Tuesday, March 31, 2026
Epaper
Home Recipeනිවෙසේදීම පහසුවෙන් හදන මුවගට රස දෙන අතුරුපස

නිවෙසේදීම පහසුවෙන් හදන මුවගට රස දෙන අතුරුපස

by Shanaka Lakehouse


වෙනස්ම රසයකින් පෝෂණය පිරි බීට්රූට් වඩේ

️සාමාන්‍යයෙන් අප කෑමට ගන්නා පරිප්පු වඩේවලට වඩා වෙනස්ම රසයක් වගේම පෝෂණයක් ලබා ගන්න බීට්රූට් එක් කර සාදාගන්නා මෙම වඩේ වට්ටෝරුව කදිමයි. එහි ඇති ආකර්ෂණීය වර්ණය නිසාම දරුවන් පවා මෙයට ඉතා ප්‍රිය කරනවා ඇති. ඉතාම පහසුවෙන් නිවෙසේදීම පිළියෙල කරගත හැකි මෙම බීට්රූට් වඩේ හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය (කුඩා වඩේ 10ක් සඳහා)

කඩල පරිප්පු කෝප්පයක්

ග්‍රේට් කරගත් (සිහින්ව ගා ගත්) කුඩා බීට්රූට් ගෙඩියක්

සිහින්ව ලියා ගත් අමුමිරිස් සහ බී ලූනු

කෝන් පිටි (Corn Flour) තේ හැඳි 1ක්

දෙහි බෑයක යුෂ

පදමට ලුණු

අවශ්‍ය නම් උම්බලකඩ කැබලි ස්වල්පයක්

බැදීමට තෙල්

සාදාගන්නා ආකාරය

පළමුව කඩල පරිප්පු ටික පැය 3ක් පමණ වතුරේ දමා හොඳින් පොඟවා ගන්න. දැන් ජලය හොඳින් පෙරා ගත් පරිප්පු, කැබලි ස්වල්පයක් සිටින සේ ග්‍රයින්ඩරයක දමා කොටා ගන්න. (මෙහිදී වතුර ස්වල්පයක්වත් එක් නොකිරීමට වගබලා ගන්න.)

ඉන්පසු ග්‍රේට් කරගත් බීට්රූට් ඇතුළු ඉතිරි සියලුම අමුද්‍රව්‍ය පරිප්පු මිශ්‍රණයට එකතු කර හොඳින් අනා ගන්න. වඩේ මිශ්‍රණය වඩාත් හොඳින් පදම් වීමට විනාඩි 15ක් පමණ ශීතකරණයේ තබා ගන්න.

දැන් අත්ලේ වතුර ස්වල්පයක් ගාගෙන, මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ගෙන අත්ල මත තබා කැමති හැඩයකට පැතලි කර ගන්න. ළිපේ ගින්දර මඳක් අඩුවෙන් තබා ගනිමින්, රත් වූ ගැඹුරු තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න. හොඳින් තෙල් බේරාගත් පසු උණු උණුවෙන්ම මෙහි රස විඳිය හැකියි.

කෝන් පිටි එක් කිරීම අත්‍යවශ්‍ය නොවුණත්, එමඟින් අමුද්‍රව්‍ය එකිනෙක හොඳින් බැඳ තබා ගනිමින් වඩේ බෝල නිසි හැඩයට සකස් කර ගැනීම පහසු කරයි.

 


ගු ණ පිරි හබල පෙතිවලින් සැණින් හදන තල මිශ්‍ර අග්ගලා

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු, තේ පානය කරන වේලාවට මෙන්ම දරුවන්ගේ අමතර ආහාරයක් ලෙස ද ඉතා ගැළපෙන අපූරු කෑමකි.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හෝ රතු හබල පෙති පීරිසි කෝප්පයක්

ගා ගත් පොල් මිටක්

සීනි (ඔබේ රස පදමට)

තල ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

මුලින්ම හබල පෙති භාජනයකට දමා මඳ රස්නය ඇති වතුර ස්වල්පයක් එක් කර විනාඩි 2ක් පමණ තිබෙන්නට හරින්න. (මෙහිදී භාජනය වසා තැබීම අවශ්‍ය නොවන අතර, හබල පෙති දිය වී යාමට පෙර ජලයෙන් ඉවතට ගැනීමට වගබලා ගන්න.)

