Friday, April 10, 2026
Epaper
Home විශේෂාංගත්‍රිකුණාමලයේ හදවත බඳු තිරුකෝණේෂ්වරම් දේවාලය

ත්‍රිකුණාමලයේ හදවත බඳු තිරුකෝණේෂ්වරම් දේවාලය

by Mavan Perera

ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළ තීරය යනු, සොබාදහමේ මෙන්ම ඓතිහාසික උරුමයන්ගේ ද අපූරු සංකලනයකි. එහිදී ත්‍රිකුණාමලය සතු සුවිශේෂී ආකර්ෂණය හුදෙක් වෙරළ තීරයට පමණක් සීමා නොවේ. එම ආකර්ෂණයේ සැබෑ හදවත සහ ආත්මය සැඟව ඇත්තේ ඉන්දියන් සාගරයේ ගැඹුරු නිල් දියවරින් වටවුණු ස්වාමි පර්වතය මුඳුනේ පිහිටි පූජනීය තිරු කෝණේෂ්වරම් දේවාලය තුළයි. පසුගිය දිනක මා එහි කළ සංචාරය හුදෙක් විනෝද චාරිකාවකට එහා ගිය අතීත ශ්‍රී විභූතිය සහ අ‍ෙධ්‍යාත්මික සන්සුන් බව මුසු වූ අමතක නොවන අත්දැකීමක් විය.

ත්‍රිකුණාමලය නගරයේ සිට කෝණේෂ්වරම් දේවාලය කරා යන ගමනේදී අපට පළමුව හමුවන්නේ ඓතිහාසික ෆෙඩ්රික් කොටුවයි. ආරක්ෂක හේතුන් මත කොටුව තුළට ඇතුළු විය හැක්කේ සැහැල්ලු වාහනවලට පමණක් නිසා අනෙකුත් වාහන තුන්මං හන්දිය අසල නවතා තැබීමට සිදුවේ. එහෙත් කෝවිල කරා වාහනයකින් යා හැකි වුවද පරිසරයේ සහ ගමනේ සැබෑ අසිරිය විඳින්නට නම් පයින් යාම වඩාත් සුදුසු බව මගේ අදහසයි.

කොටු පවුර මැදින් වැටී ඇති මාර්ගය දෙපස නිදහසේ සැරිසරන තිත් මුව රංචු පයින් යන සංචාරකයන්ගේ තනි නොතනියට මඟ දෙපස රැඳී සිටිති. පාරේ වම්පසින් අතීත යුද ස්මාරක සිහිපත් කරමින් ඕලන්ද බොක්ක දෙසට එල්ල කරන ලද පැරණි කාලතුවක්කු පෙළක් ද දැකගත හැකිය. කඳු පාමුල පිහිටි මාර ගස් හෙවණෙහි ඇති යුද හමුදා සුබසාධක ආපණශාලාවෙන් උණුසුම් තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳීමට ද සංචාරකයන්ට අවස්ථාව ඇත. කෝවිල පේන තෙක් මානයේ දෙපස ඇති කුඩා කඩ පේළිය ගමනට අමුතුම විචිත්‍රත්වයක් එක් කරයි. පූජා භාණ්ඩ, දේව රූප, වර්ණවත් රස කැවිලි, මාල වළලු, සෙල්ලම් බඩු සහ විවිධ සමරු සිහිවටනවලින් පිරුණු මේ කඩ වීදිය පසු කරන විට අප පිවිසෙන්නේ පූජනීය දේව භූමියටයි. 16 වැනි සියවස වන විට මෙම පුදබිම අග්නිදිග ආසියාවේ පැවති පොහොසත්ම දේවාලයක් ලෙස විදේශීය සංචාරකයන්ගේ පවා ඇගයීමට ලක්ව තිබුණි. එදා මෙහි දහසක් කුළුණු සහිත මහා මන්දිර තිබූ බවත් ඒවා රන්, මුතු, මැණික් හා සේද රෙදිවලින් සපිරි තිබූ බවත් ඉතිහාසය සාක්ෂි දරයි.

