අම්මාවරුනේ…
උදෑසනම අහසේ පායා ලොවක් එළිය කරන හිරු එළිය මෙන් අපේ ජීවිතය ළමා අවධියේ සිට එළිය කරන අප ජීවිතයේ ආලෝකය අම්මා හැර අන් කවරෙක්ද? එවන් අම්මාවරු ගැන කතා කරන “තරුණී අම්මාවරුනේ” විශේෂාංගය සමඟ මෙවර එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ගයනා සුදර්ශිනියයි. ඇය අප සමඟ සිය මව පිළිබඳ දැක්වූ අදහස්වලින් මෙවර තරුණී අම්මාවරුනේ පිටුව හැඩ වෙයි.
මගේ අම්මා පී.පී. ජයතුංග. අපේ අම්මා පුංචි කාලේ ඉඳන් මට ගොඩාක් ආදරය කළ හැටි මට හුඟක් හොඳින් මතකයි. මගේ අම්මා ගුරුවරියක්. ඉතින් අම්මා පාසලෙන් පාසලට මාරු වෙද්දී මාවත් ඒ පාසලට එක් කරගෙන ගිය හැටි මට මතකයි. වතාවක අපේ අම්මා අවිස්සාවේල්ලේ පාසලකට සේවයට ගියා. ඉතින් ඒ දවස්වල අම්මා උදේ පාන්දර පහයි තිහට බත් උයාගෙන ගෙදරින් පිටත් වන්නේ මා එක්කමයි. අනතුරුව අම්මා කලල්ගොඩ ඇතුළු පාසල් ගණනාවක සේවය කරනවා. ඉතින් පුංචි කාලේ මං පාසල් කිහිපයක ඉගෙන ගත්තා වගේම ඒ පාසල්වල ළමයින්ගේ එකම හුරතලේ මං වුණා.
මං පුංචිම කාලේ ගොඩක් දඟකාර චරිතයක් නෙවෙයි. ඒත් අම්මා කියන විදිහට මට අවුරුදු අටක් දහයක් වෙද්දී මං ටිකක් දඟ කෙරුවාලු. ඒත් අම්මා ගුරුවරියක් වුණත් කවදාවත්ම මට ගුටි දීලා නෑ. හැබැයි තාත්තා නම් මං වැරදි කළාම ගුටි දීලා තියෙනවා. ඒ වගේම අපේ ගෙදර වත්ත පර්චස් 40ක විතර විශාල ඉඩමක්. ඒ කාලේ වත්ත පුරාම දුව ඇවිදිමින් මං සෙල්ලම් කළා. අපේ තාත්තා වත්තේ දිග කානුවක් කපා තිබුණා. ඒ කානුවේ බැහැලා පවා සෙල්ලම් කළ විදිහ මට යාන්තමට මතකයි. ඒ වගේම අම්මාගේ සාරි පටලවාගෙන ගුරුවරියක් වගේ උගන්වපු හැටි මගේ මතකයෙන් කවදාවත් ගිලිහෙන්නේ නෑ. අපේ අම්මා කවදාවත්ම මට ඒවාට තහංචි දැම්මේ නැහැ. ඇය පුංචි කාලේ මට උපරිම නිදහස ලබා දුන්නා. පාසල් ගුරුවරියක ලෙස අම්මාට විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් හිටියා. ඉතින් ඒ ළමයි බොහෝමයක් අපේ ගෙදර එන හැටි මට අද වගේ මතකයි. ඒ හැමෝටම අපේ අම්මා ගොඩාක් ආදරෙයි. ඉතින් අපේ අම්මාට දරුවන් කෙරේ විශාල සෙනෙහසක් තිබුණා. ඉතින් ඒ ආකාරයෙන් වැඩුණු සෙනෙහස අපේ අම්මා මට වුවමනාවටත් වැඩියෙන් ලබා දුන්නා කිව්වොත් නිවැරදියි.
