Tuesday, March 31, 2026
Epaper
Home විශේෂාංගහොඳම සහකාරිය හමුවූ දාට විවාහ වෙන්න

හොඳම සහකාරිය හමුවූ දාට විවාහ වෙන්න

යෂ්ට මවගෙන් ලැබුණු වටිනා අවවාදය

by Shanaka Lakehouse

නව පරපුරේ යොවුන් රංගන ශිල්පීන් අතර යෂ් වීරසිංහට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ආලේ, 24 ලව් ස්ටෝරි, සැන්ඩි, විසේකාරි, වෙස්, හේලි, බ්‍රෝ, කියා දෙන්න ආදරේ තරම් ඇතුළු ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් රසික හදවත්හි ලැඟුම් ගෙන ඇති යෂ්, මෙවර ‘තරුණී’ අම්මාවරුනේ විශේෂාංගයෙන් අප සමඟ පිළිසඳරට එක් විය. ඔහු එහිදී සිය මව හා ගෙවන ආදරණීය ජීවිතය ගැන අප හමුවේ මෙසේ කියා සිටියේය.

“මගේ අම්මා මුදිතා ජයකොඩි. පොඩි කාලේ ඉඳන් මගේ පසුපස හිඳිමින් මා ගැන සොයා බලමින් මට කිසිදු අඩුපාඩුවක් කරන්නේ නැතිව හොඳින් උගන්වලා මාව පෝෂණය කළ, කිසිවෙකුට සම කළ නොහැකි එකම චරිතය මගේ අම්මා. මවක සතු මවු ගුණ සියල්ලක්ම පාහේ මගේ අම්මා ළඟ තියෙනවා. එවන් අම්මා කෙනෙක්ගේ සෙනෙහස මැද හැදෙන්නට වැඩෙන්නට ලැබීමම මං දකින්නේ මා ජීවිතයේ ලැබූ වාසනාවක් විදිහටයි. ඇත්තටම අම්මා කියන්නේ ලෝකයක්.”

පොඩි දුවගේ සිනා වැලයි – පොඩි පුතුගේ කතා පෙළයි යන පද අර්ථවත් කරමින් දියණියක සහ පුතෙක් නිවෙසක පාළුව මකාලන්නේ මව්පියන්ගේ හදවත් සනහාලමිනි. මවුපියෝ කටකාර පුතෙකුගේ දඩබ්බර වැඩ ඉවසා දරාගෙන ඔහුට දඬුවම් දෙන්නේ ඔහු කෙරේ අනාදරයකින් නොවේ. මේ යෂ් ඔහුගේ පුංචි සන්දියේ අම්මා සමඟ ගෙවුණු ආකාරය ගැන දැක්වූ අදහස්ය.

“පුංචි කාලේ ඇත්තටම මං ටිකක් දඩබ්බරයි. මං වැරදි කළාම අම්මාගෙන් කාපු ගුටි තවමත් මට හොඳට මතකයි. අම්මා මට ගැහුවේ ආදරය නිසා මිසක් තරහකට නෙවෙයි. ඉස්සර අසනීපයක් වුණාම මට අම්මා ළඟින්ම ඉන්න ඕනෑ. විශේෂයෙන් මට උණ ගැනුණාම අම්මාව බදාගෙන කාලය ගත කරන්නේ අම්මාගේ ඇඟ සීතල නිසායි. එතකොට මට ලොකු සහනයක් දැනෙනවා. ඇත්තටම අම්මාගේ සිරුරේ සීතල එක්ක ආදරය කැටි වෙලා ඒ සහනය මට දැනෙනවා යැයි මා විශ්වාස කරනවා.

ඉතින් පුංචි සන්දියේ ඉඳන් මෑතක් වන තුරුම උණක් හැදුණාම මං අම්මා ළඟින්ම ඉන්නවා. ඇත්තටම ඉන් පස්සේ අම්මාටත් උණ හැදෙනවා. අම්මා ඒ බව දැන දැනම මගේ ළඟින් හිඳිමින් මට සාත්තු සප්පායම් කරන්නේ බොහොම ආදරයෙන්.

පුංචි කාලේ මං දඩබ්බර වැඩ කළාම පාසලට ඇවිත් ඒ හැම දෙයකටම අපේ අම්මා, ගුරුවරුන් විදුහල්පතිවරුන් ඉදිරියේ මං වෙනුවෙන් මුහුණ දෙනවා. ඒ වගේම මගේ පුංචි කාලේ ඇතැම් දවස් ගෙවුණේ පවුලේ තිබුණු අගහිඟකම් මැද්දේයි. එවන් අවස්ථාවල අම්මා කුසගින්නේ හිඳිමින් ඇයට කන්න තියෙන බත් පිඟාන මට දුන්නු අවස්ථාත් නොතිබුණා නොවේ. ඒ වගේ අම්මාත් එක්ක බැඳුණු සොඳුරු, හැඟීම්බර අතීතයක් මට තිබෙනවා.

මං අදටත් ජීවත් වෙන්නේ අම්මා එක්ක. එදා ඉඳන් අද වන තුරු ඇය මට කිසිදු අඩුපාඩුවක් නොකළ බව කිව යුතුයි. ඇයගේ ආදරය සහ රැකවරණය අදටත් මට නොඅඩුව ලැබෙනවා. ඇත්තටම වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙස මගේ වෘත්තීය ගමන පහසු වී තිබෙන්නේ අම්මා නිසායි. රංගන ශිල්පියෙක් විදිහට මගේ සිරුර ගැන මං සැලකිලිමත් විය යුතුයි. ඇත්තටම මගේ සිරුර ගැන මට වඩා ඇය සැලකිලිමත්. මං පාන්දර හතරට ගෙදරින් ගියත් අම්මා අලුයම දෙකට අවදි වෙලා මට අවශ්‍ය කෑම බීම පාර්සල් කරලා මට ලබා දෙනවා.