එහෙත් 1624 දී පෘතුගීසි හමුදාපති කොන්ස්ටන්ටයින් ද සා විසින් මෙම මහා දේවාලය විනාශ කර එහි වටිනා සම්පත් කොල්ලකා එම සුන්බුන් ෆෙඩ්රික් කොටුව ඉදි කිරීමට යොදා ගැනීම ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයකි. අද අපි දකින්නේ එදා විනාශ කළ ඒ මහා මන්දිරවල නෂ්ටාවශේෂ මතින් නැවත හිස එසවූ හින්දු ප්‍රජාවගේ නොසැලෙන භක්තියයි. කෝණේෂ්වරම් දේවාලය ශ්‍රී ලංකාවේ පිහිටි පංච ඊශ්වරම් දේවාල අතරින් වඩාත් පූජනීය ස්ථානය ලෙස සැලකේ. ශිව දෙවියන් වෙනුවෙන් කැප කර ඇති මෙහි උන්වහන්සේ “කෝණේසර්” හෙවත් කෝණ පර්වතයේ අධිපතියා ලෙස වන්දනාමානයට පාත්‍ර වේ. හින්දු සාහිත්‍යයට අනුව මෙය විශ්වයේ මූලද්‍රව්‍ය පහෙන් “ආකාශය” නියෝජනය කරන පුදබිමකි. රාමායනයේ එන රාවණා රජු සිය මවගේ රෝගී තත්ත්වය සුවපත් කරනු වස් ශිව දෙවියන් උදෙසා මෙහි සිට වත්පිළිවෙත් කළ බවත් එම බැතිය නිසාම පර්වතය දෙපළු වූ බවත් කියවෙන රාවණා කැපුම අදටත් සංචාරකයන්ගේ විමතියට හේතු වේ.

දේවාල සංකීර්ණය නිරීක්ෂණය කිරීමේදී ද්‍රවිඩ වාස්තු විද්‍යා ශෛලියෙහි ඇති සියුම් බව මනාව පැහැදිලි වේ. ප්‍රධාන දේවාලයේ “ගෝපුරය” පුරා නෙළා ඇති දේව රූප සහ විසිතුරු කැටයම් පුරාණ ශිල්පීන්ගේ කුසලතාව ඉස්මතු කර පෙන්වයි. දේවාල භූමිය තුළ ගනේෂ, පාර්වතී සහ මුරුගන් යන දෙවිවරුන් වෙනුවෙන් වෙන් වූ සිද්ධස්ථාන රැසක් ද දක්නට ලැබේ. භක්ති ගීතවල නාදයන් මැද බැතිමතුන් පෝලිම් ගැසී පූජාවන් පවත්වන දසුන ඕනෑම අයකුගේ සිත් තුළ ගෞරවයක් ඇති කිරීමට සමත් වේ.

දේවාලයේ එක් පසෙකින් පෙනෙන ඉන්දියන් සාගරයේ දර්ශනය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චමත්කාරජනකය. උස් පර්වතයක සිට නිල් පැහැති රළ පෙළ පර්වත පාමුල වැදී පෙණ කැටි නංවන අයුරු බලා සිටීමෙන් සිතට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවකි. මෙහි ඇති භූගෝලීය පිහිටීම දේවාලයේ සුන්දරත්වය දෙගුණ කරයි. හිරු බැස යන සැන්දෑවක මෙහි සිට බලන සංචාරකයකුගේ දෑසට හසුවන සුන්දරම නිමේෂයක් වනු නොඅනුමානය.

කෝණේෂ්වරම් විහාරය යනු හුදෙක් ආගමික ස්ථානයක් පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනයේ සහ සංස්කෘතික විවිධත්වයේ සජීවී සලකුණකි. අතීතයේ සිට විවිධ ආක්‍රමණවලට සහ විනාශයන්ට මුහුණ දී නැවත නැවතත් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින මෙම පුදබිම හින්දු උරුමයේ අභිමානය ලොවටම කියාපායි.

ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඕනෑම අයකු මෙම ඓතිහාසික උරුමය නැරඹීම අනිවාර්ය වේ. එය හුදෙක් දර්ශනීය ස්ථානයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ පෞරාණික ශිෂ්ටාචාරය, ආගමික සහජීවනය සහ මානව භක්තිය විදහා දක්වන සජීවී ස්මාරකයකි. වසර දහස් ගණනක ඉතිහාසයත් සොබාදහමේ සෞන්දර්යයත් එකට මුසු වූ තිරු කෝණේෂ්වරම් පින්බිම අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණකි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?