ඉස්සර අපේ ගෙයි ඉස්තෝප්පුවේ වාඩිවෙලා මාවයි, අයියාවයි, මල්ලිවයි, නංගිවයි වට කරගෙන අම්මා නන්දා මාලිනියගේ සිංදු කියනවා. අපේ අම්මා නන්දා මාලිනියගේ ගීතවලට වඩාත් ප්‍රිය කළා. අහසේ පායන දේදුන්නේ පාට, හඳේ ලස්සන ආදි පරිසරයේ සුන්දරත්වය ගැන අම්මා නිතරම අපට කියා දුන්නා”.
සිය මෑණියන් සතු වටිනා ගති ලක්ෂණ ගයනා විසින් අප හමුවේ තැබූවේ මේ ආකාරයෙනි.
“අපේ අම්මාට විශාල නෑදෑයෝ පිරිසක් ඉන්නවා. ඒ හැම නෑයෙක්ගෙම දරුවන්ට වගේම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අපේ අම්මා හවස පන්ති කළේ කිසිදු මුදලක් අය නොකරයි. ඒ හැම කෙනෙක්ම පාහේ අපේ ගෙදර නතර වී පාඩම් කරලා ගෙවල්වලට ගියේ සති අන්තයේදීයි. අපේ අම්මා එවන් පරිත්‍යාගශීලි චරිතයක්”.
ගයනාගේ කලා ජීවිතයට සිය මව දැක්වූ ශක්තිය ගැන ඇය පළ කළේ මෙබඳු අදහසකි.
“අම්මා ඉස්සර අපිව චිත්‍රපට බලන්නට එක්ක යනවා. මං කලාවට සමීප වන්නට එය වඩාත් හේතු වන්නට ඇති. ඉතින් මං ඒ කාලේ විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා ආදි නළු නිළියන්ගේ පින්තූර කපලා පොත්වල අලවනවා. මං වගේම අපේ අම්මාත් කලාවට බෙහෙවින් ඇලුම් කළා. මං කලාවට ඇලුම් කළා කියලා අම්මා කවදාවත්ම විරෝධය පළ කළේ නෑ.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළාට පස්සේ අම්මා මාව කොට්ටාවේ නර්තන ආයතනයකට යොමු කළා. එහි කුලසිරි බුදවත්ත සර්ගෙන් මං නැටුම් ඉගෙන ගත්තා”. මං කලාවට යොමු කරන්නට අම්මාට වුවමනාව තිබුණාට තාත්තාගේ හිතේ තිබුණේ මම හොඳ රැකියාවක් කරනු දැකීමයි. ඒත් මට කැමැති පැත්තකින් ඉදිරියට යන්නැයි අම්මා නිතරම අවවාද කළා. ඒ නිසා මං තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම සමඟත් එකතු වුණා. කොට්ටාවේ රංගන පාසලක රංගන කටයුතුවලත් නියැළුණා. ඒ කාලයේ මගේ බත් එක හය හත් දෙනෙක්ම කනවා කියන කාරණය අම්මා දැන සිටියා. ඒ නිසා මං උදේ ගෙදරින් පිට වෙද්දී අම්මා මට ලොකු බත් පාර්සලයක් බැඳලා දෙනවා.
ඉතින් ඔය අතර මං ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් තිබුණේ නුවරඑළියේ. ඉතින් ඒ කාලයේ අම්මා පාසල් නිවාඩු දමමින් මා සමඟ නුවරඑළියේ ගියේ මගේ තනි නොතනියට. ඉතින් ඒ විදිහට ඇය මුල් කාලයේ නිතරම මා පසුපස හිඳිමින් මගේ රංගන දිවියට ශක්තියක් වුණා. ඉතින් මට තනිවම මගේ ආරක්ෂාව සලසා ගන්නට අවබෝධයක් ලැබෙන තුරු ඇය මගේ පසුපසින් හිටියා. ඇය මාව අත්හැරියේ ඉන් අනතුරුවයි. කලාවට සම්බන්ධ වුණාට පස්සේ රටේ නම ගිය කලාකරුවන් බොහෝ දෙනෙක් අපේ ගෙදර ඇවිත් තිබෙනවා. ඉතින් ඒ හැමෝටම ආගන්තුක සත්කාර කරන්නට අම්මා අමතක කරන්නේ නෑ. ඒ හැම දෙනාටම කෑම උයලා දෙන්නට අම්මා මැළි නොවන බව කිව යුතුයි.
