Tuesday, March 31, 2026
Epaper
Home වෛද්‍යනොසලකා හරින කැස්සක සැඟවුණු අනතුර

නොසලකා හරින කැස්සක සැඟවුණු අනතුර

by Shanaka Lakehouse

සෑම වසරකම මාර්තු 24 වැනිදා ලෝකය පුරාම අවධානය යොමු වන්නේ “ක්ෂය රෝගය” (Tuberculosis) කෙරෙහිය. ක්ෂය රෝගය යනු අතීතයේදී මාරාන්තික රෝගයක් ලෙස සලකා සමාජයම බිය වූ රෝගයකි. එහෙත් නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ, නිවැරදි වේලාවට රෝගය හඳුනාගෙන නියමිත ප්‍රතිකාර ලබා ගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව අද අප කවුරුත් දන්නා සත්‍යයකි. පවුලේ සෞඛ්‍යය ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටින ගෘහිණියක ලෙස ඔබ මේ පිළිබඳ නිවැරදිව දැනුවත් වීම මුළු පවුලම සුවපත් කිරීමට ලැබෙන මහා පිටිවහලකි.

ක්ෂය රෝගය යනු කුමක්ද?

මෙය ‘මයිකොබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස්’ (Mycobacterium tuberculosis) නමැති බැක්ටීරියාව මඟින් වැලඳෙන බෝවන රෝගයකි. මෙම බැක්ටීරියාව ප්‍රධාන වශයෙන්ම පෙනණලුවලට හානි කළද, සිරුරේ අස්ථි, වසා ගැටිති, මොළය සහ වකුගඩු වැනි ඕනෑම අවයවයකට ද වැලඳීමේ හැකියාව පවතී. රෝගියෙකු කැස්සකදී, කිවිසුමකදී හෝ කතා කිරීමේදී වාතයට මුදාහරින ඉතා සියුම් බින්දු මඟින් මෙම බැක්ටීරියාව තවත් අයකුගේ ශ්වසන පද්ධතියට ඇතුළු වී රෝගය බෝ විය හැකියි.

මේ ලක්ෂණ ගැන ඔබ විමසිලිමත්ද?

ක්ෂය රෝගය මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම ඉතා වැදගත්ය. ඔබේ පවුලේ සාමාජිකයකුට හෝ හිතවතකුට පහත රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීමට ඔවුන්ව යොමු කරන්න.

සති දෙකකට වඩා පවතින කැස්ස

මෙය ප්‍රධානතම රෝග ලක්ෂණයයි. සාමාන්‍ය කැස්සකට වඩා වැඩි කාලයක් පවතින ඕනෑම කැස්සක් ගැන සෑක කළ යුතුය.

සවස් කාලයේ මඳ උණ

දවස පුරා සාමාන්‍ය පරිදි සිටියද, සවස් වන විට ශරීරයේ උෂ්ණත්වය මඳක් ඉහළ යාම මෙහි විශේෂත්වයකි.

අධික ලෙස දහඩිය දැමීම

රාත්‍රී නින්දේදී ඇඳුම් පවා තෙමෙන මට්ටමට දහඩිය දැමීම බොහෝ ක්ෂය රෝගීන් පවසන ලක්ෂණයකි.

ශරීරයේ බර අඩුවීම සහ කෑම අරුචිය

කිසිදු හේතුවක් නොමැතිව වේගයෙන් සිරුරේ බර අඩු වීම සහ කෑම ගැනීමට ඇති කැමැත්ත නැති වී යෑම.

සෙම සමඟ ලේ පිටවීම

මෙය රෝගය මඳක් උත්සන්න වූ විට දක්නට ලැබෙන අතර, එවැනි අවස්ථාවක පමා නොවී රෝහල් ගත විය යුතුය.

ප්‍රතිකාර සහ ගෘහණියකගේ භූමිකාව

යමකුට රෝගය වැලඳී ඇති බව තහවුරු වුවහොත්, එහිදී නිවෙසේ සිටින කාන්තාවට ඉටු කිරීමට සුවිශේෂී වගකීමක් ඇත.

අඛණ්ඩ ප්‍රතිකාර ලබා දීම

ක්ෂය රෝගය සඳහා සාමාන්‍යයෙන් මාස 6ක පමණ දීර්ඝ ප්‍රතිකාර කාලයක් අවශ්‍ය වේ. ඖෂධ ආරම්භ කර සති කිහිපයකින් රෝගියාට සුවයක් දැනුණද, කිසිම විටෙක මඟදී ප්‍රතිකාර නැවැත්වීමට ඉඩ නොදෙන්න. එසේ කළහොත් ඖෂධවලට පවා පාලනය කළ නොහැකි දරුණු බැක්ටීරියා (MDR-TB) මතු විය හැකියි.

පෝෂණය ශක්තිමත් කිරීම රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට පෝෂ්‍යදායී ආහාර වේලක් අත්‍යවශ්‍යයි. බිත්තර, කිරි, මාළු, මස් මෙන්ම කොළ පැහැති එළවළු සහ නැවුම් පලතුරු නිතර ආහාරයට එක් කරන්න.

පරිසරය පිරිසුදුව තබා ගැනීම

ක්ෂය රෝග බැක්ටීරියාව හිරු එළියට සහ හොඳ වාතාශ්‍රයට සංවේදී වේ. එබැවින් රෝගියා සිටින කාමරයේ ජනේල දොරවල් විවෘත කර තබමින් හිරු එළිය සහ පිරිසුදු වාතය නිවෙස තුළට පැමිණීමට ඉඩ සලසන්න.

ක්ෂය රෝගය වැලඳුණු පුද්ගලයකු සමාජයෙන් කොන් කිරීම හෝ ලේබල් කිරීම මහත් අගෞරවයකි. නිසි ප්‍රතිකාර ආරම්භ කර සති දෙකක් පමණ ගත වන විට රෝගියාගෙන් තවත් අයකුට රෝගය බෝවීමේ අවදානම නැති වී යයි. එබැවින් අප කළ යුත්තේ ඔවුන්ට මානසිකව ශක්තියක් වෙමින් නියමිත ප්‍රතිකාර සම්පූර්ණ කිරීමට අත්වැලක් වීමයි.

ශ්‍රී ලංකාවේ ඕනෑම රජයේ රෝහලකින් හෝ දිස්ත්‍රික් පපුවේ සායනයකින් ක්ෂය රෝගය සඳහා වන සෙම පරීක්ෂණ, එක්ස්-රේ (X-ray) පරීක්ෂණ සහ සියලුම ඖෂධ පූර්ණ නොමිලේ ලබාගත හැකියි.

සති දෙකකට වඩා කැස්සක් තිබේ නම්, එය සාමාන්‍ය හෙම්බිරිස්සාවක් යැයි සිතා කාලය නාස්ති නොකරන්න. ඉක්මන් පරීක්ෂාව ඔබවත්, ඔබේ පවුලත්, මුළු මහත් සමාජයත් මාරාන්තික රෝගයකින් සැණින් මුදා ගැනීමට හේතු වනු ඇත. අපි එක්ව ක්ෂය රෝගයෙන් තොර රටක් ගොඩනඟමු!

 

TEXT – පූර්ණිමා ඉන්දීවරී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?