ප්‍රියංවදා බන්දුවර්ධන යන නම ශ්‍රී ලාංකේය ලේඛන කලා ක්ෂේත්‍රයට කොහෙත්ම ආගන්තුක නාමයක් නොවේ. පාසල් වියේදී එනම් වයස අවුරුදු දහසයේ සිසුවියකව සිටියදී තමා ලියූ කුඩා කවි, කතා පුවත්පත් පිටු තුළින් කියවීමේ භාග්‍යය ලද ඇය ඉන් වසර කිහිපයකට පසුව හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන්ගෙන් ගුරුහරුකම්, අවවාද උපදෙස් ලබමින් ඔහුගේ ඇසුර ලබමින් ක්ෂේත්‍රය තුළ නිතර කියවෙන නාමයක් උපයාගන්නට තරම් කුසලතාපූර්ණ සහ වාසනාවන්ත නිර්මාණකාරිනියක වූවාය. එතුමා හැරුණු විට කේ. ඩී. ද ලැනරෝල්, ගුණදාස ලියනගේ, ශ්‍රියා රත්නකාර සහ අනුල ද සිල්වා ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්නට නිර්ලෝභීව ඇයට අතහිත දුන්නෝය. ඇය සිය ප්‍රථම නවකතාව ‘හෙටත් දවසක් උදා වෙයි’ ලියා පළ කළේ 1972 වසරේ මහනුවර කච්චේරියේ ලිපිකාරිනියකව සේවය කරමින් සිටියදීය. ඇය විසින් ලියා පළ කරන ලද ප්‍රථම ළමා ග්‍රන්ථය වූ ‘දක්ෂ දුනුවායා’ 1974 වර්ෂයේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
ශ්‍රී සඟරාව, රසවාහිනී, වනිතා විත්ති, තරුණී, දිනමිණ, සිළුමිණ, දවස, ලංකාදීප වැනි පුවත්පත් සඟරා ඔස්සේ 60, 70 දශකයන්හිදී කෙටිකතා, නවකතා සමඟ අපට නිතර මුණගැසුණු ඇය පසුකාලීනව, ස්වීඩනයේ පදිංචියට යාමත් සමඟ පරිවර්තන සාහිත්‍යය වෙත නැඹුරු වූ වගක් දැනේ.
සිංහල භාෂාවෙන් මෙන්ම ස්වීඩන් භාෂාවෙන් ද දශක ගණනක් තිස්සේ ලේඛන කලාවෙහි නියැලී හිඳින ප්‍රියංවදා ‘මඩොල් දූව’ යොවුන් නවකතාව ස්වීඩන් භාෂාවට පරිවර්තනය කරමින් ලේඛන කලා ක්ෂේත්‍රය තුළ තම මාර්ගෝපදේශකයාණන් වූ මාර්ටින් වික්‍රමසිංහයන් හට කෘතඥතාව පුද කළාය. එපමණකුදු නොව ශ්‍රී ලාංකේය සංස්කෘතික රටාවන් ස්වීඩනයට හඳුන්වා දෙන්නට උත්සාහ ගනිමින් ඇය සිංහල බසින් නිමැවූ නවකතා සහ ‘අන්දරේ’ හා තවත් ජනකතා කිහිපයක්ම ස්වීඩන් බසට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කළාය. වසර 40ක් තිස්සේ ස්වීඩනයේ ජීවත්වන ඇය එහි ප්‍රධාන පෙළේ ජන නැටුම් කණ්ඩායමක ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස අදටත් කටයුතු කරන්නීය. ශ්‍රී ලංකාවේ පාසල් තුනක සංවර්ධන කටයුතු සඳහා දායක වෙමින් ඇය ඇගේ ජන නැටුම් කණ්ඩායම තෙවතාවක්ම ලංකාවට කැඳවාගෙන ආ අතර ඒ වෙනුවෙන් ඔවුන් ඇයට සතුට පළ කළේ ‘ප්‍රියාස් වොල්ස්’ (Priya’s Vals) යන නමින් නව නර්තනාංගයක් එක් කොට ශ්‍රී ලාංකික ඇඳුම් ආයිත්තම්වලින් සැරසී එය රඟදැක්වීමෙනි.
අනේකවිධ බාධක, හිරිහැර විඳිමින් නමුත් ලේඛිකාවක සහ පුවත්පත් කලාවේදිනියක ලෙස මෙන්ම ගැහැනියක ලෙසත් ජීවිතයේ ඇය මෙතෙක් පැමිණි දුර බොහෝය. මෙම ලිපිය ලියැවෙන්නේ ලේඛක භූමිකාවෙන් ඔබ්බට ගොස් සමාජ සේවිකාවක ලෙස ඇය කළ එක් අපූරු මෙහෙවරක් පිළිබඳව සටහනක් තබන්නටය.
සෑම වසරකම සැප්තැම්බරයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී පාඨක ප්‍රජාවට ඇය මුණ ගැසෙන්නේ අලුත් නිර්මාණ සංග්‍රහයක් සමඟිනි. ලංකාවට පැමිණි ඒ සෑම වතාවකදීම අසරණ කාන්තාවකට ජීවිතය ගොඩනඟාගන්නට අත්වැලක් වෙමින් සුදුසු ස්වයං රැකියාවකට යොමුවීම සඳහා උපකාර වීම ඇය චාරිත්‍රයක් කොටගෙන සිටියාය. සෑම වර්ෂයකදීම ඇය නිහඬවම ඒ කාර්යය ඉටුකොට ආපසු ගියේ තෘප්තිමත් සිතකිනි.
