ශ්‍රී ලාංකේය සමාජය තුළ මවුපියන් රැකබලා ගැනීම පවුලේ ප්‍රධාන වගකීමක් ලෙස වටිනාකම් පද්ධතියට එක්ව තිබුණි. වර්තමාන ආර්ථික අභියෝග හමුවේ
එම වගකීම ඉටුකිරීම දරුවන්ට ද අසීරු වී තිබේ.
ජීවිත කාලය පුරාම දහදිය හෙළා පවුල සහ රට වෙනුවෙන් කැපවූ බොහෝ දෙනා සිය සේවා කාලය නිමවන විට ස්ථිර ආදායමක් නොමැතිව අසරණ වීමේ අවදානමට මුහුණ දෙති. විශේෂයෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපක් නොලබන සේවක ප්‍රජාවට මෙම තත්ත්වය තදින්ම බලපායි. මෙවැනි පසුබිමක විශ්‍රාම ආරක්ෂාවක් නැති සේවකයන්ට ශක්තිමත් පවුරක් ලෙස සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) සිය සේවාවන් පුළුල් කරමින් සිටින්නේ හුදෙක් දායක මුදල් රැස් කරන ආයතනයක් ලෙස නොව ජීවිතය සුරක්ෂිත කරන සුභසාධන මධ්‍යස්ථානයක් ලෙසිනි.
මෙම අරමුදලේ වර්තමාන සභාපති සෝමසිරි ඒකනායක මහතාගේ පාලනය යටතේ සේවකයන්ට හිමිවන ප්‍රතිලාභ ව්‍යුහය වඩාත් ශක්තිමත් කිරීමට සැලසුම් කර තිබේ. ඔහු ඒ පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ, “අපේ ප්‍රධාන අරමුණ වන්නේ සමාජ ආරක්ෂණයක් නොමැති රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට පමණක් නොව ස්වයං රැකියා හා කුඩා ව්‍යාපාරවල නියැෙළන පුද්ගලයන්ට ද ආරක්ෂිත ආර්ථික පදනමක් ලබාදීමයි” යන සංකල්පය අද ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවේ. සේවකයා සක්‍රිය සේවයේ යෙදී සිටින කාලය තුළදීම ඔවුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය විවිධ සුභ සාධන පහසුකම් රාශියක් ලබාදීමට අරමුදල පියවර ගෙන ඇත. විශේෂයෙන්ම ජීවිත අවදානමක් පවතින රෝගාබාධ සඳහා මූල්‍ය ආධාර ලබාදීම මෙහිදී කැපී පෙනේ. හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, අක්ෂි කාච මිල දී ගැනීම සඳහා මූල්‍ය ආධාර මෙන්ම හදිසි රෝහල්ගතවීම්වලදී ලැබෙන රෝහල් ප්‍රතිලාභ ද ඒ අතර වේ. මෙය සේවකයකුගේ පවුලේ ආර්ථිකය කඩා වැටීම වැළැක්වීමට ලැබෙන මහා පිටිවහලකි.
සේවකයන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ද අරමුදල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දීමනා, ශිෂ්‍යත්ව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර මඟින් සේවක පවුල්වල අධ්‍යාපනික පීඩනය අවම කිරීමට අරමුදල කටයුතු කරයි. විශේෂයෙන්ම වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ආධාර ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වන “නිපුණතා සවිය“ ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් තරුණ පරපුරේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීමට ද දායකත්වය සපයයි. නිවාස හිමිකම පිළිබඳ සිහිනය සැබෑ කරමින් වසර පහක සක්‍රිය සාමාජිකත්වය සම්පූර්ණ කළ මණ්ඩලයේ සාමාජිකයන්ට නිවාස ණය ලබා ගැනීමට ක්‍රියාත්මක වූ “වියන“ නිවාස ණය යෝජනා ක්‍රමය නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම සභාපතිවරයාගේ පාලන කාලය තුළ සාමාජිකයන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.
අරමුදලේ මූල්‍ය ශක්තිය පිළිබඳව අදහස් දක්වන සභාපතිවරයා අවධාරණය කරන්නේ සාමාජිකයන්ගේ දායකත්ව මුදල් ලාභදායී ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමෙන් උපරිම ලාභයක් ලබාදෙන බවයි. කොටස් වෙළෙඳපොළ සහ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරමින්, පසුගිය කාලය තුළ 9.5% ක ඉහළ ප්‍රතිලාභයක් සාමාජිකයන්ට ලබාදීමට අරමුදල සමත් විය. ඔහු ඒ බව සඳහන් කළේ මෙලෙසිනි. “සේවා යෝජකයන් විසින් බැර කරන දායක මුදල් විවිධ ආයෝජන ක්‍රම ඔස්සේ කළමනාකරණය කරමින් කොටස් වෙළෙඳපොළ හා භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් වැනි ක්ෂේත්‍රවල ආයෝජනය කරන අතර එම ආයෝජනවලින් ලැබෙන ලාභාංශ සාමාජිකයන්ගේ ගිණුම්වලට වාර්ෂිකව බැර කිරීම අප සිදු කරනවා. මීට අමතරව ආයෝජන පිළිබඳව වර්තමානයේ අප විසින් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් උපායමාර්ගික වෙනසකට ලක් කරමින් වෙනත් ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. එහි ඇරඹුමක් ලෙස නවම් මාවතේ අප ආයතනයට අයත් අක්කර දෙකක භූමියක ක්‍රියාත්මක කිරීමට නියමිත නව ආයෝජන ව්‍යාපෘතිය හරහා ඉදිරියේදී ප්‍රතිලාභ තවත් ඉහළ නැංවීමට පියවර ගන්නවා”.
