් දැඩි ළැදියාවක් දැක්වීමට හා පිටස්තර කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීමට, වෛරය සහ ආක්‍රමණශීලී හැඟීම් ඇති කිරීමට ද ඔක්සිටොසින් ඇතැම් විට බලපෑම් කරයි.

මෙම තත්ත්වය මඟහරවා ගනිමින් ඔක්සිටොසින් මට්ටම ස්වාභාවිකව වැඩි කිරීමට නම් සමාජීය සබඳතා ශක්තිමත් කරගත යුතුය. තමන් ආදරය කරන අය සමග කාලය ගත කිරීම, ආදරණීයන් වැලඳ ගැනීම, මිතුරන් සමඟ කාලය ගත කිරීම, විනෝද චාරිකා යාම, සමාජ අන්තර් ක්‍රියාවල යෙදීම, සුරතල් සතුන් සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කිරීම, අන් අයට උදවු උපකාර කිරීම, සන්සුන් සංගීතයකට සවන් දීම, යෝග වැනි ව්‍යායාම්වල නිරත වීම, භාවනා කිරීම සහ සිහියෙන් හුස්ම ගැනීම වැනි ක්‍රියාවන් මඟින් සිරුරේ ඔක්සිටොසින් මට්ටම ඉහළ නංවා ගැනීමට හා දෛනික ආතතිය පාලනය කර ගනිමින් සමබරව මෙම මට්ටම පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙයි.

අවසාන වශයෙන් මෙම ඔක්සිටොසින් හෙවත් ආදර හෝමෝනය අපගේ ජීවිතය වඩාත් අර්ථවත් සහ සතුටුදායක කරන ජීව විද්‍යාත්මක පදනම ලෙස හැඳින්විය හැකියි.

 

TEXT – ඩබ්ලිව්. දුලක්ෂි ඩයස්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?