අද කාලයේ ලෝකයේ බහුලව දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලු අතර අසාත්මික රෝග (Allergic diseases) ප්‍රධාන ස්ථානයක් ගනී. පරිසර දූෂණය, දූවිලි, මල්
රේණු, සතුන්ගේ රෝම, විවිධ ආහාර සහ රසායනික ද්‍රව්‍ය වැනි හේතු නිසා මිනිසාගේ ශරීරය අධික සංවේදී ලෙස ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම අසාත්මිකතා ඇති වේ. එවැනි අසාත්මිකතා නිසා නාසයෙන් දියර ගැලීම, කිවිසුම් යාම, ඇස් කැසීම, සමේ රතු පැල්ලම් සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි ලක්ෂණ පෙනී යා හැකියි.
මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා විවිධ ඖෂධ භාවිත කරන අතර, ඒ අතරින් වැදගත් ඖෂධයක් වන්නේ ඇස්ටිෆන් (Astifen) ය. ඇස්ටිෆන් යනු වෙළෙඳ නාමයයි. මෙය Ketotifen අඩංගු antihistamine වර්ගයේ ඖෂධයක් වන අතර, ශරීරයේ අසාත්මික ප්‍රතික්‍රියාවන් අඩු කරමින් දිගුකාලීනව රෝග පාලනය කිරීමට උපකාරි වේ. සාමාන්‍යයෙන් පෙති (Tablets) සහ සිරප් ආකාරවලින් මෙම ඖෂධය ලබා ගත හැකි අතර, රෝගියාගේ වයස හා අවශ්‍යතාව අනුව භාවිත කරයි.
මෙම ලිපියේ අරමුණ වන්නේ ඇස්ටිෆන් ඖෂධයේ භාවිතය, ක්‍රියාකාරිත්වය, අතුරු ආබාධ සහ එය භාවිත කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා දීමයි.
මෙය භාවිත කරන්නේ ඇයි?
අසාත්මිකතාවක් ඇති වීමේදී ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය බාහිර ද්‍රව්‍යයක් (allergen) හඳුනාගෙන එයට ප්‍රතික්‍රියා කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස histamine නම් රසායනික ද්‍රව්‍යය නිදහස් වේ. මෙම histamine නිසා නාසයෙන් දියර ගැලීම, කිවිසුම් යාම, ඇස් රතු වීම, කැසීම, සමේ පැල්ලම් සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි ලක්ෂණ පෙනී යයි. ඇස්ටිෆන් මෙම histamine ක්‍රියාකාරිත්වය අවහිර කරමින් මෙම ලක්ෂණ අඩු කරයි. එමෙන්ම, අසාත්මික ප්‍රතික්‍රියාවන් ඇති කරන සෛලවලින් රසායනික ද්‍රව්‍ය නිකුත් වීම ද අඩු කරයි.
මෙම ඖෂධය විශේෂයෙන් අසාත්මික ඇදුම (allergic asthma), නාසයේ අසාත්මිකතාව (allergic rhinitis), ඇස්වල අසාත්මිකතාව සහ සමේ අසාත්මික රෝග සඳහා භාවිත කරයි. තවද දූවිලි, මල් රේණු, සතුන්ගේ රෝම සහ විවිධ ආහාර හේතුවෙන් ඇති වන අසාත්මිකතා පාලනය කිරීමට ද මෙය උපකාරී වේ. එබැවින් දිගුකාලීනව අසාත්මික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන් සඳහා මෙය ප්‍රයෝජනවත් වේ.
ක්‍රියා කරන ආකාරය
ඇස්ටිෆන් භාවිත කිරීමේදී වැදගත් කරුණක් වන්නේ, මෙය වහාම ප්‍රතිඵල ලබා දෙන ඖෂධයක් නොවීමයි. එය ක්‍රමයෙන් ශරීරයේ ක්‍රියා කරමින් සති 2 සිට 4 දක්වා කාලයකින් ප්‍රතිඵල ලබා දෙයි. ඒ නිසා රෝගීන් විසින් ඖෂධය නිතරම වෛද්‍ය උපදෙස් අනුව ලබා ගැනීම ඉතා වැදගත් වේ. ඇදුම හෝ හුස්ම ගැනීමේ හදිසි අපහසුතාවක් ඇති වූ විට මෙම ඖෂධය භාවිත නොකළ යුතු අතර, ඒ සඳහා වෙනම හදිසි ප්‍රතිකාර ඖෂධ භාවිත කළ යුතුය.