නවීන ලෝකයට ගැළපෙන පරිදි අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම ද මේ වන විට එම භාරකාර අරමුදලේ කඩිනමින් සිදු වේ. සේවකයන්ගේ සියලු දත්ත පරිගණක ජාලගත කිරීම හරහා සේවාවන් ඉතා විනිවිදභාවයෙන් හා වේගයෙන් ලබාදීමට සැලසුම් කර ඇත. සභාපතිවරයා පවසන පරිදි, “ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු කටයුතු සකස් කරමින් සේවකයන්ගේ තොරතුරු ඇතුළත් පරිගණක පද්ධතියක් සැකසීම සහ සියලු සේවාවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා දීම සඳහා අවශ්‍ය පියවර මේ වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.” එමෙන්ම සේවකයන් 15කට වැඩි ආයතන සඳහා මාර්ගගත ගෙවීම් (Online Payments) ඔස්සේ දායක මුදල් බැර කිරීම අනිවාර්ය කිරීම හරහා සේවා යෝජකයන්ට ද පහසුවක් සලසා ඇති අතර ඉන් සේවක දායක මුදල් නිවැරදිව සාමාජික ගිණුම් සඳහා බැර කිරීමට අවශ්‍ය පියවර ගැනීම ද සිදු වේ.
අරමුදලේ පරාසය පුළුල් කරමින් මෙරටේ විශ්‍රාම වැටුප් රහිත රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය, පුද්ගලික අංශය සහ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වන සියලුම දෙනා මෙම අරමුදලේ සාමාජිකයන් බවට පත් කිරීම වර්තමාන පාලනාධිකාරියේ ඉලක්කයයි. විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්, පාසල් වාහන සේවා සපයන්නන් සහ විදේශගත ශ්‍රමිකයන් වැනි ක්ෂේත්‍රවල පිරිස් දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. සභාපතිවරයා පවසන්නේ, “ප්‍රවාහන පද්ධතියට සම්බන්ධ පාසල් ප්‍රවාහන රියැදුරන්, ත්‍රීවිල් රියැදුරන් සහ විවිධ ක්ෂේත්‍රවල නියුතු රැකියාවල නියුතු පුද්ගලයන් මෙන්ම විදේශගත සාමාජිකයන් ද මෙම සමාජ ආරක්ෂක ක්‍රමයට සම්බන්ධ කරගැනීම අපගේ අරමුණයි”. ස්ථිර සේවකයන්ට පමණක් නොව අනියම් සහ පුහුණු සේවකයන් වැනි සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව මෙම අරමුදලේ සාමාජිකයන්කර ඔවුන්ගේ සමාජාරක්ෂණය සුරක්ෂිත කිරීමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල කැපවී සිටී. එවන් වූ සමාජ මෙහෙවරක යෙදෙන මෙම භාර අරමුදල ඉදිරියේදී අපේ රටේ ජනතාව වෙනුවෙන් පුළුල් වූ සමාජ මෙහෙවරක් ඉටුකිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් තුළින් විශාල පදනමක් සකස් කරමින් පවතී.
මෙම සියලු කාර්යයන්හිදී වඩාත් විනිවිද පෙනෙන ක්‍රියාවලියක් තුළින් අරමුදල පිළිබඳව ජනතා විශ්වාසය තහවුරු කරමින් අරමුදල ස්ථාපිත කිරීමේ අරමුණු ඉටු කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීමටත්, සාමාජිකයන් සඳහා වඩා වැඩි ප්‍රතිලාභ ලබා දෙමින් ඔවුන්ගේ සමාජ සුබසාධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම සේවාවක් ලබා දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමටත් මණ්ඩලය කටයුතු කරමින් සිටී. මෙම ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීආයතනය (The Institute of Chartered Accountants Sri Lanka) විසින් 2024 වර්ෂයේ වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කරමින් සිදු කරන ලද ඇගයුම් උලෙළෙදී රාජ්‍ය ව්‍යවසාය අංශයේ හොඳම වාර්ෂික වාර්තාවට හිමි රන් සම්මානයත්, සමස්ත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේම හොඳම වාර්ෂික වාර්තාවට හිමි රන් සම්මානයත් යන දෙකම පළමු වරට ලබාගත් ආයතනය බවට පත්වීම තුළින් මණ්ඩලයේ අරමුදල් පරිපාලනය සහ මූල්‍යකරණය පිළිබඳව වන වගවීම පිළිබඳව සමාජයට ඉතා වටිනා පණිවුඩයක් ලබාදීමට හැකිවීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
TEXT – දුමින්ද කාරියවසම්
