Monday, April 6, 2026
Epaper
Home Doctor Doorපිළිකා සෛල පරදන කීමොතෙරපි මිථ්‍යාව සහ සත්‍යය

පිළිකා සෛල පරදන කීමොතෙරපි මිථ්‍යාව සහ සත්‍යය

by Mavan Perera

වර්තමාන සමාජයේ වඩාත්ම කතාබහට ලක්වන රෝගයක් වන පිළිකාව පිළිබඳව පවතින්නේ විශාල බියකි. එම බිය නිසාම විද්‍යාත්මක ප්‍රතිකාර සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ පවතින්නේ දුර්මතයන්ය. විශේෂයෙන්ම ‘කීමොතෙරපි’ වැනි ප්‍රතිකාර පිළිබඳව ජනතාව තුළ පවතින කුකුස සහ අවිශ්වාසය දුරු කරමින්, පිළිකා රෝගයකදී ප්‍රතිකාරවල ක්‍රියාකාරිත්වය සහ රෝගියාගේ ආරක්ෂාව පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක මහතා සමඟ සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව මෙලෙස පෙළගස්වමු.

වෛද්‍යතුමනි, පිළිකා නාශක ඖෂධ කියන්නේ මොනවාද? මේවා ශරීරය තුළ ක්‍රියා කරන්නේ කොහොමද?

පිළිකාවක් හැදුණාම සාමාන්‍ය භාෂාවෙන් කිවුවොත්, පිළිකා සෛල විනාශ කරගැනීම සඳහා ලබා දෙන බෙහෙත්වලට තමයි අපි ‘පිළිකා නාශක ඖෂධ’ කියන්නේ. මෙතැනදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ අපේ ශරීරයේ ඉතා ඉක්මනින් බෙදෙන සෛල ඉලක්ක (target) කිරීමයි. පිළිකා සෛල කියන්නේ ඉතා වේගයෙන් බෙදි බෙදී ශරීරය පුරා පැතිරෙන සෛල වර්ගයක්. ඉතින් මේ ඉක්මනින් බෙදෙන සෛල විනාශ කරලා දාන්න තමයි මේ ඖෂධ භාවිත කරන්නේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා. එකක් තමයි ‘කීමො තෙරපි’ (Chemotherapy). ඊට අමතරව ‘ටාගටඩ් තෙරපි’ (Targeted Therapy) කියන ක්‍රමය තියෙනවා. එහිදී කරන්නේ යම්කිසි හඳුනාගත් පිළිකා සෛලයක ඇති ප්‍රතිදේහජනකයක් හඳුනාගෙන, ඒ සෛලයටම පමණක් පහර දීලා විනාශ කරන එකයි. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආධාරයෙන් සෛල විනාශ කරන ‘ඉමියුනොතෙරපි’ (Immunotherapy) ක්‍රමයත් තිබෙනවා. තවත් සමහර පිළිකා හෝමෝනවලට අධික සංවේදීයි, උදාහරණයක් විදිහට පියයුරු පිළිකා. එවැනි අවස්ථාවලදී ‘හෝමෝන තෙරපි’ මඟින් හෝමෝන ක්‍රියාකාරිත්වය අවහිර කරලා පිළිකා සෛල වැඞෙන එක නවත්තන්න පුළුවන්. මෙම ඖෂධ ශරීරයට ලබා දෙන්නේ රුධිර නාළවලට කෙළින්ම විදින එන්නත් (IV) විදිහට හරි, පෙති විදිහට හරි.

ශල්‍යකර්මයකින් පිළිකාව ඉවත් කළාට පස්සෙත් කීමොතෙරපි ලබා දීම අනිවාර්යද? එහි ඇති වැදගත්කම කුමක්ද?