මාත්‍රාව
මෙම ඖෂධය වැඩිහිටියන්ට සහ ළමුන්ට යන දෙපාර්ශ්වයටම භාවිත කළ හැකි අතර, මාත්‍රාව වයස සහ ශරීර බර අනුව වෙනස් වේ. සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට දිනකට දෙවරක් පෙති හෝ සිරප් ලබා දෙන අතර, කුඩා ළමුන් සඳහා වෛද්‍ය උපදෙස් අනුව මාත්‍රාව ගණනය කරයි. ඖෂධය ආහාර සමඟ ලබා ගැනීමෙන් උදර අපහසුතා අඩු කරගත හැකියි.
වැඩිහිටියන් සහ අවුරුදු 3ට වැඩි ළමුන් සඳහා:
පෙත්තක් (මිලිග්‍රෑම් 1) හෝ සිරප් මිලිලීටර් 5ක් බැගින් දිනකට දෙවරක් (උදේ සහ රාත්‍රී) ලබා දේ. සමහර අවස්ථාවල වෛද්‍ය උපදෙස් අනුව මාත්‍රාව මිලිග්‍රෑම් 2 දක්වා දිනකට දෙවරක් ලෙස වැඩි කළ හැකියි.
මාස 6 සිට අවුරුදු 3 දක්වා ළමුන්
ශරීර බර අනුව මාත්‍රාව ගණනය කරයි. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 0.05ක් බැගින් දිනකට දෙවරක් ලබා දේ.
නිදාගැනීම වැඩි වන පුද්ගලයන් සඳහා මුලදී රාත්‍රියට පමණක් අඩු මාත්‍රාවක් ලබා දීමට වෛද්‍යවරු උපදෙස් ලබා දෙති.
අතුරු ආබාධ
ඇස්ටිෆන් භාවිත කිරීමේදී සමහර අතුරු ආබාධ ද පෙනී යා හැකියි. නින්ද වැඩිවීම, හිස කරකැවීම, කට වියළීම සහ හිසරදය වැනි සාමාන්‍ය ලක්ෂණ තිබිය හැකියි. සමහර පුද්ගලයන්ට ආහාර රුචිය වැඩිවීම හේතුවෙන් බර වැඩිවීම ද සිදු විය හැකියි. දුර්ලභ අවස්ථාවලදී දැඩි අසාත්මික ප්‍රතික්‍රියාවන් හෝ වලිප්පුව වැනි තත්ත්වයන් ද ඇති විය හැකි බැවින්, එවැනි ලක්ෂණ පෙනී යන විට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
තවද මෙම ඖෂධය භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. මෙය නින්ද ඇති කරන බැවින් වාහන ධාවනය කිරීමේදී හෝ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී අවධානයෙන් සිටිය යුතුය. මත්පැන් සමඟ භාවිත කිරීමෙන් මෙම බලපෑම් වැඩි විය හැකි බැවින් එය වැළැක්වීම වඩාත් සුදුසුය. එමෙන්ම වෙනත් ඖෂධ භාවිත කරන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
භාවිත නොකළ යුතු අය
ගර්භිණී සහ කිරි දෙන මවුවරුන් මෙම ඖෂධය භාවිත කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මන්ද, ඖෂධයේ බලපෑම් ළදරුවාට බලපාන්නට ඉඩ ඇති බැවිනි. එමෙන්ම වකුගඩු හෝ හෘද රෝග ඇති පුද්ගලයන් ද මෙම ඖෂධය භාවිත කිරීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.
ඇස්ටිෆන් පිළිබඳ වැරදි අදහස්
සමහර පුද්ගලයන් අතර මෙම ඖෂධය පිළිබඳ වැරදි අදහස් පවතී. මෙය ඇදුම රෝගය සම්පූර්ණයෙන් සුව කරයි යන අදහස වැරදිය. මෙය වහාම ප්‍රතිඵල ලබා දෙන ඖෂධයක් නොවේ. එමෙන්ම මෙම ඖෂධය භාවිත කිරීමෙන් ඇබ්බැහි වීමක් ඇති නොවේ.
ඇස්ටිෆන් යනු අසාත්මික රෝග සම්පූර්ණයෙන් සුව කරන ඖෂධයක් නොව, ඒවා පාලනය කිරීමට උපකාරී වන දිගුකාලීන ප්‍රතිකාරයක් බව අවබෝධ කරගත යුතුය. නිවැරදි වෛද්‍ය උපදෙස් අනුව නිසි ලෙස භාවිත කරන විට, මෙම ඖෂධය රෝගීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ දෛනික ජීවිතය පහසු කිරීමට මහත් වශයෙන් උපකාරී වේ.
TEXT – විදුමිණි දිසාකරුණා