ඉන්පසු වතුර හොඳින් මිරිකා හබල පෙති ටික පසෙකින් තබන්න. දැන් එම හබල පෙතිවලට ගා ගත් පොල්, සීනි සහ ලුණු ස්වල්පයක් දමා අතින් හොඳින් මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණය කුඩා බෝල (අග්ගලා) ලෙස සකස් කර ගන්න. අවසානයේ යන්තම් කබලේ බැදගත් තල පිඟානකට දමා, සාදාගත් හබල පෙති බෝල එකින් එක එහි දවටා අලංකාරව පිළිගන්වන්න.

ඉතා අඩු පිරිවැයකින් සහ නිර්මාණශීලිව නිවෙසේදීම සාදාගත හැකි මෙම පෝෂණීය අතුරුපස ඔබේ පවුලේ සැමට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි.

 

ඇඹුල් පැණි රස මුසු වූ අපූරු පැෂන් ෆෘට් කප් කේක්

සවස් වරුවේ තේ පැන් සංග්‍රහයකට නිතරම හදන කේක් වට්ටෝරුවලින් බැහැර වී, නැවුම් පළතුරු රසයකින් යුත් අතුරුපසක් පිළියෙල කරගන්න ඔබත් කැමති ඇති. පැෂන් ෆෘට්වල ඇති ගුණයත්, එහි ඇති සුවිශේෂී සුවඳත් මුසු වූ මේ කප් කේක් වට්ටෝරුව ඉතාම පහසුවෙන් නිවෙසේදීම අත්හදා බලන්න ඔබට පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

(කප් කේක් 12ක් සඳහා):

පාන් පිටි ග්‍රෑම් 150ක්

බිත්තර 3ක්

කුඩු කරගත් රතු සීනි ග්‍රෑම් 130ක්

වැනිලා බිංදු 2ක්

බටර් ග්‍රෑම් 150ක්

බේකිං පවුඩර් තේ හැඳි භාගයක්

පැෂන් ෆෘට් ගෙඩි 3ක්

සාදාගන්නා ආකාරය:

මුලින්ම උදුන (Oven) සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයට රත් වීමට තබන්න. පැෂන් ෆෘට් ගෙඩි කපා එහි ඇට ද සහිතව යුෂ වෙනම භාජනයකට දමා පසෙකින් තබන්න. භාජනයකට බටර් සහ සීනි දමා ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරන අතරතුර එයට වැනිලා එකතු කරන්න. ඉන්පසු බිත්තර එක බැගින් මිශ්‍රණයට එක් කරමින් තවත් ස්වල්ප වේලාවක් බීට් කර නවත්වා ගන්න.

වෙනත් භාජනයක පාන් පිටි සහ බේකිං පවුඩර් එකට දමා හොඳින් මිශ්‍ර කරන්න. එම පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන බීට් කරගත් බටර් මිශ්‍රණයට දමා ලී හැන්දකින් එකම පැත්තකට පමණක් මිශ්‍ර කරන්න. අවසානයට පැෂන් ෆෘට් යුෂ මේස හැඳි 4ක් පමණ ඇට ද සහිතව එයට එකතු කරන්න.

දැන් කප් කේක් ට්‍රේ එකට පේපර් කප්ස් දමා, එක් කප් එකකට මිශ්‍රණයෙන් මේස හැන්ද බැගින් දමන්න. මෙහිදී කප් එක සම්පූර්ණයෙන්ම පිරවීමට එපා. තුන් කාලක් පමණ පිරවීම ප්‍රමාණවත්ය. නැතහොත් බේක් වන විට මිශ්‍රණය උතුරා යාමට ඉඩ ඇත. අවසානයට ඒ මතින් පැෂන් ෆෘට් ඇට කිහිපයක් තබන්න.

සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ පුලුස්සා ගන්න. කේක් එක බේක් වී ඇත්දැයි බැලීමට දැව කූරක් (toothpick) ආධාරයෙන් පරීක්ෂා කර බලන්න. එය පිරිසුදුව තිබේ නම් කේක් එක නිවැරදිව බේක් වී ඇත.