“මමත් හුඟක් දුක් විඳපු ගැහැනියක්. වුවමනාවයි, උනන්දුවයි එක්ක ජීවිතේ ජයගන්න උත්සාහ කරන්න.” ඇය එලෙස පවසමින් තමා උපකාර කළ හැම ගැහැනියකම නිරන්තරවම උද්‍යෝගිමත් කරන්නට අමතක නොකළාය.
එහෙත් මෙවර පෙබරවාරියේදී ඇය ස්වීඩනයේ සිට තම මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාවට පැමිණියේ දීර්ඝ කාලයක පටන් දකිමින් සිටි අපූරු සිහිනයක් ඉටු කර ගන්නටය. ඒ ශ්‍රී ලංකාවේ පාසලකට පුස්තකාලයක් ඉදිකර දෙන්නටය.
ඇය ඒ සඳහා තෝරාගෙන තිබුණේ තමා ලංකාවේ සිටියදී වැඩි කාලයක් ජීවත් වූ මහනුවරට ආසන්න පේරාදෙණිය පැණිදෙනියේ ශ්‍රී විමලධර්මසූරිය මහා විද්‍යාලයයි. එහි පුස්තකාලය ලෙස තිබුණේ දිරාපත් වහලක් සහිත ගොඩනැගිල්ලක අබලන් වූ මේස පුටු කිහිපයක් සමඟ පොත් අල්මාරි දෙක තුනක් පමණකි. දරුවන්ට කියවීම සඳහා සුදුසු වටපිටාවක් එහි තිබුණේ නැත. ප්‍රමාණවත් තරම් පොත් සංඛ්‍යාවක් තිබුණේද නැත. නොයෙකුත් හේතු නිසා නගරයේ පාසල්වලට නොගොසින් ගමේ පාසලේ රැඳුණු ඒ දරු දැරියන් වෙනුවෙන් ඇය පොතපත කියවන්නට ඉතා ප්‍රසන්න පරිසරයක් සකස් කොට දී පොත්පත් ද සපයා දෙන්නට කටයුතු කළේ සැදී පැහැදුණු සිතින්මය. ඇගේ පෞද්ගලික මුදල් රුපියල් ලක්ෂ 20ක් පමණ මුදලක් වැය කරමිනි. මේ සියලු කටයුතුවලදී ඇයට නොපැකිලව අතහිත දෙන ඉතාමත්ම ආදරණීය ස්වාමිපුරුෂයකු සිටීමද සැබවින්ම වාසනාවකි. ඔහු නමින් බෲනෝ මෙලන්ඩර්ය. පුස්තකාලයේ සැලැස්ම හැදෑරූ බෲනෝ දරුවන්ගේ පුස්තකාලයක වහලයට ඇස්බැස්ටස් යොදනවාට තරයේම විරෝධය දැක්වූයේය.
“වහලෙට උළු දාන්න. මම සල්ලි දෙන්නම්.” ඔහු ඇයට සෑම කාර්යයකදීම එලෙස ශක්තියක් වී හිඳින්නේය. මෙම සද්කාර්යයේදී විදුහල්පතිතුමිය ලෙස දමයන්ති විජේසිංහ මහත්මිය සහ සම්බන්ධීකරණයෙන් ප්‍රියදර්ශනී රණසිංහ මහත්මිය දැක්වූ උද්‍යෝගය ප්‍රියංවදා මහත් සේ අගයන්නීය.
අප ඉහත කී පුස්තකාලය සිසු අයිතියට පවරා දීමේ කුඩා උත්සවයක් පසුගිය දාක සංවිධානය කෙරුණේ පාසලේ විදුහල්පතිනිය, පුස්තකාල භාර ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද සිසු දරු දැරියන්ගේ ද එකමුතුවෙනි. එහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කළ අවස්ථාවෝචිත කතාව පාදක වී තිබුණේ පාසලේ පහේ පන්තිය දක්වා පමණක් උගත් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් කියවීම ඔස්සේ හෙළයේ මහා ගත්කරුවකු බවට පත්වූයේ කෙසේද යන වග පිළිබඳවය.
සැබවින්ම එදවස, ඒ අවස්ථාවට සහභාගි වූ සැමට අපූරු නැවුම් අත්දැකීමක් එක් කළ සොඳුරු මිහිරි දවසක්ම වූයේය. පැණිදෙණිය විමලධර්මසූරිය මහා විද්‍යාලයේ සිප් සතර හදාරන දරුවන්ගේ මුහුණු මත එදා පිපී තිබූ ඒ ප්‍රීතිමත් සහ තෘප්තිමත් සිනා මල් ප්‍රියංවදාගේ සිහිනය ඉටු වූ වගට හොඳම සාක්ෂිය නොවේදැයි මට සිතේ. මිලියන ගණන් වියපැහැදම් කරමින් අත්‍යවශ්‍ය නොවන නොයෙකුත් උත්සව, සාද පවත්වන වෙනත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළද එබඳු අනගි, සුබ සිහින උපදින්නේ නම් කොපමණ අගීද?
TEXT – සුනිලා විජේසිංහ
