Monday, April 6, 2026
Epaper
Home විශේෂාංගඅලුත් අවුරුද්දේ කාන්තාවන්ට විශේෂ නැකැතක්

අලුත් අවුරුද්දේ කාන්තාවන්ට විශේෂ නැකැතක්

තෙල් වළං ළිප තැබීමේ අසිරිමත් චාරිත්‍රය

by Mavan Perera

 

ශ්‍රී ලාංකෙය නව අවුරුද්ද යනු සම්ප්‍රදාය, ආගමික විශ්වාස, ගොවි ජීවිතය සහ පවුල් බැඳීම් එකට එකතු වන අගනා සංස්කෘතික උත්සවයකි. එම උත්සවයේ කාන්තාවන්ගේ භූමිකාව අතිශය වැදගත් වන අතර, විශේෂයෙන් තෙල් වළං ළිප තැබීම යන චාරිත්‍රය පවුලේ සෞභාග්‍යය හා ආශීර්වාදය ගෙන එන වැදගත් නැකතක් ලෙස සැලකේ. 2026 වසර සඳහා නියමිත නැකැත් අනුව අප්‍රේල් මස 5 වැනි ඉරිදා පෙරවරු 11.08ට දකුණු දිශාව බලා ළිප් බැඳ රතු, කහ හෝ තඹ පැහැති වස්ත්‍ර ඇඳ මෙම චාරිත්‍රය සිදු කිරීම සුදුසු බව සම්ප්‍රදායික ජ්‍යොතිෂ විශ්වාස පෙන්වා දෙයි.

මෙම නැකත සරල ආචාරයක් පමණක් නොව ස්වභාවධර්මය, ග්‍රහ ගතිකත්වය සහ ජීවන රටාව සමඟ ගැළපෙන පාරම්පරික දැනුමක ප්‍රතිඵලයකි. විශේෂයෙන් කාන්තාවන්ගේ අතින් මෙම චාරිත්‍රය සිදු වීම පවුලේ ආරක්ෂාව, සෞභාග්‍යය සහ ආහාර සුරක්ෂිතතාව රැක ගැනීමේදී ඔවුන්ගේ කාර්යභාරය ඉතාමත් වැදගත් බව පෙන්වයි.

සම්ප්‍රදාය හා ගොවි ජීවිතය සමඟ ඇති බැඳීම

තෙල් වළං ළිප තැබීමේ චාරිත්‍රය පුරාණ ගොවි සමාජයේ ජීවිත රටාව සමඟ දැඩිව බැඳී ඇත. අස්වැන්න ලබා ගත් පසුව එම අස්වැන්නෙන් සකස් කරන පිටි භාවිත කර කැවිලි සෑදීම මෙම කාලයේ ප්‍රධාන කටයුත්තක් විය. මෙය ආහාර සකස් කිරීමක් පමණක් නොව, දෙවියන්ට කෘතඥතාව පළ කිරීමේ ක්‍රියාවක් ලෙසද සැලකුණි.

කාන්තාවන් මෙම කටයුත්තේ ප්‍රධාන භූමිකාව භාරගෙන සිටියහ. ළිප සකස් කිරීම, වළං තැබීම, තෙල් දැමීම, කැවිලි සෑදීම යන සියලුම කාර්යයන් ඔවුන්ගේ අතින් සිදු විය. එමඟින් ගෘහිණියන් පවුලේ ආහාර සැපයුම්කාරියන් ලෙස පමණක් නොව, සෞභාග්‍යය රැක ගන්නා නායකයන් ලෙස ද හඳුනාගත හැකිය. මෙම චාරිත්‍රය සමාජීය එකමුතුවක් ද ඇති කළේය. ගමේ කාන්තාවන් එකට එක්වී කැවිලි සෑදීම, අත්දැකීම් හුවමාරු කිරීම සහ තරුණ පරපුරට දැනුම ලබා දීම සිදු විය. එය සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාමට උපකාරි වූ වැදගත් ක්‍රමයක් විය.

විද්‍යාත්මක පසුබිම හා පරිසර හිතකාමීත්වය

මෙම චාරිත්‍රය සාම්ප්‍රදායික ලෙස පෙනී ගියත් එහි විද්‍යාත්මක පදනමක් ඇත. ග්‍රීෂ්ම සමයේදී කෘමීන් සහ කෝඳුරුවන් වැඩි වශයෙන් පැතිර යාම සිදු වන අතර එය සෞඛ්‍යයට අවදානම් ගෙන එයි. එබැවින් ගින්න, දුම් සහ ශබ්දය භාවිත කරමින් මෙම කෘමීන් පාලනය කිරීම සඳහා පුරාණ ජනතාව ක්‍රමවේද සකස් කරගෙන තිබුණි.

තෙල් භාවිත කිරීමෙන් උණුසුම සහ ගන්ධය ඇතිවීම, දුම් නිකුත් වීම සහ උණ බටවලින් ඇති කරන ශබ්ද මඟින් කෘමීන් පලවා හැරීම සිදු විය. මෙය අද දින භාවිත කරන රසායනික ද්‍රව්‍යවලට විකල්පයක් ලෙස සැලකිය හැකි පරිසර හිතකාමී ක්‍රමයකි.