අවශ්‍ය නම් අයිසිං ෂුගර් මේස හැඳි 3කට බටර් මේස හැන්දක් දමා හොඳින් මිශ්‍ර කර, කප් කේක් උඩින් තවරා පැෂන් ෆෘට් ඇට කිහිපයකින් ගාර්නිෂ් (Garnish) කර අලංකාරව පිළිගන්වන්න.

 

කර කර ගාන ඉස්සෝ වඩේ

හවසට තේ බොන වෙලාවට එළියට ගොස් ඉස්සෝ වඩේ රස බලන්න කවුද අකැමැති? හැබැයි ඒ රසයම පිරිසුදුව වගේම ගු ණදායකව ඔබේ ආදරණීයයන් වෙනුවෙන් නිවෙසේදීම පිළියෙල කරගන්න දැන් පුළුවන්. ඉතාම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඔබේ අතින්ම මේ රසවත් ඉස්සෝ වඩේ හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

මයිසූර් පරිප්පු ග්‍රෑම් 250ක්

හොඳින් සෝදා පිරිසිදු කර ලුණු තවරා ගත් ඉස්සන්

සිහින්ව ලියා ගත් අමුමිරිස් සහ රතු ලුණු

කෝන් පිටි (Corn Flour)

තේ හැඳි 1ක්

දෙහි ඉස්ම ස්වල්පයක්

පදමට ලුණු

කෑලි මිරිස් ස්වල්පයක්

පාන්පිටි මේස හැන්දකට මඳ උණුසුම් වතුර ස්වල්පයක් දමා සකස් කර ගත් පාප්ප මිශ්‍රණය

බැදීමට තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම පරිප්පු ටික පැයක් පමණ වතුරේ දමා හොඳින් පොඟවා ගන්න. ඉන්පසු වතුර බේරා ගත් පරිප්පුවලින් කොටසක් ග්‍රයින්ඩ් කර ගන්න. (මෙහිදී වතුර ස්වල්පයක්වත් එක් නොකිරීමට වගබලා ගන්න.) දැන් ග්‍රයින්ඩ් කළ කොටස සහ ඉතිරි වූ පරිප්පු කොටස එකට දමා හොඳින් මිශ්‍ර කරන්න.

ඉස්සන් හැර ඉතිරි සියලුම අමුද්‍රව්‍ය මෙම පරිප්පු මිශ්‍රණයට එකතු කර හොඳින් අනා ගන්න. වඩේ මිශ්‍රණය වඩාත් හොඳින් පදම් වීමට විනාඩි 15ක් පමණ ශීතකරණයේ තැබීමෙන් පසුව වුවද භාවිත කළ හැකියි.

දැන් අත්ලේ වතුර ස්වල්පයක් ගාගෙන, මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ගෙන අත්ල මත තබා හොඳින් රවුමට සහ තුනීවට පැතලි කර ගන්න. පසුව ඉස්සකු ගෙන වඩේ මැද පාප්ප ස්වල්පයක් ගා පරිස්සමෙන් අලවා ගන්න.

ළිපේ ගින්දර අඩුවෙන් තබා ගනිමින්, රත් වූ ගැඹුරු තෙලට දමා දෙපැත්ත හරවමින් රන්වන් පැහැ වනතුරු බැදගන්න. දැන් ඔබට මුවගට රස දෙන උණු උණු ඉස්සෝ වඩේ පවුලේ සැම සමඟ රස විඳිය හැකියි.

 

දේශීය පෝෂණය සපිරි රසවත් කිතුල් හකුරු මිශ්‍ර තල බෝල

අතීතයේ සිටම ශ්‍රී ලාංකේය අප අතර ඉතා ජනප්‍රිය මෙන්ම ගුණදායක අතුරුපසක් ලෙස තල බෝල හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම කිතුල් හකුරු මිශ්‍ර කර සාදාගන්නා මෙම තල බෝල, කිසිදු කෘත්‍රිම රසකාරකයක් නොමැතිව ඉතාම පිරිසුදුව නිවෙසේදීම සාදාගත හැකියි. හවස තේ වෙලාවට මෙන්ම දරුවන්ගේ අමතර ආහාරයක් ලෙසත් මෙය ඉතාම ගැළපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු තල ඇට ග්‍රෑම් 200ක්

