අප අවට පරිසරයේ ඇති ඉතාම සරල සහ බොහෝ විට අප ඉවත දමන ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන්ගේ නිර්මාණශීලිත්වය අවදි කළ හැකි අපූරු ක්‍රම රැසක් පවතී. විශේෂයෙන්ම පාසල් යන කුඩා දරුවන්ට අත්වැඩ නිර්මාණය කිරීමේදී මිල අධික උපකරණ වෙනුවට නිවසේ ඇති එළවළු, පලතුරු සහ හිස් බෝතල් වැනි දෑ යොදා ගැනීම ඉතා සාර්ථක ක්‍රමයකි. මෙය දරුවාගේ පරිකල්පන ශක්තිය වැඩිකරනවා මෙන්ම පරිසර හිතකාමී පුරුදු ඇති කිරීමට ද මහෝපකාරී වේ.

එළවළු සහ පලතුරු ආධාරයෙන් මල් සහ රටා මැවීම
එළවළු සහ පලතුරු කැපූ විට ඒවායේ ඇති ස්වාභාවික හැඩතල මුද්‍රණ (Printing) ශිල්පය සඳහා ඉතා කදිමය.
රතුලූනු
රතුලූනු ගෙඩියක් හරස් අතට කැපූ විට එහි ඇති වළලු ආකාර හැඩය රෝස මලක පෙති මෙන් දිස්වේ. රතු හෝ රෝස පැහැති සායම් තැවරු ලූනු කැබැල්ල කඩදාසියක තැබීමෙන් ඉතා ලස්සන රෝස මල් රටා මවාගත හැකිය.
බ්‍රොකොලි
බ්‍රොකොලි කැබැල්ලක මතුපිට ඇති කුඩා පොකුරු ස්වභාවය නිසා, එය තීන්තේ ගිල්වා කඩදාසියක තැබූ විට ගසක අතු පතර ඇති කුඩා කොළ හෝ මල් පොකුරු (චෙරි බ්ලොසම් ගස්) නිර්මාණය කිරීමට කදිමය.
දොඩම් සහ ලෙමන්
දොඩම් ගෙඩියක් මැදින් කැපූ විට ලැබෙන රෝදයක හැඩය, තැඹිලි පැහැති තීන්ත භාවිතයෙන් ඉතා අලංකාර ජ්‍යාමිතික මල් හෝ මෝස්තර මැවීමට යොදාගත හැකිය.
ප්ලාස්ටික් බෝතල් සහ අනෙකුත් දෑ භාවිතය
අප පරිසරයට මුදාහරින ප්ලාස්ටික් බෝතල්වල පතුල පවා කලාත්මක නිර්මාණයකට පදනම් කරගත හැකිය. බොහෝ ප්ලාස්ටික් බෝතල්වල පතුල පෙති පහක මලක හැඩයට සමාන වේ. බෝතල් පතුලේ තීන්ත තවරා කඩදාසිය මත තද කිරීමෙන් ඉතා පහසුවෙන් සමාන හැඩැති මල් වැලක් නිර්මාණය කිරීමට දරුවාට හැකියාව ලැබේ. මීට අමතරව නිවසේ ඇති ගෑරුප්පු භාවිතයෙන් තණකොළ හෝ මල් පෙති ඇඳීම ද සිදු කළ හැකිය.
පාසල්වල පවරා දෙන අත්වැඩ කටයුතුවලදී මවුපියන් කළ යුත්තේ දරුවා වෙනුවෙන් නිර්මාණය කර දීම නොව, මෙවැනි සරල ක්‍රම දරුවාට කියා දීමයි. එළවළු කැබැල්ලකින් හෝ බෝතල් පතුලකින් රටාවක් මැවෙන අයුරු දකින විට දරුවා තුළ ඇතිවන කුතුහලය හා උනන්දුව ඉතා ඉහළය. මෙය දරුවාගේ දෑත්වල සියුම් චලන වර්ධනය කිරීමටත් (Fine motor skills), වර්ණ ගැළපීම පිළිබඳ අවබෝධයක් ලබා දීමටත් උදවු වේ.
මේ අයුරින් නිවසේ ඇති සරල දෑ භාවිතයෙන් නිර්මාණශීලිව වැඩ කිරීමට දරුවා හුරු කිරීමෙන්, ඔවුන් නීරෝගි මනසකින් යුත් දක්ෂ දරුවන් ලෙස අනාගතයට ගොඩනඟා ගත හැකිය
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
