අධ්‍යාපනය සාර්ථක ජීවිතයකට ලබා දෙන පියාපත් වැනිය. ඒ පියාපත්වලින් පියාසැරිය ලබන සිසු සිසුවියන්ට නිදහසේ ලොව සරන්නට අවස්ථාව සැලසේ. ඒ අනුව සාර්ථකව අධ්‍යාපන කටයුතු සිදු කිරීමෙන් සාර්ථක ජීවිතයකට අඩිතාලමක් ලැබෙනු නිසැකය. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ වෙනුවෙන් පියවර රැසක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ශිෂ්ට සම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් බිහි කිරීමේ අරමුණ යථාවත් කර ගැනීමේ අගනා පියවරක් පසුගියදා සනිටුහන් කළේ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදීය.
එහිදී උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයක පසුවන විශ්වවිද්‍යාලයකදී හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් සිදු විය. මෙය ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඓතිහාසික අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.
අට අවුරුදු සැලැස්මක්
අට අවුරුදු සැලසුමකට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව පසුගියදා සිදුවූයේ මෙහි පළමු අදියරයි. මෙහි පළමු අදියර යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 33කට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි. ඒ සියලු දෙනා 2024 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වෙති. 2025 වසරේ සිට 2033 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබේ. පළමු අදියර යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කළ සිසු සිසුවියන්ගෙන් 9 දෙනෙක් මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න්, මොනෑෂ් විශ්වවිද්‍යාලවලට සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබේ.
උසස් පෙළ විභාගයේ එක් එක් විෂය කාණ්ඩ යටතේ ඉහළ ඉසෙඩ් (Z-score) අගයක් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂක මණ්ඩලයක් හරහා එම අයදුම්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි ශිෂ්‍යත්වලාභින් තෝරා ගැනේ. ඒ අනුව තෝරාගත් සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි.
සියලු පහසුකම් නොමිලේ
මෙම ශිෂ්‍යත්වය යටතේ ශිෂ්‍යත්වලාභින්ට පහසුකම් රැසක් හිමි වෙයි. සියලු ශිෂ්‍යත්වලාභින්ගේ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන ගාස්තු, පාඨමාලා ගාස්තු, ආහාර පාන සහ නවාතැන් පහසුකම් සඳහා වැයවන මුදල්, ගුවන් ටිකට්පත් ගාස්තු, වෛද්‍ය රක්ෂණාවරණ වියදම් ආදිය මෙම ශිෂ්‍යත්වය යටතේ ආවරණය වෙයි. ඒ අනුව එක් ශිෂ්‍යයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 800ක මුදලක් වෙන් කර ඇත. ඔවුන්ගේ උපාධි කාලය වසර 4කි.
උසස් පෙළ විභාගයේ සෑම විෂය කාණ්ඩයකම ඉහළ ඉසෙඩ් අගයක් ලබාගත් උසස් පෙළ සමතුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. ඒ අනුව මේ සඳහා සුදු
සුකම් ලබන සිසු සිසුවියන්ට ලොව පිළිගත්, ශ්‍රේණිගත කිරීම්හි ඉහළ තැනක පවතින විශ්වවිද්‍යාලයකදී සිය ප්‍රථම උපාධිය හැදෑරීමට අවස්ථාව උදා වීම කැපී පෙනේ. ඒ අනුව සෑම ශිෂ්‍යත්වලාභියෙක්ම වරම් ලබන්නේ ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු 500 අතර පවතින විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීමටය. මේ සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු වෙයි. 2025 වසරේ අයවැය මඟින් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුණි. ඒ අනුව මේ සඳහා රුපියල් මිලියන 4001ක මුදලක් වෙන් කර ඇත.