සූරා ගත් කිතුල් හකුරු (ඔබේ රස පදමට)

ගා ගත් පොල් මේස හැන්දක් (අවශ්‍ය නම් පමණක්)

සාදාගන්නා ආකාරය

පළමුව තල ඇට වියළි භාජනයකට දමා විනාඩි 2ක් පමණ මඳ ගින්දරේ කබලේ බැද ගන්න. කබලේ බැද ගත් එම තල ඇටවලින් මේස හැන්දක පමණ ප්‍රමාණයක් පසෙකින් තබා, ඉතිරි තල ප්‍රමාණය ග්‍රයින්ඩරයක දමා හොඳින් කොටා ගන්න.

දැන් ග්‍රයින්ඩරයේ කොටා ගත් තල ඇට, සූරා ගත් හකුරු, කලින් පසෙකින් තැබූ කොටා නොගත් තල ඇට සහ පොල් භාජනයකට දමා අතින් හොඳින් මිශ්‍ර කරමින් අනා ගන්න. අවසානයට එම මිශ්‍රණයෙන් කුඩා බෝල සකස් කර ගන්න.

ඉතාම පහසුවෙන් සහ නිර්මාණශීලිව පිළියෙල කරගත හැකි මෙම තල බෝල, පවුලේ සැමට පෝෂණීය අත්දැකීමක් වනු නොඅනුමානයි.

 

මුවග දියවන චොකලට් ලාවා කේක්

නිවෙසට එන අමුත්තකුට සංග්‍රහ කරන්න වගේම පවුලේ සැමට රස විඳින්න පුළුවන් අපූරු අතුරුපසක් තමයි චොක්ලට් ලාවා කේක් කියන්නේ. ඉතාමත් අඩු ද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉතා ඉක්මනින් මේ රසවත් අතුරුපස පිළියෙල කරගන්නා ආකාරය අද අපි කියා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 90ක්

චොකලට් ග්‍රෑම් 200ක්

කොකෝවා පවුඩර් තේ හැඳි 1ක්

පාන් පිටි ග්‍රෑම් 50ක්

බිත්තර 3ක්

වැනිලා ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

මුලින්ම චොකලට් එක මයික්‍රෝවේව් උදුනක හෝ ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න. (වතුර භාජනයක් ළිප තබා ඊට වඩා කුඩා භාජනයකට චොකලට් දමා රත් කර ගැනීමෙන් මෙය පහසුවෙන් කරගත හැකියි.)

ඉන්පසු දිය කර ගත් චොකලට්වලට බටර් හා කොකෝවා පවුඩර් එකතු කර හැන්දකින් හොඳින් මිශ්‍ර කර නිවෙන්නට තබන්න. එය නිවෙන අතරතුර බිත්තර ටික පෙණ එනතුරු ඉලෙක්ට්‍රික් බීටරයකින් හොඳින් බීට් කර ගන්න.

දැන් බිත්තර මිශ්‍රණය, කලින් නිවා ගත් චොක්ලට්-බටර් මිශ්‍රණයට එක් කර එයටම පිටි ස්වල්පය බැගින් එකතු කරමින් හැන්දකින් මිශ්‍ර කරන්න. (මෙහිදී බීටරය භාවිත නොකිරීමට වගබලා ගන්න.) අවසානයට වැනිලා එකතු කරන්න.

කප් කේක් ට්‍රේ එකකට පේපර් කප්ස් හෝ ෆොයිල් කප්ස් දමා ඒවාට මෙම මිශ්‍රණයෙන් ටික ටික වක් කර සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි 10ක් පමණ බේක් කරගන්න.

නියමිත වේලාව අවසන් වූ සැණින් මෙය අවන් එකෙන් පිටතට ගත යුතුය. එසේ නොවුවහොත් ඇතුළත ඇති ලාවා ගතිය නැති වී යයි. බේක් වන අතරතුර දැව කූරක් (toothpick) ආධාරයෙන් පරීක්ෂා කර බැලීමෙන් කේක් එකේ පදම නිවැරදිව හඳුනාගත හැකියි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?