මෙහෙමයි, පියයුරු පිළිකා, බඩවැල් පිළිකා හෝ පෙණහලු පිළිකා වැනි බොහෝ පිළිකාවලදී ශල්‍යකර්මයකින් පිළිකා ගෙඩිය ඉවත් කළත්, අන්වීක්ෂීය මට්ටමේ (microscopic) ඉතා කුඩා සෛල ශරීරයේ වෙනත් ස්ථානවල පැතිරිලා තිබෙන්න පුළුවන්. මේවා ඔපරේෂන් එකකින් අයින් කරන්න බෑ. අන්න ඒ සෛල විනාශ කරන්න තමයි කීමොතෙරපි දෙන්නේ. එහෙම නැති වුණොත් තව අවුරුදු දෙක තුනකින් මේ පිළිකාව ඇඟේ වෙනත් තැනකින් මතු වෙන්න පුළුවන්. ඒ නිසා මතුකාලීන අවදානම නැති කරන්න කීමොතෙරපි අත්‍යවශ්‍යයි.

ඒ වගේම ගෙඩිය ශල්‍යකර්මයකින් ඉවත් කරන්න බැරි තරම් විශාල නම්, අපි මුලින්ම කීමොතෙරපි දීලා ගෙඩිය පොඩි කරනවා. ඊට පස්සේ ශල්‍යකර්මය පහසුවෙන් කරන්න පුළුවන්. තවත් සමහර වෙලාවට විකිරණ ප්‍රතිකාර (Radio Therapy) කරන අතරතුර කීමොතෙරපි දෙන්නේ ඒ ප්‍රතිකාරයේ සාර්ථකත්වය වැඩි කරන්නයි. සුව කරන්න බැරි තරම් පැතිරුණු පිළිකාවලදී පවා රෝගියාගේ හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස හෝ වේදනාව වැනි රෝග ලක්ෂණ පාලනය කරලා ජීවන තත්ත්වය උසස් කරන්නත් මේ ඖෂධ භාවිත කරනවා.

රෝගියකුට කීමොතෙරපි වාර (Cycles) කීයක් ලබා දෙනවාද? එය තීරණය කරන්නේ කුමන සාධක මතද?

ඒක තීරණය වෙන්නේ පිළිකා වර්ගය සහ දැනට ලෝකයේ පර්යේෂණ මට්ටමෙන් හොයාගෙන තියෙන දත්ත අනුවයි. රෝගියාට සයිකල් හතරක්, හයක්, දොළහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. ඒක වෛද්‍යවරුන් විසින් රෝගියාගේ තත්ත්වය සහ පිළිකාවේ ස්වභාවය අනුව තීරණය කරන දෙයක්.

කීමොතෙරපි නිසා ඇති වන අතුරු ආබාධ (Side effects) මොනවාද? ඒවා දරුණුද?

පැහැදිලිවම කියන්න ඕනේ, අපි මේ ප්‍රතිකාරය කරන්නේ නීරෝගි කෙනකුට නෙමෙයි, පිළිකාවක් තියෙන කෙනකුට. ප්‍රතිකාර නොකිරීමෙන් සිදුවන මරණීය අවදානමට වඩා මේ ඖෂධවලින් ලැබෙන වාසිය වැඩිනම් විතරයි අපි කීමොතෙරපි දෙන්නේ. තාවකාලික අතුරු ආබාධ විදිහට කොණ්ඩය යෑම, කටේ තුවාල ඇති වීම, කෑම අප්‍රිය වීම, වමනය සහ පාචනය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුදු රුධිරාණු අඩු වීම නිසා ප්‍රතිශක්තිය හීන වෙනවා. එවිට ඉතා සුළු උණක් වුණත් අතපසු කළොත් මරණීය අවදානමක් වෙන්න පුළුවන්.

දීර්ඝකාලීනව හෘදය වස්තුව, වකුගඩු හෝ අක්මාව දුර්වල වෙන්න ඉතාමත් කලාතුරකින් ඉඩ තියෙනවා. තරුණ දරුවන්ගේ දරුපල පවා අහිමි වෙන්න ඉතා සුළු ඉඩක් තියෙනවා. නමුත් මේ සියල්ලම අපි ප්‍රතිකාර කරන අතරතුර නිරන්තරයෙන් පරීක්ෂා කරලයි බලන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සියලුම අපහසුතා තාවකාලිකයි. ප්‍රතිකාර අවසන් වෙලා සති තුනක් හෝ මාසයක් යනකොට ශරීරයේ ප්‍රතිශක්තිය සහ සෛල යථා තත්ත්වයට පත් වෙනවා.