සැමට සමාන අධ්‍යාපන අවස්ථා
මීට පෙර විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබුවේ රටේ ඉහළ පෙළැන්තිය නියෝජනය කරන දෙමාපියන්ගේ සිසු සිසුවියෝය. සාමාන්‍ය පවුලක දරුවෙක් විදේශගතව උසස් අධ්‍යාපනය ලබන්නට නම් නිසැකවම දෙමාපියන් සතු ඉඩකඩම් වස්තු සම්පත් සියල්ලම පාහේ උකස් කරන්නට සිදු විය. එහෙත් ජාතික ජන බලවේග රජය ඒ පැරණි ක්‍රමවලට තිත තබා ඇත. ඔබ කුමන පන්තියක් නියෝජනය කළත්, කුමන රැකියාවක නිරත වුවත් ඔබගේ දරුවා ඉගෙනීමෙන් ලබන විශිෂ්ටත්වය මත ඔවුන්ට විදේශ රටක ඉහළ පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා වෙයි. ඒ සඳහා සියලු වියදම් මෙම ශිෂ්‍යත්වය හරහා ඔබේ දරුවාට හිමි වෙයි. ඉදිරියේදීත් වසර 5ක් පුරාවට මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙනු ඇත.
ලියාපදිංචි වන ආකාරය
මෙහි ශිෂ්‍යත්ව සඳහා ලියාපදිංචි වීමේ පියවර කිහිපයක් පවතී. පළමුවෙන් ශිෂ්‍යත්ව පිරිනමනු ලබන රටවල් විසින් ප්‍රදාන ලිපි සම්බන්ධව නිවේදනය කරනු ලබයි. ඒ නිවේදන වෙබ් සහ පුවත්පත් හරහා ශ්‍රී ලංකා පුරවැසියන්ට දැනුම් දීම මීළඟ පියවරයි. අනතුරුව ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට මාර්ගගත ක්‍රමවේදය හරහා අයදුම්පත් ලබාගත හැකිය. ශිෂ්‍යත්ව අපේක්ෂකයන් මාර්ගගත ක්‍රමවේදය හරහාම අයදුම් කළ යුතු අතර අනතුරුව සලකා බලන නිර්ණායක පදනම්ව සිසුන්ගේ අයදුම්පත් ප්‍රමුඛතාගත කරනු ලබයි. එහිදී තෝරා ගන්නා සිසු සිසුවියන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි නිකුත් කෙරෙයි. අනතුරුව සම්මුඛ පරීක්ෂණ හරහා සුදුසු අයදුම්කරුවන් තෝරා ගනු ලබයි. එසේ තෝරා ගන්නා අයදුම්කරුවන්ගේ නාමයෝජනා විශ්වවිද්‍යාල පිහිටි රටවල් වෙත යොමු කිරීම මීළඟ පියවරයි. අනතුරුව අදාළ රටවල විශ්වවිද්‍යාල මඟින් තෝරාගත් ශිෂ්‍යත්වලාභින්ට පත්වීම් ලිපි එවනු ලබයි. එසේ තෝරාගත් ශිෂ්‍යත්වලාභින්ට ඒ බව දන්වා සිටීම අවසානයේ සිදු වෙයි.
වැඩිදුර තොරතුරු දැන ගන්නේ කොහොමද?
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.mohe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ශිෂ්‍යත්ව අපේක්ෂකයන් https://foreignscholarships.mohe.gov.lk මාර්ගගත දිගුව හරහා යොමු කළ යුතුය. තැපැල් මඟින් එවන කිසිදු අයදුම්පතක් භාර නොගන්නා බව සිහි තබා ගත යුතුය.
මෙයට අමතරව පශ්චාත් උපාධි ශිෂ්‍යත්වද මේ යටතේ ප්‍රදානය කෙරේ. එහිදී ශාස්ත්‍රපති, විද්‍යාපති සහ ආචාර්ය උපාධි පිරිනැමීම සිදු වෙයි. මේ පිළිබඳව ‘තරුණී’ අප සමඟ අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ කියා සිටියේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළාගෙන උසස් පෙළ ඉහළ සාමාර්ථ ලබාගත් සිසු සිසුවියන් දිරිමත් කිරීමටත්, අනතුරුව මෙම ශිෂ්‍යත්වය හරහා උසස් අධ්‍යාපනය ලබමින් රටට ඉහළ සේවයක් ලබා දීමට ඔවුන්ට අත්වැලක් වීම මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයේ අරමුණ බවයි.
