“අම්මේ.. මගේ කොන්ද රිදෙනවා… අම්මේ මගේ තුනටිය අමාරුයි…””අම්මේ අම්මේ” ගගා දවසම අරහෙ රිදෙනවා, මෙහෙ රිදෙනවා කියමින් කෑගසන ඔබත්, තමන්ගේ සිරුරේ බර (Body Weight) ගැන වගේ වගක් නැතිව කන බොන ඔබත්, මොහොතක් නැවතී කියවිය යුතුම කතාවක් මෙන්න.
මහතට, බෝලයක් වගේ ඉන්න අය දකින්නට හරිම ‘කියුට්’ වුණාට, ඒ අධික මහත ඔබේ සෞඛ්‍යයට නම් එතරම් හොඳ නැහැ. ඔබ දන්නවාද? මේ ස්ථූලතාවය එසේත් නැත්නම් අධික බර නිසා ඇති වන, අප නිතරම අසන ‘ආතරයිටිස්’ (Arthritis) රෝගයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 8% ක් පමණ පීඩා විඳින බව ජාතික සෞඛ්‍ය දත්ත පෙන්වා දෙනවා. වඩාත්ම පුදුමයට කරුණ වන්නේ, ඒ 8% ඇතුළෙත් වැඩිපුරම මේ රෝගයට ගොදුරු වන්නේ කාන්තාවන් වීමයි.ඉතින්, මේ රෝගය ගැන ඔබ නිවැරදිව දැනගත යුතුමයි.
රෝගය වැළඳුණු පසු ප්‍රතිකාර ගන්නවා වගේම, වැළඳීමට පෙර මේ පිළිබඳව දැනුවත් වුවහොත් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ නිසාම මේ පිළිබඳව වෘත්තීය මට්ටමේ අවබෝධයක් ලබා දීමට අප සම්බන්ධ කර ගත්තේ කෑගල්ල ශික්ෂණ රෝහලේ, රක්තවේද (Rheumatology) අංශයේ සේවය කරන වෛද්‍යවරයකුගේ උපදෙස්ය. ඒ අනුව වෛද්‍ය කැමිල්ටා සමරවික්‍රම මහත්මිය අප සමග දැක්වූ අදහස් මෙසේ පෙළගස්වමු.
වෛද්‍යතුමියනි, මොකක්ද මේ ‘ආතරයිටිස්’ කියන්නේ?
“ඇත්තටම ආතරයිටිස් එහෙමත් නැත්නම් ‘සන්ධි ප්‍රදාහය’ කියලා කියන්නේ තනි රෝගයක් නෙවෙයි. සන්ධිවල ඇති වන ප්‍රදාහය, එනම් ඉදිමීම සහ අක්‍රීයතාවය පදනම් කරගත් රෝගී තත්ත්ව 100 කට අධික ප්‍රමාණයක එකතුවක් තමයි ආතරයිටිස් කියන්නේ. මෙහි මූලිකම ලක්ෂණයක් වන්නේ සන්ධිවල සුමට චලනයන්ට අවශ්‍ය වන කාටිලේජ සහ සයිනෝවියල් පටල වැනි ආරක්ෂිත පටල ක්‍රමයෙන් විනාශ වී යාමයි. ඕනෑම වර්ගයක ආතරයිටිස් රෝගයක ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස සන්ධි ප්‍රදාහය, ඉදිමීම සහ වේදනාව හඳුනාගන්න පුළුවන්.
ආතරයිටිස් කියලා පොදුවේ අපි මෙහෙම කීවට මේකේ තව වර්ග ගොඩක් තියෙනවා නේද?
