Tuesday, March 31, 2026
Epaper
Home විශේෂාංගජීවිතය දිනන්න නම් අදම ඔබේ Circle එක නිවැරදි කරගන්න

ජීවිතය දිනන්න නම් අදම ඔබේ Circle එක නිවැරදි කරගන්න

ඔබේ මිතුරු කල්ලිය ඔබේ අනාගතය ලියන පෑනද?

by Shanaka Lakehouse

මොහොතකට ගැඹුරින් සිතන්න. ඔබ අද සිටින තැන සිටින්නේ ඔබේම දක්ෂතාව සහ කැපවීම නිසාම පමණක්ද? පිළිතුර ‘නැත’ යන්නයි. මිනිසෙකුගේ සාර්ථකත්වය පිටුපස ඔහු තනිව කරන අරගලයට වඩා, ඔහු දිනපතා ඇසුරු කරන සමීපතම මිනිසුන් හතර පස්දෙනාගේ බලපෑම අතිවිශාලය. මනෝවිද්‍යාඥයන් පවසන පරිදි, ඔබ යනු ඔබ ඇසුරු කරන සමීපතම පුද්ගලයන් පස්දෙනාගේ සාමාන්‍යයයි (Average). එනම්, ඔබේ ආකල්ප, ඔබේ කතාව, ඔබේ ඉලක්ක සහ ඔබේ අනාගතය පවා තීරණය වන්නේ ඔබේ ‘Circle’ එක හෙවත් ඔබේ මිතුරු කල්ලිය මතය.

සමහර අවස්ථාවල අපේ පියාපත් විහිදා අහසට පියාඹන්නට උත්සාහ කරන විට, ඒ පියාපත්වලට හයියක් වන ශක්තිමත් මිනිසුන් අප වටා සිටිය හැකිය. එහෙත් ඒ අතරම, අපටත් නොදැනීම අපේ පියාපත් කපා දමන, අපේ ගමන අඩාළ කරන අයද සිටිය හැකිය. ඔබේ මිතුරු කල්ලිය යනු ඔබේ අනාගතය ලියන පෑනයි. ඒ පෑන අතේ තබාගෙන සිටින්නේ ඔබව වට්ටන පිරිසක්ද, නැතහොත් ඔබේ වටිනාකම ඔපමට්ටම් කරන පිරිසක්ද යන්න හඳුනාගැනීමට හොඳම කාලය අදයි.

හීන හකුළුවන “වට්ටන” කල්ලිය හඳුනා ගනිමු

අපේ ‘Circle’ එකේ ඉන්නා සමහර මිතුරන් අපව එකම තැනක හිර කර තැබීමට හරිම දක්ෂය. ඔබ අලුත් ව්‍යාපාරයක්, අලුත් රැකියාවක් හෝ අලුත් ඉලක්කයක් ගැන කතා කරන විට ඔවුන් මුලින්ම පවසන්නේ එහි ඇති අවාසි සහ බාධක ගැනය. “ඕවා ලංකාවේ කරන්න බැහැ”, “ඔයාට ඕවා කරන්න පුළුවන්ද?”, “ඕවා කරලා අන්තිමට නිකමි නන්නත්තාර වෙයි” වැනි වචනවලින් ඔවුන් උත්සාහ කරන්නේ ඔබේ හිතේ ඇති උනන්දුව නැති කිරීමටයි.

මේ අය ඔබව වට්ටන්නේ කෙළින්ම බැණලා නොවේ. ඔවුන් එය කරන්නේ “බොරු ආදරයක්” සහ “බොරු සැලකිල්ලක්” පෙන්වමිනි. “මම මේ ඔයාට තියෙන ආදරේටයි කියන්නේ, ඔය වැඩේ කරන්න එපා” වැනි වචන පිටුපස ඇත්තේ ඔවුන්ගේ යටි හිතේ ඇති බියයි. ඔවුන් බිය වන්නේ ඔබ ඔවුන්ව පහු කරගෙන ඉදිරියට යයි කියාය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබත් ඔවුන් සිටින මට්ටමේම රැඳී සිටිනවා දැකීමටයි. ඔවුන්ට ගැළපෙන පරිසරය වන්නේ එකම තැන පල්වෙන ජීවිතයයි.

Energy Vampires හෙවත් ශක්තිය උරාබොන්නන්

සමහර පුද්ගලයන් සිටිනවා, ඔවුන් සමඟ විනාඩි කිහිපයක් කතා කළහොත් ඔබේ මුළු දවසම එපා විය හැකිය. ඔවුන් හැමවිටම කතා කරන්නේ කාගේ හෝ වැරැද්දක්, ඕපාදූපයක් (Gossip) හෝ තමන්ගේ අවාසනාව පිළිබඳවම පමණි. ලෝකයේ ඇති සියලුම නරක දේ සිදු වන්නේ ඔවුන්ට පමණක් බව ඔවුන් අදහයි. මෙවැනි අයට ‘Energy Vampires’ යැයි කියනු ලැබේ.

ඔවුන් කරන්නේ ඔබේ සිතේ ඇති ධනාත්මක ශක්තිය උරාබීමයි. ඔබ ඔවුන්ගෙන් සමුගෙන එන විට ඔබට දැනෙන්නේ දැඩි තනිකමකි. ඔබ අවට සිටින්නේ නිතරම අනුන් විවේචනය කරන, අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන අය නම්, දැනගන්න – ඔබ සිටින්නේ ඉතාමත් “Toxic” (විෂ සහිත) පරිසරයකය. මෙවැනි පරිසරයක සිටින ඔබට කිසිදාක නීරෝගි මානසිකත්වයකින් යුතුව අලුත් දෙයක් ගැන සිතිය නොහැකිය.

