Tuesday, March 31, 2026
Epaper
Home විශේෂාංගසූර්යයා සේ ලොවක් එළිය කරන සැබෑ මිනිසත්කමේ සන්නාමය

සූර්යයා සේ ලොවක් එළිය කරන සැබෑ මිනිසත්කමේ සන්නාමය

by Shanaka Lakehouse

උතුරින් හිමාලය කඳුවැටියත් ඒ පාමුලින් හිමාල වනයත් අනෙක් තෙදිශාවෙන් මහ මුහුදටත් මැදිව සොබා සිරියෙන් අනූන ලොව සොඳුරුම රටක දිවි ගෙවීමේ පහස ලබන්නෝ ඉන්දියානුවෝය. ලෝක ජනගහනයෙන් හයෙන් එකකට වඩා දරාගෙන සිටින ඉන්දීය මහ පොළොවේ අප කිසිදින නුදුටු විරූ නානාප්‍රකාරයේ මිනිස්සු වාසය කරති.

ලෝක ආර්ථිකයේ ද සැලකිය යුතු ආධිපත්‍යයක් දරන දකුණු ආසියාවේ බලවතා වුවත් රටේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 1.7ක මහජනතාවක් අතරේ බෙදී යෑමේ විෂමතාව නිසාම ඉන්දියාවේ බහුතර ජනකායක් දිළින්දෝ වෙති. සුරලොවක අසිරි මැද දිවි ගෙවන ධනවතුන් අතළොස්සක් අතර අපායක දිවි ගෙවන දරිද්‍රතාවේ අන්තයේ බැට කන බහුතර ජනතාවක් ඉන්දියාවේ වෙසෙති.

බොලිවුඩ්, කොලිවුඩ් සිනමාව සහ ක්‍රිකට් ක්‍රීඩාව දේවත්වයට පමණක් දෙවැනිව සලකන ඉන්දියානුවෝ ඒ දෙඅංශය ද පූජනීයත්වයෙන් සලකති. හින්දි බොලිවුඩ් සිනමාව සහ දමිළ කොලිවුඩ් සිනමාව භාරතයේ පමණක් නොව ලෝක සිනමාවේ ප්‍රබල ස්ථානයක් හිමි කර ගන්නා බව ද රහසක් නොවේ. ඉන්දියානුවන් දේවත්වයෙන් අදහන බොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවේ නළු නිළියන් අතර කොලිවුඩ් නළු සූර්යා සිවකුමාර්්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. කොලිවුඩ් සිනමාවේ කේන්ද්‍රය වන දකුණු ඉන්දියානු කලාපය ඉන්දීය අර්ධද්වීපයේ දිළින්දන් බහුල කලාපයකි. එහෙත් මිනිසුන් අතර දෙවියන් වැඩ සිටින බව සක් සුදක් සේ පසක් කරවන වීඩියෝවක් පසුගිය දා සමාජ මාධ්‍ය ලොව පුරා ජනප්‍රිය විය.

සූර්යා සිවකුමාර්්ගේ අරමුදලින් ශක්තිමත් වන අග්‍රම් පදනම හරහා ඉන්දීය දැයට දායාද කෙරුණු වෛද්‍යවරුන් 50කට අධික සංඛ්‍යාවක් ඒ හරහා ලොවට ප්‍රසිද්ධ විය. ඒ සියලු දෙනා මවුපියන් නොමැතිව අසරණව පසු වූ දරිද්‍රතාවේ අන්තයට වැටුණු පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වීම විශේෂත්වයකි. එහෙත් සූර්යා සිවකුමාර්්ගේ අග්‍රම් පදනම හරහා බිහි වුණු පළමුවැනි වෛද්‍ය කණ්ඩායම මෙය නොවේ. මේ වන විට අග්‍රම් පදනම හරහා වෛද්‍යවරු 70කට වැඩි සංඛ්‍යාවක්, ඉංජිනේරුවන් 1750කට අධික සංඛ්‍යාවක්, පරිපූරක වෛද්‍යවරුන් 700කට අධික සංඛ්‍යාවක්, ඩිප්ලෝමාධාරීන් 350කට අධික සංඛ්‍යාවක්, කලා සහ විද්‍යා උපාධිධාරීන් 3500කට අධික සංඛ්‍යාවක් ලොවට දායාද කර තිබේ.

ඒ සියල්ලෝම ඉන්දීය ජන සමාජයේ පහළ පන්තියේ දිළිඳු දරුවෝ වෙති. ඔවුන්ගේ ජීවිත උසස් කිරීමට සූර්යා සිවකුමාර්් 2006 වසරේ සිට මේ වන විට විසි වසරක් සිය පදනම හරහා වියපැහැදම් දරා තිබේ.

මෙම පදනම සූර්යා සිවකුමාර්් සිය සොයුරු කාර්ති කුමාර් හා එක්ව අරඹා ඇත්තේ සිය පියාගේ පූර්වාදර්ශී දානපතිත්වය ආදර්ශයට ගනිමිනි. ඒ අනුව මේ දෙසොහොයුරන්ගේ පියාණන් වන සිවකුමාර් 1979 වසරේ සිට ඉන්දීය ග්‍රාමීය දිළිඳු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග සිදු කර තිබේ.

කෙසේ නමුත් සූර්යා සිවකුමාර්් මෙම අග්‍රම් පදනම ආරම්භ කරන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවමින් එහි ග්‍රාමීය ජන සමාජයේ සමාජ සහ ආර්ථික තත්ත්වය නගා සිටුවීමටය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමට අමතරව 2013 උත්තරාකාන්ඩ් ආපදා සහන අරමුදලට ඉන්දීය රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීම, 2018 වසරේදී තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ පාසල් 400ක් ප්‍රතිසංස්කරණය කිරීම, 2020 වසරේ කොවිඩ් වසංගතය අතරතුර වෛද්‍ය උපකරණ සහ දැඩි සත්කාර ඇඳන් මිල දී ගැනීමට තන්ජෝර් රෝහලට මූල්‍ය පරිත්‍යාග සිදු කිරීම මෙන්ම තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල දිවි ගෙවන ශ්‍රී ලාංකික දරුවන්ට පවා ශිෂ්‍යත්ව ලබා දීමට මෙම අග්‍රම් පදනම කටයුතු කර ඇත.

පරිත්‍යාගවලට අමතරව මෙම පදනම හරහා විවිධ ව්‍යාපෘති සහ උපදේශන සේවාවක් ද නොමිලයේ පවත්වාගෙන යයි. ඒ හරහා දරුවන්ගේ මානසික සුවය පවත්වාගෙන යෑම අපේක්ෂා කරයි. කෙසේ නමුත් රටක සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපනය මනා කාර්යභාරයක් ඉටු කරන බව නම් සැබෑය. ඒ නිසා ඉන්දියාවේ මෙන්ම කොලිවුඩ් සිනමාව හරහා ලෝකයේ ජනාදරයට පත් සූර්යා සිවකුමාර්් සිය අග්‍රම් පදනම හරහා දිළිඳුකමින් වැනසෙන්නට නියමිත දරු දැරියන් රැසකගේ ජීවිත සුඛිත මුදිත කිරීමට දරන වෑයම ප්‍රශංසනීය වනවා සේම එය ලොව කාටත් මහා ආදර්ශයක් වෙයි. එය ලොවක් එළිය කරමින් ලෝකයට ජීවය සපයන සූර්යයාගේ නමට සූර්යා සිවකුමාර්් විසින් කළ මනා සාධාරණයක් බව ද කිව යුතුය.

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?