“ඔව්, ‘ඔස්ටියෝආතරයිටිස්’ කියන්නේ එක වර්ගයක්. මෙහිදී සිදුවන්නේ සන්ධි ගෙවී යාමයි. එවිට චලනයත් සමඟ වේදනාව වැඩි වෙනවා. මෙය දණහිස්, වැලමිට, ඇඟිලි වැනි ඕනෑම සන්ධියකට බලපාන්න පුළුවන්. තවත් වර්ගයක් තමයි සමේ ඇති වන ‘පොතු කබර’ (Psoriasis) රෝගය සමඟ ඇති වන ‘සොරයිටික් ආතරයිටිස්’ (Psoriatic Arthritis) තත්ත්වය. ඒ වගේම ළමයින්ට වැළඳෙන ‘ජ්වේනයිල් ඉඩියෝපතික් ආතරයිටිස්’ (Juvenile Idiopathic Arthritis) තත්ත්වයේදී උණ සමඟ සන්ධි වේදනාව ඇති වෙනවා.බඩවැල් ආශ්‍රිත රෝග සමඟ ඇති වන ‘අල්සරේටිව් කොලයිටිස්’ සහ ‘ක්‍රෝන්ස් ඩිසීස්’ වැනි තත්ත්වයන් ගැනත් සැලකිලිමත් විය යුතුයි. මේවාට නිසි ප්‍රතිකාර නොකළහොත් බඩවැල් පිළිකා පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා. කෙසේ වෙතත්, වඩාත්ම දරුණු වර්ගය ලෙස සැලකෙන්නේ ‘රුමටොයිඩ් ආතරයිටිස්’ (Rheumatoid Arthritis) තත්ත්වයයි. මෙහිදී සන්ධිවල තද ගතිය (විශේෂයෙන් උදෑසන කාලයේදී), ඉදිමුම සහ මාංශපේශි දුර්වලතාව වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා.
වයස 50 පැනපු, බර වැඩි කාන්තාවන්ට මෙහි අවදානම වැඩියි කියන කතාවේ ඇත්තක් තිබෙනවාද?
අනිවාර්යයෙන්ම. ස්ථූලතාවය සහ ආතරයිටිස් අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. ලංකාවේ කාන්තාවන් අතර ස්ථූලතාවය බහුලව දකින්න ලැබෙනවා. වාර්තා අනුව මෙරට කාන්තාවන්ගෙන් 42% කට වඩා වැඩි පිරිසක් අධික බර (Overweight) හෝ ස්ථූල (Obese) කාණ්ඩයට අයත් වෙනවා. ස්ථූල කාන්තාවන්ට ආතරයිටිස් වැළඳීමේ අවදානම මෙන්ම, රෝගය වැළඳුණු පසු ඇති වන සංකූලතා ප්‍රමාණයත් ඉතා වැඩියි. ඒ නිසා නීරෝගි දිවියකට ආහාර පාලනය සහ ව්‍යායාම මඟින් බර අඩු කර ගැනීම අත්‍යවශ්‍යයි.
පිරිමි අයටත් ආතරයිටිස් වැළඳෙන්න පුළුවන්ද?
ඔව්, පිරිමි අයටත් මෙය වැළඳෙනවා. ඔවුන් අතර බහුලවම දකින්න ලැබෙන්නේ සන්ධි ගෙවී යාම නිසා ඇති වන ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයයි. විශේෂයෙන්ම උකුළ සහ දණහිස් ආශ්‍රිතව මෙය දැකිය හැකියි. ඊළඟ වැදගත් තත්ත්වය තමයි ‘ගවුට්’ (Gout). මෙය කාන්තාවන්ට වඩා පිරිමින් අතර වැඩියි. සාමාන්‍යයෙන් මහපට ඇඟිල්ලේ ඇති වන හදිසි සහ දැඩි වේදනාවකින් තමයි රෝගය ආරම්භ වන්නේ. මීට අමතරව රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වයත් පිරිමින්ට වැළඳෙන්න පුළුවන්.
ආහාර පාලනය මේ සඳහා කොතරම් දුරට බලපානවාද?
