අද කාලයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, සමේ සුන්දරත්වය වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණයන් බොහොමයක් භාවිතයට ගෙන ඇත. එවැනි ජනප්‍රිය හා ප්‍රතිඵලදායක සත්කාරයක් ලෙස “මයික්‍රෝ නීඩ්ලින්” (Microneedling) හඳුන්වයි. සමේ ස්වාභාවික පුනර්ජනන (skin regeneration) ක්‍රියාවලිය උත්තේජනය කිරීමේදී මෙය ඉතාමත් වැදගත් භූමිකාවක් ඉටු කරයි.
මයික්‍රෝ නීඩ්ලින් යනු කුමක්ද?
මයික්‍රෝ නීඩ්ලින් යනු ඉතා කුඩා, සුළු මට්ටමේ ඉඳිකටු (fine needles) භාවිත කරමින් සම මතුපිටට සුළු සිදුරු (micro injuries) සෑදීමයි. මෙම උපකරණය සිහින් ඉඳිකටු බොහොමයක් සහිත පෑනකට සමාන වේ. මෙය සාමාන්‍යයෙන් “ඩර්මා රෝලර්” (derma roller) හෝ “ඩර්මා පෙන්” (derma pen) නම් උපකරණ මඟින් සිදු කරයි. මෙම ක්‍රියාවලිය මඟින් සමේ කොලජන් (collagen) හා ඉලැස්ටින් (elastin) නිෂ්පාදනය වැඩි කරයි. ඒවා සම සුමුදු සහ තරුණ පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
සත්කාරයේ ක්‍රියාකරිත්වය
මයික්‍රෝ නීඩ්ලින් කරන විට සම මත සිදු කරන සුළු තුවාල හේතුවෙන් ශරීරය එම ප්‍රදේශය සුව කිරීමට උත්සාහ කරයි. එහිදී නව කොලජන් නිෂ්පාදනය වීමෙන් සමේ ගුණාත්මකභාවය වැඩි වේ. මේ නිසා සමේ රේඛා (fine lines), කැළැල් (scars), සහ කළු පැල්ලම් (pigmentation) මදක් හෝ සම්පූර්ණයෙන් අඩු වීමට හැකියාව ඇත.
සත්කාරයේ ප්‍රධාන වාසි
මෙම සත්කාරය මඟින් ලබා ගත හැකි ප්‍රතිලාභ බොහෝය. මුහුණේ ඇති කැළැල් (acne scars) අඩු කරයි. සුළු රැලි සහ වයස්ගත වීමේ ලක්ෂණ (aging signs) අවම කරයි. මුළු මුහුණටම එකම වර්ණයක් ලබා දෙයි. සම මෘදු සහ පැහැදිලි කරයි. රෝම කූප (pores) කුඩා කරයි. හිසකෙස් වැටීම අඩු කිරීමටද සමහර අවස්ථාවල භාවිත කරයි.
සත්කාරය සිදු කරන ආකාරය
මයික්‍රෝ නීඩ්ලින් සත්කාරය සාමාන්‍යයෙන් වෛද්‍යවරයකුගේ හෝ පුහුණුව ලැබූ රූපලාවණ්‍ය විශේෂඥයෙකු විසින් සිදු කරනු ලබයි. මුලින්ම සම ක්ලෙන්සර් කර පිරිසුදු කර නැවතත් ක්ලෙන්සර් කර මුහුණ පිරිසුදු කිරීම කරනු ලබයි. මේ සත්කාරයේදී කිසිදු ක්‍රීම් වර්ගයක් භාවිත නොකරන අතර සීරම් (serum) එකක් පමණක් ඒ අවස්ථාවේදී භාවිත කරනු ලබයි. එහිදී ඩර්මා පෙන් උපකරණයෙන් මුළු මුහුණේම විදින සිදුරු හරහා සීරම් දියරය සමට උරා ගැනීම සිදු වේ. මේ සිදුරු විදීමේදී වේදනාකාරී බවක් මුහුණට දැනෙනවා නම් උපකරණයේ Level වෙනස් කිරීමට හැකියාව ඇත. ආරම්භ කරන්නේ ලෙවල් 2.5 මට්ටමේ සිටයි. එය වැඩි කිරීමෙන් තුවාල ඇති වන ප්‍රමාණයත් වැඩි වේ. මෙම සිදුරු විදීමෙන් මුහුණේ සමේ සෛලවලට දැනුම් දෙනු ලබන්නේ මුහුණේ තුවාලයක් වී ඇති නිසා මෙය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය සෛල නිපදවන්න කියායි. එවිටයි කොලජන්, ෆයිබර්, ඉලාස්ටින් එක හා සමානව ක්‍රියා කරන්න ගන්නේ. සම මත ඇති වූ තුවාලය ඒ හරහා සුව වීමට පටන් ගැනීම සිදු වේ. මෙලෙස උපකරණයෙන් තුවාලය කරන්නේ සම ඇතුළත තියෙන කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීමටය. මෙම සිදුරු හරහා සීරම් ගැඹුරට ඇතුළු වීම නිසා එහි ප්‍රතිඵල වැඩි වේ. මාසයකට වරක් මෙය කිරීම ප්‍රමාණවත් වේ. එසේ මුහුණේ සමෙහි ප්‍රගතිය අනුව කිහිප වරක් කිරීමට සිදු විය හැකියි.
