“මිස්, මට කිසිම අමාරුවක් නෑනේ. හොඳට කාලා බීලා වැඩ කරගෙන හිටියේ. ඒත් ලේ රිපෝට් එකේ කොලෙස්ටරෝල් ගොඩක් වැඩිවෙලානේ. ඇඟෙන් කිසිම ලෙඩක් පෙන්නුවේ නෑනේ…”
රෝහලේදී රුධිර වාර්තාවක් අතට ගන්නා ගොඩක් දෙනකුට තියෙන ගැටලුවක් තමයි මේ. ඇත්තටම කියනවා නම් කොලෙස්ටරෝල් කියන්නේ 100% ක්ම නිහඬ තත්ත්වයක්. ගොඩක් වෙලාවට ඇඟ ඇතුළේ නහර අවහිර වෙලා හෘදයාබාධයක් (Heart Attack) එනකම්ම අපිට කිසිම වේදනාවක්, අමාරුවක් දැනෙන්නේ නැහැ. රෝග ලක්ෂණ බලලා කොලෙස්ටරෝල් හොයන්න බැහැ.
ඒත්, අපේ ශරීරයේ නරක මේදය (LDL) කාලයක් තිස්සේ ගොඩක් ඉහළ මට්ටමක තිබුණොත්, අපේ ඇඟ රහසින් අපිට ඉඟි කිහිපයක් දෙනවා. ඔබත් මේ ලක්ෂණ 4 මඟහරිනවාද කියලා අදම බලන්න.
ඇස් වටා ඇතිවන කහ පැහැති ලප (Xanthelasma) පෙනෙන්නේ කොහොමද?
ඇහිබැම ආසන්නයේ, විශේෂයෙන්ම ඇහේ ඇතුළට වෙන්න තියෙන කෙළවරේ, කහ පාටට හුරු, සම මතුපිටින් ටිකක් ඉස්සුණු කුඩා ලප හෝ ගැටිති. මේවා ඇත්තටම සමට යටින් තැන්පත් වුණු කොලෙස්ටරෝල්වල එකතුවක්.
හැබැයි මතක තියාගන්න, මේ ලප තියෙන හැමෝටම කොලෙස්ටරෝල් තියෙනවා කියන්න බැහැ. සමහර අයට ලේවල කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය වුණත් මේ ලප එන්න පුළුවන්. ඒ නිසා මෙය අනතුරු ඇඟවීමක් පමණයි. ලපයක් දැක්ක ගමන් බය වෙන්න එපා, පරීක්ෂා කරගන්න.
ඇවිදින විට කකුල්වල මස්පිඩු පෙරළීම සහ වේදනාව (Claudication)
“අනේ මන්දා ටික දුරක් ඇවිදිනකොට කකුලේ කෙණ්ඩ පෙරළෙනවා වගේ රිදෙනවා, ටිකක් වාඩි වෙලා හිටියම හරියනවා…”
👉 මේක Peripheral Arterial Disease (PAD) කියන තත්ත්වයේ පෙර ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඔබේ කකුල්වලට ලේ අරන් යන නහර ඇතුළේ කොලෙස්ටරෝල් බැඳිලා අවහිර වුණාම, කකුල්වලට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැති නිසා මේ වේදනාව එනවා.
💁♀️ කකුල් රිදෙන හැම වෙලාවකම ඒක කොලෙස්ටරෝල් නිසා නෙවෙයි, විටමින් ඌනතා, ස්නායු ආබාධ හෝ මස්පිඩු ආබාධ නිසාත් මෙහෙම වෙන්න පුළුවන්. කොහොම වුණත්, ඇවිදිනකොට ඇවිත් විවේක ගත්තම හරියන වේදනාවක් නම් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න.
ඇසේ කළු ඉංගිරියාව වටා සුදු/අළු පැහැති රවුමක් ඇතිවීම (Corneal Arcus)
👉 ඇසේ කළු ඉංගිරියාව (Cornea) වටේට මායිමේ අළු, සුදු හෝ නිල් පැහැයට හුරු මුදුවක්/රවුමක් වගේ ඇඳිලා තියෙනවා දැකලා තියෙනවාද?
වයස අවුරුදු 60ට වැඩි අයට මේක එන එක සාමාන්‍ය දෙයක්. හැබැයි, ඔබ වයස අවුරුදු 45ට අඩු කෙනෙක් නම් සහ මේ ලක්ෂණය තියෙනවා නම්, එයින් කියවෙන්නේ ඔබේ පවුලේ ජානමය වශයෙන් එන අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් (Familial hypercholesterolemia) තියෙන්න පුළුවන් කියන එකයි.
සමට යටින් සහ සන්ධි අසල ගැට ගැසෙන මේද තැන්පතු (Xanthomas)
👉 සමට යටින් ගැටිති වගේ තැන්පත් වීම්. විශේෂයෙන්ම අත්වල ඇඟිලි පුරුක් ආශ්‍රිතව, වැළමිට, දණහිස් සහ විළුඹට ඉහළින් තියෙන නහරවල මේවා දකින්න පුළුවන්.
රුධිරයේ අතිරික්ත කොලෙස්ටරෝල් ප්‍රමාණයක් ඉතා දිගු කාලයක් තිස්සේ තිබුණාම හෝ පරම්පරාවෙන් එන අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් තිබුණාම, මේදය මේ විදිහට කණ්ඩරාවල සහ සම යට තැන්පත් වෙනවා. මෙය නම් පැහැදිලි වෛද්‍යමය ලක්ෂණයක්.
මේ ලක්ෂණ 4න් එකක් හරි තියෙනවා නම් වහාම පරීක්ෂා කරගන්න.
🔴 හැබැයි මේ කිසිම ලක්ෂණයක් නැතිව වුණත් ඔබට කොලෙස්ටරෝල් තියෙන්න පුළුවන්.
ඒ නිසා කොලෙස්ටරෝල් තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් එකම ක්‍රමය රුධිර පරීක්ෂණයක් (Lipid Profile) කිරීම පමණයි. ඉස්සර නම් මේ ටෙස්ට් එක කරන්න පැය 10-12ක් නිරාහාරව ඉන්නම ඕනේ කිවුවා. හැබැයි අලුත්ම වෛද්‍ය මාර්ගෝපදේශ අනුව, ගොඩක් වෙලාවට නිරාහාරව ඉන්නේ නැතුව කරන ලේ පරීක්ෂාවෙනුත් මේක නිවැරදිව බලාගන්න පුළුවන්. (වෛද්‍යවරයකුගේ උපදෙස් මත එය සිදු කරන්න).
බාහිර ලක්ෂණ එනකම් ඉන්න එපා. කෑම පාලනයෙන් සහ ව්‍යායාමවලින් ලෙඩක් වෙන්න කලින් අපේ ඇඟ බේරගනිමු.