මම අර කළින් කිව්වේ ගවුට්ස් කියලා ආතරයිටිස් තත්ත්වයක්
ගවුට් ආතරයිටිස් ඇති රෝගීන් නම් අනිවාර්යයෙන්ම ආහාර පාලනය කළ යුතුයි. පියුරීන් (Purine) අධික ආහාර වන රතු මස් (හරක්, එළු, ඌරු මස්), මුහුදු ආහාර (කකුළුවන්, දැල්ලන්), මත්පැන්, නිවිති සහ බිම්මල් සීමා කළ යුතුයි. අනෙක් ආතරයිටිස් රෝගීන්ට දියවැඩියා රෝගීන්ට වගේ විශේෂ ආහාර වේලක් නැතත්, රුමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ට හෘදයාබාධ අවදානම වැඩි නිසා සංතෘප්ත මේදය සීමා කිරීම වැදගත්. ඒ වෙනුවට සැමන්, මැකරල්, බලමාළු වැනි අසංතෘප්ත මේදය සහිත ආහාර සහ කැල්සියම්, විටමින් D අඩංගු ආහාර ගැනීම සුදුසුයි. නමුත් මතක තබා ගන්න, ආහාරයෙන් පමණක් ආතරයිටිස් සුව කළ නොහැකියි; විද්‍යාත්මක ප්‍රතිකාර අත්‍යවශ්‍යයි.
ආතරයිටිස් නිට්ටාවටම සුව කළ හැකිද?
නිවැරදි ප්‍රතිකාර මඟින් රුමටොයිඩ් ආතරයිටිස් වැනි රෝග පාලනය කරමින් නීරෝගිව ජීවත් වීමේ හැකියාව තිබෙනවා. නමුත් ප්‍රතිකාර පමා කරන, නිසි මාත්‍රාව නොගන්නා, අතරමඟ ප්‍රතිකාර නතර කරන හෝ අවිද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන අයට නම් සුවය ලැබීම සිහිනයක් පමණයි. මෙවැනි රෝග පාලනයට DMARDs (Disease Modifying Anti-Rheumatic Drugs) වැනි ඖෂධ භාවිත කරනවා. මේවා ක්‍රියාත්මක වීමට කාලයක් ගත වන නිසා ඉවසිලිවන්තව ප්‍රතිකාර ලබා ගත යුතුයි. නිසි ප්‍රතිකාර නොගතහොත් සන්ධි ඇද වීම, පෙනහළු, හෘදය සහ ඇස්වල සංකූලතා පවා ඇති විය හැකියි.
අවසාන වශයෙන් කාන්තාවන්ට දෙන උපදෙස කුමක්ද?
වර්තමානයේ තරුණ කාන්තාවන් විශාල පිරිසක් සන්ධි රෝග සඳහා ප්‍රතිකාර ගන්නවා. මගේ අවවාදය නම්, රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන ලෙසයි. ගර්භණී හෝ කිරිදෙන මවකට වුවත් දරුවාට හානියක් නොවන පරිදි මේ සඳහා ප්‍රතිකාර කළ හැකියි. වඩාත්ම වැදගත් දේ ඔබේ BMI අගය 18.5 – 23 kgm අතර පවත්වා ගැනීමයි. රෝගය වැළඳී තිබුණත් නැතත්, ස්ථූලතාවය අඩු කර ගැනීම ඔබේ සන්ධිවල ආයු කාලය වැඩි කිරීමට හේතු වේවි.
“පෙනෙනවා නේද? අපේ කට පරිස්සම් කර නොගැනීම කෙතරම් දුරට සෞඛ්‍යයට බලපානවාද කියා. “ජීවත් වෙන්නේ ටික කාලයයි, ඒ නිසා හොඳට කාලා බීලා ඉන්න ඕනේ” කියා ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් ඒ ටික කාලය ඇතුළත රෝගී වී, ඇවිද ගැනීමට පවා අපහසු වුවහොත් ඔබ බලාපොරොත්තු වන සතුට දවසින් නැති වී යනු ඇත. ඒ නිසා අමාරුවෙන් හෝ කෑම බීම පාලනය කරමු. සතියට දින කිහිපයක්වත් ව්‍යායාමයක නියැළීමෙන් සිරුරේ බර අඩු කර ගනිමු. සතුටේ ප්‍රධානතම රහස ඔබ නීරෝගිව සිටීමයි.