කීමොතෙරපි ලබන රෝගියෙකුගේ ආහාර රටාව සහ පිරිසුදුකම කොහොම විය යුතුද?

මෙතැනදී පිරිසුදුකම තමයි අංක එක. ප්‍රතිශක්තිය අඩු නිසා ඇඟට විෂබීජ යන්න පුළුවන්. ඒ නිසා නිතර ලුණු වතුරෙන් කට සේදීම, දිනපතා ස්නානය සහ පෞද්ගලික පිරිසුදුකම අත්‍යවශ්‍යයි. රෝගියා අනිත් අයගෙන් පරිස්සම් වෙන්න ඕනේ (උණ, හෙම්බිරිස්සාව තියෙන අයගෙන්). නමුත් රෝගියාගෙන් අනිත් අයට කිසිම හානියක් වෙන්නේ නෑ.

ආහාර ගැනීමේදී කිසිම වෙලාවක කඩේ කෑම කන්න එපා. නිවෙසේ උයන ලද නැවුම් ආහාර විතරක් පාවිච්චි කරන්න. බාගෙට පිසින ලද ආහාර, පලා මැල්ලුම්, බිත්තර, සලාද වැනි දෑ අනුභවය නරකයි. පලතුරු වුණත් මිදි, ඇපල්, පේර වැනි පොත්තත් එක්ක කන ඒවා වෙනුවට අන්නාසි, ගස්ලබු, කෙසෙල් වැනි පොත්ත ඉවත් කර කන පිරිසුදු පලතුරු තෝරාගන්න ඕනේ. ඇඟේ වතුර ප්‍රමාණය පවත්වා ගන්න වැඩිපුර වතුර බොන්න ඕනේ. දෙළුම් හෝ තැඹිලි බීමෙන් පිළිකා සුව වෙනවා කියන එක මිථ්‍යාවක්. ලෝකයේ දියුණු රටවල මිනිස්සු දෙළුම් නොබීත් පිළිකා සුව කරගන්නවා. වැදගත් වෙන්නේ පිරිසුදුකම විතරයි.

කීමොතෙරපි කළාම රෝගියට තවත් අමාරු වෙනවා කියලා සමාජයේ මතයක් තියෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

අමාරු වෙනවා තමයි. ඒකට හේතුව මම කලින් කිවුව වමනය, ප්‍රතිශක්තිය අඩු වීම වැනි දේ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අමාරුයි කියලා ප්‍රතිකාර නොකර හිටියොත් පිළිකාවෙන් මිය යන එක වළක්වන්න බැරි වීමයි. අමාරු වෙලා හරි ජීවිතය බේරගන්න එක නේද වටින්නේ? අනෙක් වැදගත් දේ තමයි මේ අමාරුකම්වලට දැන් සහනදායී ප්‍රතිකාර තියෙනවා. මාස හයක් වැනි කාලයක් ඉවසාගෙන ප්‍රතිකාර කළොත් ජීවිත කාලයම බේරගන්න පුළුවන්.

පිළිකාවක් කියන්නේ දියවැඩියාව වගේ හැමදාම තියෙන එකක් නෙමෙයි, සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් රෝගයක්. අපේ සමාජයේ ප්‍රතිකාර අරගෙන හොඳ වෙච්ච දහස් ගණනක් ඉන්නවා, නමුත් ඔවුන් තමන්ට පිළිකාවක් තිබුණා කියලා සමාජයට කියන්න කැමති නෑ. ඒ නිසා අපිට ඇහෙන්නේ අමාරු වෙච්ච අයගේ කතා විතරයි. පළමු වතාවේදී ප්‍රතිකාර නොකඩවා නිවැරදි ලෙස ගත්තොත් පිළිකාව ජය ගැනීම ඉතාම පහසුයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?