ජීවිතය ඔපමට්ටම් කරන මිනිසුන්ගේ ලක්ෂණ

සැබෑ ලෙසම ඔබට වටිනාකමක් එකතු කරන මිතුරන් හඳුනාගැනීම අපහසු නැත. ඔවුන් කිසිම විටක ඔබට බොරු ප්‍රශංසා කරන්නේ නැත. ඔබ යම් වැරැද්දක් කරන විට, එය කෙළින්ම ඔබේ මුහුණටම කියා ඔබව නිවැරදි කිරීමට තරම් ඔවුන් අවංක වේ. ඔවුහු තමන් දිනන ගමන්ම, ඔබවත් ඒ ජයග්‍රහණය කරා ඇද ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරති.

නැඟී සිටීමට අත දීම

ඔබ වැටුණු වෙලාවට “ඇයි වැටුණේ?” කියා ප්‍රශ්න කරනවා වෙනුවට, “වැටුණු එක ප්‍රශ්නයක් නැහැ, දැන් අපි නැඟිටලා ආයෙත් දුවමු” යැයි පවසමින් ඔබට ශක්තියක් වන්නේ ඔවුන්ය.

අවංක සතුට

ඔබේ ඉතා කුඩා සාර්ථකත්වයකදී පවා තමන්ගේම ජයග්‍රහණයක් මෙන් අවංකවම සතුටු වන්නේ මෙවැනි මිතුරන්ය.

අදහස් (Ideas) බෙදාගැනීම

ඔවුන් නිතරම කතා කරන්නේ පුද්ගලයන් ගැන නොව, අලුත් අදහස් සහ අනාගතය ගැනය. ඔවුන් සමඟ ගත කරන කාලය ඔබට අලුත් දැනුමක් සහ උද්‍යෝගයක් ලබා දෙයි.

ප්‍රමාණයට වඩා ගු ණය වටී Quality over Quantity

අද කාලයේ සමාජ මාධ්‍ය (Social Media) නිසා අපට මිතුරන් දහස් ගණනක් සිටිය හැකිය. එහෙත් ජීවිතයේ බැරෑරුම් අවස්ථාවකදී ඒ දහස් ගණනින් පලක් නැත. ජීවිතය දිනීමට අවශ්‍ය වන්නේ ඔබව තේරුම් ගත්, ඔබට අවංක, නිවැරදි මිනිසුන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පමණි. හැමෝම ඇසුරු කරන්න, සැමටම සිනහවෙන්න, නමුත් ඔබේ හදවතේ රහස් සහ අනාගත සිහින බෙදාගන්නා කුඩා කල්ලිය තෝරාගැනීමේදී ඉතාමත් සුපරීක්ෂාකාරී වන්න. රත්තරන් ගොඩක් අස්සේ ඇති වටිනා මැණික් මෙන් ඒ කිහිපදෙනා ඔබේ ජීවිතයේ වටිනාම වස්තුව වනු ඇත.

Toxic අයගෙන් මිදීම අකෘතඥකමක් නොවේ

සමහර විට ඔබේ සමීපතම මිතුරන් මේ වන විට ඔබව වට්ටන අය බව ඔබ හඳුනාගත්තා විය හැකිය. එහෙත් දිගුකාලීන මිතුදම නිසා හෝ ඔවුන්ගෙන් ඈත් වීම අකෘතඥකමක් යැයි සිතා ඔබ තවමත් ඔවුන් සමඟම රැඳී සිටිනවා විය හැකිය. මතක තබා ගන්න, ඔබේ මානසික සුවයට සහ ඔබේ අනාගතයට වඩා වටිනා කිසිදු යාළුකමක් ලෝකයේ නැත.

ඔබේ දියුණුවට බාධා කරන, ඔබ ඉහළට යන විට කකුලෙන් අදින මිනිසුන්ගෙන් සෙමින් ඈත් වීම තාවකාලික වේදනාවක් වුවත්, එය දීර්ඝකාලීනව ඔබට යහපතක්ම වනු ඇත. ඔබ ඔබව නිදහස් කරගැනීම යනු ඔබ ඔබටම කරගන්නා ඉහළම ගෞරවයයි. ඔබේ ජීවිතය වෙනස් කිරීමට නම්, මුලින්ම ඔබේ ඇසුර වෙනස් කළ යුතුය.

ඔබ සිටින වටපිටාව අනුව ඔබේ වටිනාකම තීරණය වේ. ඔබ රත්තරන් විකුණන වෙලඳසලක සිටිනවාද, නැතහොත් පරණ යකඩ කඩයක සිටිනවාද යන්න ඔබේ තීරණයකි. ඔබට ලොකු සිහින තිබේ නම්, ඒ සිහිනවලට පියාපත් ලබා දෙන මිනිසුන් සොයා යන්න. ඔබව වට්ටන, ඔබේ වටිනාකම අඩු කරන පිරිස්වලින් අදම නිදහස් වී නීරෝගිව සහ ධෛර්යවන්තව ඔබේ ගමන ආරම්භ කරන්න.

 

TEXT – පූර්ණිමා ඉන්දීවරී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?