සාමාන්‍යයෙන් මවකගේ පියෙකුගේ ගුණාංග දරුවෙකුට ලැබෙන්නේ නිතැතිනි. එයාකාරයෙන් නිතැතින්ම මවගෙන් සිය දිවියට උරුම වූ වටිනා ගුණාංග ගැන ගයනා මෙසේ අදහස් පළ කළාය.
“අම්මාගේ බොහෝ ගුණාංග මගේ ජීවිතයට ලැබී තිබෙනවා. අපේ අම්මා ලේසියෙන් කේන්ති ගන්නේ නෑ. ඇය ගුරුවරියක්, විදුහල්පතිවරියක් වුණත් අම්මාට කේන්ති යන්නේ කලාතුරකින්. ඒ ගුණාංගය මටත් පිහිටලා තිබෙන බව කිව යුතුයි. අපේ අම්මා මිනිසුන්ට වගේම සතුන්ටත් නිතර කෑම බීම දෙන්නට මැළි නොවූ චරිතයක්. ඒ ගුණාංගයත් මට තිබෙනවා. අපේ ගෙදරට අමුත්තෙක් ආවත් කිසිම දෙයක් නොදී නොයවන පුරුද්ද මට උරුම වුණේ මගේ අම්මාගෙන්. ඉස්සර අපේ ගෙදරට හිඟන්නෙක් ආවත් අපේ අම්මා කෑම එකක් දීලා හෝ නැවත පිටත් කරන්නට කටයුතු කළා. ඉතින් ඒ ආගන්තුක සත්කාරය කියන ගුණාංගය මට අම්මාගෙන් ලැබුණා”.
“නැති බැරි මොහොතට පිහිටට ඉන්නේ මවුනි පියාණෙනි ඔබ පමණයි” – මේ ගීතයේ අරුත කොතරම්දැයි වැටහෙන්නේ ප්‍රශ්නයක් මතු වූ වහාම අප හා අපගේ තනි නොතනියට සහයෝගයට ඉතිරි වන එකම චරිත මව්පියන් පමණක් වන නිසාය. ඒ පිළිබඳව ගයනා දැක්වූයේ මෙවන් අදහසකි.
මට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන මං කියන්නත් කලින් අම්මාට වැටහෙනවා. එක් දවසක හරි අපූරු සිද්ධියක් වුණා. මං පාසල් ඇරී නිවෙසට පයින් මීටර් පන්සියයක පමණ දුරින් පැමිණිය යුතුයි. ඉතින් දවසක් පාරේ හිටපු කොල්ලෙක් මට ලියුමක් දුන්නා. ඒ බව මං නිවෙසට එන විටත් අම්මාට ආරංචි වෙලා තිබුණා. තාත්තා ඒ ගැන සැර වෙද්දී අම්මා ඒ තත්ත්වය සමනය කරමින් මට කරුණු පැහැදිලි කරන්නට කටයුතු කළා. ඉතින් ඕනෑම ප්‍රශ්නයකදී අම්මා කෑ ගසමින් එය විසඳන්නට ගියේ නෑ. නිතරම කරුණු පැහැදිලි කරමින්, අවවාද දෙමින්, අපේ හිත් නොරිදවා යහ මඟට ගන්න අපේ අම්මාට තිබුණේ අපූරු හැකියාවක්. සමහර විට ඇය ගුරුවරියක්, විදුහල්පතිවරියක් නිසා ඒ හැකියාව ඇයට ලැබෙන්නට ඇති. ඉතින් ඇත්තටම මගේ ජීවිතයම මගේ අම්මා කිව්වොත් මං නිවැරදියි. අම්මා මහා පර්වතයක්, රූස්ස ගසක් වගේ මගේ ජීවිතයට ශක්තියක්, සෙවණක් වූ බව කිව යුතුයි.”