අම්මා නිතරම මගේ කැමැත්තට ඉඩ දුන්නා. මට මේ රැකියාව කරන්නැයි, අහවල් දේ කරන්නැයි කවදාවත්ම බල කළේ නෑ. ඒ ලබා දුන් නිදහස මගේ ජීවිතයට වටිනාකමක් වුණා. ඒ නිදහස අදටත් මට ඇයගෙන් ලැබෙනවා. ඉතින් මගේ රෙදි සෝදා දෙමින්, රාත්‍රියේ ගෙදර එන විට කෑම සකස් කර තබමින් ඇය මගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල සහයෝගයක් දෙනවා. ඒ නිසා කිසිදු පීඩනයක් නැතිව නිදහසේ මගේ රංගන දිවිය සාර්ථක වන්නට ප්‍රධානතම හේතුව මගේ අම්මා බව කිව යුතුයි.”

ජීවිතයේ අනේකවිධ ප්‍රශ්න හමුවේ සිය මව සෙවණැල්ලක් මෙන් ළඟින් හිඳිමින් ලබාදෙන රැකවරණය සහ ශක්තිය ගැන යෂ් පවසා සිටියේ මේ ආකාරයෙනි.

“මට මොන ප්‍රශ්නය ආවත් අම්මා මාව අත්හරින්නේ නැතිව මා ළඟින්ම ඉන්නවා. මට ගැටලුවක් පැමිණි හැම තැනකදීම හොඳ නරක කියා දෙමින් ඉන් මිදෙන ආකාරය කියා දෙන්නේ මගේ අම්මා. එහෙත් මම වැරදි නම් ඇය මට දඬුවම් කරන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ඇය එවන් තැන්වලදීත් මාව අත්නොහැර මා ළඟින්ම ඉන්නා බව කිව යුතුයි.”

දරුවකුගේ ජීවිතයේ ප්‍රධාන සංධිස්ථානවලදී මවුපියන් තීරකයන් වන්නේ දරුවන්ට වඩා ඔවුන් අත්දැකීමෙන් සපිරි නිසාමය. එහෙත් තරුණ අවදියේ දරුවන්ගේ සිතුම් පැතුම් තේරුම් ගත් ඇතැම් මවුපියෝ දරුවන්ට තීරණ ගැනීමේ නිදහස ලබා දෙමින් උපදේශයෙන් පමණක් දරුවන් යහමගට යොමු කරති.

විවාහය ගැන වුණත් අම්මාගේ බල කිරීමක් නෑ. ඇය නිතරම කියන්නේ ජීවිතය ගෙන යා හැකි හොඳම සහකාරිය හමු වුණ දවසට විවාහ වෙන්න කියායි. “බඳින්නම් වාලේ බැඳලා ජීවිතය නාස්ති කරගන්නට එපා” යැයි ඇය නිතරම මට අවවාද කරනවා. මං කවදාවත්ම වැරදි තීරණයක් නොගන්නා බවත් ඇය දන්නවා. අද වන තුරු මා ගත් එකදු තීරණයක් හෝ වැරදිලා නෑ. ඉතින් අම්මා මාව හොඳින්ම විශ්වාස කරනවා.

ඒ වගේම මම ඇතැම් තීරණ ගන්නට පෙර අම්මාගෙන් සහ තාත්තාගෙන් විමසා සිටින අවස්ථාත් නැතිවා නොවේ. ඒ හැම අවස්ථාවකදීම මට ඔවුන්ගෙන් උපදෙස් ලැබෙනවා. ඒ හැම දෙයක්ම සලකා බලමින් මං මගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන බව කිව යුතුයි.

රංගන ශිල්පියෙක් ලෙස විවිධ චරිත රඟ දක්වා ඇති යෂ්, රඟ බිමේදී හමු වූ මවුවරුන් සහ සැබෑ දිවියේ මව අතර සමානතා හා වෙනස්කම් අප හමුවේ ගෙන හැර පෑවේ මේ ආකාරයෙනි.

“ඇත්තටම මං රඟපාද්දී අම්මාවරුන් රාශියක් සමඟ කටයුතු කර තිබෙනවා. මං අම්මා කෙනෙක් එක්ක පුතෙකුගේ චරිතයක් කරන කොට රසිකයන් මගේ චරිතය වැලඳ ගන්නා ප්‍රවණතාව වැඩියි. සැබෑ ජීවිතයේ අම්මා සහ මා අතර තියෙන බැඳීම ප්‍රබල නිසා රංගන දිවියටත් එය ඉවහල් වීම, රසික ආකර්ෂණය වැඩි වීමට හේතු වී ඇතැයි මා විශ්වාස කරනවා.

ඒ අතරින් දුලීකා මාරපන අක්කා සහ හර්ෂිකා අක්කා රඟපෑ මවු චරිත වඩාත් සුවිශේෂීයි. ඒවා පිටපත් වුණාට ඒ අවස්ථා රසිකයන් වඩාත් වැලඳ ගන්නට මගේ සැබෑ ජීවිතයේ අත්දැකීම් හේතු වී ඇති බව මගේ විශ්වාසයයි.”

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?