සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතියේ තියෙන ලස්සනම සහ වර්ණවත්ම උත්සවයයි. මේ වෙනුවෙන් අලුත් ඇඳුමකින් සැරසෙනවා කියන්නේ ලොකු පොඩි කාටත් ලොකු සතුටක්. විශේෂයෙන්ම තමන්ගේම අතින් නිර්මාණය කරගත්ත හෝ තමන්ගේ රුචිකත්වයට අනුව මස්සවා ගත්තු ෂර්ට් එකක් (Shirt) ඇඳීමෙන් මේ අවුරුදු සැමරුමට අමුතුම ගාම්භීරත්වයක් සහ ආකර්ෂණයක් එකතු කරගන්න පුළුවන්.
අලුත් අවුරුද්ද කියන්නේ “නැකැතට” වැඩ කරන උත්සවයක්. එහිදී නැකැතට නියමිත වර්ණයෙන් යුත් ඇඳුම් ඇඳීම සම්ප්‍රදායක්. ඔබ ෂර්ට් එකක් නිර්මාණය කිරීමේදී මුලින්ම එම වර්ෂයට අදාළ නැකැත් වර්ණය ගැන සැලකිලිමත් වීම වැදගත්. එයින් ඔබ සංස්කෘතික වටිනාකම්වලට ගරු කරන බව පෙනී යනවා වගේම මුළු පවුලම එකම වර්ණයකින් සැරසීමෙන් ලස්සන එකමුතුකමක් නිර්මාණය වෙනවා.
මෝස්තර සහ හැඩය (Design & Style)
අවුරුදු ෂර්ට් එකක් නිකම්ම සාමාන්‍ය එකක් නොවී, එහි “අවුරුදු ගැම්ම” තියෙන්න ඕනේ.
බතික් (Batik): වර්තමානයේ ඉතාමත් ජනප්‍රියම විලාසිතාව තමයි බතික්. අතින් නිමවන ලද ලස්සන බතික් මෝස්තරයක් සහිත ෂර්ට් එකක් ඕනෑම උත්සවයකට ගැළපෙනවා. රෙදි මත ඉටි මඟින් සියුම් රේඛා ඇඳ වර්ණ ගැන්වීම මඟින් අලංකාර බතික් නිර්මාණ බිහි වේ.
බතික් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
පැරපින් ඉටි කිලෝ ග්‍රෑම් 1 ක්
මී ඉටි ග්‍රෑම් 120 ක්
රට දුම්මල ග්‍රෑම් 8ක්
බතික් නිර්මාණය කිරීමේදී ඒ සඳහා යෝග්‍ය රෙදි වර්ග තෝරා ගත යුතුයි. උදාහරණ ලෙස:
වොයිල්
සුපර් වොයිල්
කපු රෙදි වර්ග ලෙස මූලිකව හඳුන්වා දිය හැකියි.
මේ නිර්මාණයට තෝරා ගෙන ඇත්තේ අඟල් 48ක් පළල කපු රෙදි වර්ගයකි.
ඉටි මිශ්‍රණය සාදා ගන්නා ආකාරය
පළමුවෙන්ම පැරපින් ඉටි කුඩා කැබලිවලට කඩා භාජනයට දමන්න.
එය හොඳින් උණු වූ පසු පිළිවෙළින් මී ඉටි ද එයත් උණු වූ පසු රට දුම්මල ද එකතු කරගන්න.
ඉන්පසු ඉටි කිරීමට පෙර දෘශ්‍ය පරීක්ෂාව සිදු කරගන්න.
අවශ්‍ය රෙද්ද ඉටි කරන මේසයට තබා හොඳින් ඇද drawing pin ආධාරයෙන් හොඳින් රඳවා ගන්න.
ඉන්පසු පුනීලයට ඉටි ගෙන අවශ්‍ය මෝස්තරය සියුම් රේඛා මඟින් ඇඳ ගන්න.
එසේම මුළු රෙද්ද පුරාවටම ඉටි කරන කොටස ෆුල් වැක්ස් ටූල් එක මඟින් හෝ පින්සලක් භාවිතයෙන් ඉටි කරගන්න.
පින්සල භාවිත කර ඉටි කිරීමේදී හොඳ පිටට ඉටි ගා කණපිට හරවා එම පැත්තද ඉටි කරගත යුතුයි. නැවත හොඳ පිට හරවා ඉටි තැවරීමක්ද සිදු කළ යුතුයි.
ඩයි දැමීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
නැප්තෝල්
ඩයි
කෝස්ටික් සෝඩා
වයින් ස්ප්‍රිට්
ලුණු
නැප්තෝල් බාත් එක සකස්
කරගන්නා ආකාරය
(රෙදි මීටර් 1ක් සඳහා)
වතුර ලීටර් 2ක්
කෝස්ටික් සෝඩා තේ හැඳි 5ක්
නැප්තෝල් ASSW තේ හැඳි 3ක්
වයින් ස්ප්‍රිට් තේ හැඳි 2ක්
උණු වතුර මිලි මීටර් 250ක්
සකස් කරන ක්‍රමය
මුලින්ම බාත් එකට වතුර දමාගන්න.
ඉන්පසු කෝස්ටික් සෝඩා තේ හැඳි 4ක් පමණ බාත් එකට දමන්න.
වෙනම භාජනයක් ගෙන එයට උණු වතුර දමාගන්න.
ඉතිරි කෝස්ටික් ටික එම භාජනයට දමා හොඳින් දිය කරගන්න.
තව භාජනයක් ගෙන එයට නැප්තෝල් ASSW දමා ඊට ඉහත දිය කරගත් කෝස්ටික් මිශ්‍රණය හා වයින් ස්ප්‍රිට් දමා හොඳින් කවලම් කරගන්න.
ඉහත මිශ්‍රණය වතුර බාත් එකට දමන්න.
ඩයි බාත් එක සාදා ගන්නා ආකාරය:
වතුර ලීටර් 1ක්
ලුණු තේ හැඳි 2ක්
Fast salt scarlet R ඩයි තේ හැඳි 5ක්
වර්ණ ගැන්වීම සිදු කරන ආකාරය
පළමුව ඉටි කරගත් රෙද්ද නැප්තෝල් භාජනයට දමා විනාඩි 15ක් පමණ හොඳින් අතගාන්න.
ඉන්පසු පිටතට ගෙන වතුර බේරෙන්නට හැර සාදාගත් ඩයි බාත් එකට රෙදි කොටස දමා විනාඩි 15ක් පමණ අතගාන්න. එවිට අවශ්‍ය වර්ණය ලැබෙනු ඇත.
මෙම නිර්මාණය සඳහා යොදා ගනු ලැබූ වර්ණ අනුව මෙහිදී ලැබෙනුයේ රතු වර්ණයයි.
අවසාන පියවර වන්නේ ඩයි කරගත් රෙදි කැබැල්ල නටන උණු වතුරට දමා හොඳින් ඉටි ඉවත් කරගැනීමයි.
එය තැම්බුම් වාර 3ක් වත් සිදු කළ යුතුයි.
ඉන්පසු හොඳින් වේළෙන්නට හැර ස්ත්‍රික්ක කර (Iron) ගන්න.
ඉන්පසු ඉතාමත් අලංකාර නිර්මාණයක් අපට ලබාගත හැකියි.