සත්කාරයෙන් පසු සිදුවන දේවල්
සත්කාරයෙන් පසු සම ටිකක් රතු වීම (redness) හෝ සුළු ඉදිමීමක් (swelling) ඇති විය හැකියි. මෙය සාමාන්‍යයෙන් දින 1-3 අතර කාලයකින් අඩු වේ. සමට නිසි රැකවරණය ලබා දීම ඉතා වැදගත්ය. එහිදී තුවාල සුව වන තුරු සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වළකින්න. මෙවැනි සත්කාරයක් නිතරම එළිමහනේ ඉන්න හෝ අව් රශ්මියේ ඉන්න අයට එතරම් සුදුසු නොවේ. මෙම සත්කාරයෙන් පසු සන්ස්ක්‍රීන් (sunscreen) භාවිත කරන්න. වැඩි රසායනික ද්‍රව්‍ය සහිත දේ භාවිත කිරීමෙන් වළකින්න. සම මෘදු ලෙස පිරිසිදු කරන්න.
සුදුසු කාටද?
මයික්‍රෝ නීඩ්ලින් බොහෝ දෙනාට සුදුසු සත්කාරයකි. විශේෂයෙන් ඇක්නි සහ කැළැල් ඇති අය, සමේ රැළි ඇති අය, සමේ අසාමාන්‍ය පැහැයක් ඇති අය සහ ස්ට්‍රෙච් මාර්ක් ඇති අයට මෙය වඩා සුදුසු වේ. වයස අවුරුදු 30 පසු වූ අයට මෙය වඩා ප්‍රතිඵලදායී වේ.
මෙය නොකළ යුතු අය
කෙසේ වෙතත්, සමහර අයට මෙම සත්කාරය සුදුසු නොවිය හැකියි. ඒ අය අතර සක්‍රිය පිම්පල් (active acne) ඇති අය, සමේ ආසාදන (skin infections) ඇති අය, රුධිර වහනය පහසු අය සහ තයිරොක්සින් පෙති ලබා ගන්නා අයට වගේම සංවේදී සමක් ඇති අයටත් මෙය සුදුසු නොවේ. මෙය මුහුණේ සම තුවාල කිරීමක් හරහා කරන සත්කාරයක් නිසා මෙවැනි තත්ත්ව ඇති අය කිරීමෙන් බොහෝ ගැටලුවලට මුහුණ පෑමට සිදු විය හැකියි. ගර්භිණී කාන්තාවන් මෙම සත්කාරය කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
අවදානම් සහ අතුරු ආබාධ
මයික්‍රෝ නීඩ්ලින් සාමාන්‍යයෙන් ආරක්ෂිත වුවත්, නිසි පිරිසුදුකම සහ ප්‍රමිතිය නොමැතිව සිදු කළහොත් ආසාදන ඇති විය හැකියි. එමෙන්ම අධික ලෙස සිදු කිරීමෙන් සමට හානි සිදු විය හැක. එබැවින් නිතරම විශ්වාසවන්ත ස්ථානයකින්ම මෙම සත්කාරය ලබා ගැනීම වැදගත්ය.
