Monday, April 6, 2026
Epaper
Home විශේෂාංගකලා ක්ෂේත්‍රයේ දශකයක අභිමානය සමඟින් එන හරිනි කාව්‍යාංජනී

කලා ක්ෂේත්‍රයේ දශකයක අභිමානය සමඟින් එන හරිනි කාව්‍යාංජනී

by Mavan Perera

සිංහල සිනමාවට දායාද වූ රුවැති මෙන්ම ගුණැති ඇය, තම මුහුණේ ඇති අනන්‍යතාව සහ ආකර්ෂණීය බව නිසාම ප්‍රේක්ෂක හදවත් දිනාගත් රංගන ශිල්පිනියකි. කෘතහස්ත සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ ඔස්සේ රංගන කාර්යයේ නියැළීමෙන් සිනමාලෝලීන් හඳුනාගත් ඇය, හරිනි කාව්‍යාංජනී නම් වූවාය.

ඇයගේ කලා ගමනේ සුවිශේෂී හැරවුම් ලක්ෂය සනිටුහන් වන්නේ 2015 වසරේ ‘මිස් ශ්‍රී ලංකා’ (Miss Sri Lanka) කිරුළ දිනා ගැනීමත් සමඟිනි. එතැන් පටන් Miss Sri Lanka for Miss Scuba International සහ Miss Supermodel Worldwide වැනි ජාත්‍යන්තර රූ රැජින තරග නියෝජනය කිරීමට ඇයට අවස්ථාව ලැබිණි. විශේෂයෙන්ම 2018 වසරේ පැවති Miss Supermodel Worldwide තරගාවලියේදී ලොව ප්‍රමුඛතම රූපලාවණ්‍ය රැජිනන් පස්දෙනා (Top 5) අතරට තේරී පත්වීමට ඇය සමත් වූවාය. එහිදී ‘හොඳම දේශීය ඇඳුම’, ‘හොඳම දක්ෂතාව’, ‘හොඳම කැට්වෝක්’ සහ ‘හොඳම නිරූපිකාව’ යන ප්‍රධාන සම්මාන හතරම දිනා ගනිමින් ඇය මවුබිමට මහත් අභිමානයක් ගෙන දුන්නාය.

විලාසිතා නිරූපණ ක්ෂේත්‍රයේ වසර 7කට අධික අත්දැකීම් ඇති හරිනි, කොළඹ විලාසිතා සතියේ (CFW) ප්‍රධාන නිරූපිකාවක ලෙස මෙන්ම ජාත්‍යන්තර H&M සන්නාමය මෙරටට හඳුන්වා දීමේ ප්‍රධාන නිරූපිකාව ලෙස ද කටයුතු කළාය. සිනමාවට ඇයගේ පිවිසුම සිදු වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටය හරහා ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා සමඟිනි. ඉන්පසු ‘කදිර දිව්‍යරාජ’ වැනි සිනමාපටවලට දායක වූ ඇය, රුසියානු චිත්‍රපටයක (To the Moon and Back) ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වූ ප්‍රථම ශ්‍රී ලාංකේය නිළිය ලෙස ඉතිහාසයට එක් වූවාය. ඇයගේ රංගන කුසලතාව 2025 SIGNIS ටෙලි සිනමා සම්මාන උලෙළේ හොඳම නිළිය සඳහා නිර්දේශ වීමට ද හේතු විය.

රංගනයට අමතරව, දැවැන්ත සන්නාමයන්හි නිල මුහුණුවර සහ සන්නාම තානාපතිනියක ලෙස ඇය කටයුතු කරයි. කලා ක්ෂේත්‍රයේ නියැළෙන අතරතුරම ඇය නීති උපාධිය හදාරන නීති සිසුවියක වීම ද විශේෂත්වයකි.

දැනට සිය ව්‍යාපාරික ආයතනයක නිර්මාතෘවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන හරිනිගේ අනාගත බලාපොරොත්තුව වන්නේ සිනමා තිර රචනය සහ අධ්‍යක්ෂණය ඔස්සේ නව මානයන් ගවේෂණය කිරීමයි. නිර්මාණාත්මක කලාව සහ වෘත්තීය නිපුණතාව එකට මුසු කරගත් ඇයගේ මේ දශකයක ගමන, ඕනෑම අයකුට ආදර්ශයක් සපයන සුන්දර මතකයන්ගෙන් පිරී පවතින්නකි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?