Monday, April 6, 2026
Epaper
Home විශේෂාංගනෙත්දෙක බොඳවී සමඟ නව ගමනක් ඇරැඹූ යොවුන් ගායක ජීවන් පෙරේරා

නෙත්දෙක බොඳවී සමඟ නව ගමනක් ඇරැඹූ යොවුන් ගායක ජීවන් පෙරේරා

by Mavan Perera

සංගීතය යනු කලාකරුවකුගේ සිහින, කැපවීම සහ හැකියාවන් එකට බැඳෙන කලා මාවතකි. එවැනි දිගු ගමනක් ආරම්භ කරමින් සංගීත ලොව තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන නිර්මාණශීලි තරුණයකු ලෙස කේ.කේ. ජීවන් පෙරේරා අද හඳුන්වා දිය හැකිය.

වසර දහඅටකට පමණ පෙර ඔහු “සොලිඩර්ස්” නමැති සංගීත කණ්ඩායම ආරම්භ කළේ සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට ඇති දැඩි උනන්දුව හේතුවෙනි. ආරම්භයේදී එම කණ්ඩායමට බාධා සහ අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවද ජීවන් සංගීතයෙන් ඈත්ව නොසිටියේය. එම අවස්ථාවේදී ඔහු නැදගමුව ඉෂාරා සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයෙකු ලෙස එක්ෙවමින් වේදිකාවේ අත්දැකීම් රැසක් සම්පාදනය කර ගත්තේය.

කොරෝනා සමයේ ඇති වූ දුෂ්කරතා හේතුවෙන් ජීවන්ගේ සංගීත ගමනට තාවකාලිකව විරාමයක් ලැබුණි. එම කාලය ඔහුට මානසිකවද අභියෝගාත්මක අවධියක් විය. එහෙත් එම අවස්ථාවේදී ඔහුට නැවතත් සංගීතයට මුහුණ දීමට ශක්තිය ලබා දුන්නේ නිලාන් මලිගැස්පර් රංගන උපදේශකයා විසිනි. ඔහු විසින් ලබාදුන් උදවු සහ මඟපෙන්වීම ඔහුගේ ජීවිතයට විශාල ශක්තියක් විය. එම සහයෝගය මත ඔහුට නැවතත් තම නිර්මාණාත්මක ගමන ආරම්භ කිරීමට හැකි විය.

ඉන් අනතුරුව ජීවන් තමන්ගේම පද රචනයෙන් නිර්මාණය කළ “නෙත් දෙක බොඳ වී” යන ගීතය එළිදක්වමින් සමාජ මාධ්‍ය තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. එම ගීතය ඔහුගේ සංගීත ගමනට නව ශක්තියක් ලබා දුන් නිර්මාණයක් ලෙස සැලකේ.

එසේම ඉදිරියේදී රසිකයන් වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින “නුඹට පුතේ මා තැළුවේ” යන ගීතය ගීත රචක නිශාන්ත බණ්ඩාරනායක විසින් ලියූ නිර්මාණයකි. එම ගීතය රසිකයන් අතර අවධානය දිනාගන්නා ගීතයක් වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

තවද ඉදිරියේදී එළිදැක්වීමට බලාපොරොත්තු වන තවත් ගීතයක් ලෙස “කවියක් වී නුඹ ළඟින්ම මුමුනන්න” යන ගීතයද සඳහන් කළ හැකිය. එම ගීතය ගීත රචක දීපා වස්කඩුව විසින් ලියූ නිර්මාණයකි.

උඩුගම්පොළ සෙනරත් ජාතික පාසලෙන් බිහි වූ ජීවන් පෙරේරා වේදිකාවේ අත්දැකීම් සහ නිර්මාණශීලි හැකියාවන් සමඟ සංගීත ලොව තුළ තවදුරටත් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙයි. අනාගතයේදී ජනප්‍රිය ගායකයකු ලෙස නාමය දිනාගැනීමට ඔහුට හැකි වේවා යන්න රසිකයන්ගේ ද අපේක්ෂාවයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?