කෝඳුරු පාලනයේ විද්‍යාත්මක රහස

මෙම චාරිත්‍රයේ විශේෂ අංගයක් වන්නේ මුලින්ම සාදන කැවුම කුස්සියේ වහලයේ එල්ලීමයි. මෙය පුරාණ කාලයේ සිට පැවතෙන සම්ප්‍රදායක් වන අතර එය සරල විශ්වාසයක් පමණක් නොව විද්‍යාත්මක සිතීමක් මත පදනම් වූ ක්‍රමයකි.

ග්‍රීෂ්ම කාලයේදී කෝඳුරුවන් සහ කෘමීන් මඟින් “ඇස්ලෙඩ” පැතිර යා හැකිය. මෙය මිනිස් සෞඛ්‍යයට විශාල අවදානමක් වේ. එබැවින් කැවුම වහලයේ යට ලීයේ එල්ලීමෙන් කෝඳුරුවන්ගේ අවධානය එයට යොමු කර අනෙකුත් ආහාරවලට හා මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රවේශය අඩු කරයි. එමෙන්ම මෙම ක්‍රියාව මඟින් කෝඳුරුවන්ගේ ගමන් මාර්ග හඳුනාගැනීමට ද හැකි වේ. මෙය අද භාවිත කරන baiting method සමඟ සමාන වන අතර ආහාර ආරක්ෂාව රැක ගැනීමේ සරල නමුත් බුද්ධිමත් ක්‍රමයකි.

කාන්තාවන්ගේ භූමිකාව

මෙම චාරිත්‍රය තුළ කාන්තාවන්ගේ භූමිකාව ඉතා විශාලය. ඔවුන් ආහාර සකස් කිරීම, පවුලේ සෞඛ්‍යය රැකගැනීම සහ සම්ප්‍රදායන් පවත්වාගෙන යාම යන සියලුම කාර්යයන් ඉටු කරයි. එබැවින් කාන්තාවන් පවුලේ සෞභාග්‍යයේ මූලික පදනම ලෙස හඳුනාගත හැකිය. නව යොවුන් වියේ යුවතියන්ට මෙම දැනුම ලබා දීම ඉතා වැදගත්ය. එමඟින් සම්ප්‍රදායන් අනාගතයට ගෙන යා හැකි අතර, සංස්කෘතික උරුමය රැකගැනීමට ද හැකි වේ.

නවීන සමාජය තුළ වැදගත්කම

අද සමාජයේ නවීන ජීවන රටාව හේතුවෙන් බොහෝ සම්ප්‍රදායන් අඩුවෙමින් පවතී. නමුත් තෙල් වළං ළිප තැබීම වැනි චාරිත්‍ර තුළ සැඟවී ඇති විද්‍යාත්මක, සමාජීය සහ සංස්කෘතික වටිනාකම් අනාගතයට ලබා දීම ඉතා වැදගත්ය.

මෙම චාරිත්‍රය නව යුගයට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීම ද කළ හැකිය. උදාහරණයක් ලෙස ගනුදෙනු කිරීමේ නැකැත්, පවුල් ආර්ථික සැලසුම් වැනි අංග එකතු කිරීමෙන් කාන්තාවන්ට ආර්ථික හා සමාජීය ශක්තිය වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙයි. 2026 වසරේ තෙල් වළං ළිප තැබීමේ නැකැත කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් සංස්කෘතික අවස්ථාවක් වේ. එය සම්ප්‍රදාය, විද්‍යාව, පරිසරය සහ ගොවි ජීවිතය එකට ගැළපෙන අගනා උරුමයකි.

කාන්තාවන්ගේ අතින් මෙම චාරිත්‍රය සිදු වීම, පවුලේ සෞභාග්‍යය, ආහාර ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා මූලික පදනමක් වේ. එබැවින් මෙම උරුමය සුරකිමින් අනාගත පරපුරට එය ලබා දීම අපගේ වගකීමකි. අද සිටම මෙම සම්ප්‍රදායන් අගය කරමින් ඒවා ජීවිතයේ කොටසක් කරගනිමින් අපේ සංස්කෘතික අනන්‍යතාව සදාකාලිකව පවත්වා ගත හැකියි.

තෙල් වළං ළිප තැබීම

2026 අප්‍රේල් මස 05 වැනි ඉරිදා දින පූර්ව භාග 11.08 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිණි මොළවා තෙල් වළං ළිප තබා පළමුව කැවුම් පිස කෝඳුරු කැවුම චාරිත්‍රානුකූලව වහලයේ එල්ලීමෙන් අනතුරුව මෙතැන් පටන් ඉදිරියට පහසු දිනයන්හි අනෙකුත් අවුරුදු කැවිලි වර්ගද පිළියෙල කරගැනීම මැනවි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?