එරබදු මල් පිපී, කොවුල් නාදය දසතින් ඇසෙන සුන්දර සිංහල හා හින්දු අවුරුදු සමයක් අප අඛියසට පැමිණ තිබේ. සාම්ප්‍රදායිකව අවුරුද්ද යනු සතුට සහ සමගිය බෙදාගන්නා කාලය වුවත්, වර්තමාන වෙෙළඳපොළ රටාව තුළ එය පාරිභෝගිකයා “විකිණෙන” මාසයක් බවට පත් වී හමාරය. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ ලැබෙන අතිරේක දීමනා සහ බෝනස් මුදල් අතට ලැබෙද්දී, නොසන්සුන් මනසකින් යුතුව “අරවා ගන්න… මේවා ගන්න…” යන සිතුවිලි දම්වැලක ඔබ මේ වන විටත් පැටලී සිටිනවා විය හැකිය. නමුත් මේ මොහොතේ ඔබ ගැඹුරින් සිතිය යුත්තේ ඇස පිනවීමට ගන්නා භාණ්ඩවලට වඩා ඔබේ අනාගත සුරක්ෂිතතාව පිළිබඳවයි.
අද අප මුහුණ දී සිටින්නේ පෙර නොවූවිරූ දරුණු ආර්ථික අර්බුදයකටය. එදා රුපියල් සියයකට ගත් දේ අද රුපියල් පන්සියක් වී ඇත. හෙට දවසේ බඩු මිල තවත් කොතෙකිය. ඉහළ යාවිදැයි කාටවත් කිව නොහැක. උද්ධමනය හමුවේ රුපියලේ අගය දියවී යන විට, ලැබෙන මුදල් සියල්ල උත්සව සිරියාව වෙනුවෙන් පමණක් වැය කිරීම නුවණට හුරු නැත. අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් මතු වූ විට අසරණ නොවී සිටීමට නම්, ලැබෙන ආදායමෙන් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම අනිවාර්ය වේ. හම්බ කරන කාලයේ නොසිතා වියදම් කරන බොහෝ දෙනකුට හම්බ නොකරන කාලයේ පසුතැවෙන්නට සිදුවන බව අමතක නොකළ යුතුය. රුපියලට වඩා වටිනාකම ඉහළ යන රන් ආභරණයක් හෝ ස්ථාවර තැන්පතුවක් වැනි ආයෝජනයක් ගැන සිතීම මේ කාලයේ ඉතාමත් වැදගත්ය.
වෙෙළඳසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරෙන “Buy 1 Get 1 Free” හෝ “50% Off” වැනි දැවැන්ත පුවරු දෙස බුද්ධිමත්ව බැලීමට අප හුරු විය යුතුය. බොහෝ විට උත්සව සමයේ වෙෙළඳපොළට නිකුත් කරන්නේ තත්ත්වයෙන් බාල භාණ්ඩ හෝ කල් ඉකුත් වීමට ආසන්න ආහාර ද්‍රව්‍යයි. ලාභය පසුපස හඹා යන පාරිභෝගිකයා රවටා තමන්ගේ පරණ තොග අලෙවි කිරීමට කූට වෙළෙන්දෝ මානබලති. අනවශ්‍ය ප්ලාස්ටික් භාණ්ඩ, අල්මාරියේ ගොඩ ගැසෙන රෙදිපිළි සහ සෙරෙප්පු කඳු වෙනුවට, සැබෑ අවශ්‍යතාව කුමක්දැයි තේරුම් ගන්න. දකින දකින දේ මිලදී ගන්නා “පාරිභෝගික රූකඩයක්” නොවී, තම ආර්ථිකය පාලනය කරන “කළමනාකරුවකු” වන්න.
අද පවතින ඉන්ධන අර්බුදය දෙස බලන විට, මේ අවුරුදු කාලයේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම අත්‍යවශ්‍ය වේ. පෝලිම්වල රස්තියාදු වෙමින්, පෙට්‍රල් සහ ඩීසල් වෙනුවෙන් අධික මුදලක් වැය කරමින් සාප්පු සවාරි යාම හෝ දුර බැහැර විනෝද චාරිකා යාම මේ මොහොතේ බුද්ධිමත් තීරණයක් නොවේ. තෙල් ටික ඉතිරි කර ගැනීම යනු ඔබේ කාලයත්, මුදලත් ඉතිරි කර ගැනීමයි. ළඟම ඇති වෙෙළඳසලකින් අවශ්‍ය දෑ ලබා ගැනීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමටත් හුරු වීම මේ කාලයේ පවතින ප්‍රායෝගික විසඳුමයි. ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් නිවෙසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට හෝ මාර්ගගත ක්‍රම (Online) හරහා ගෙවීම් කිරීමට හැකි නම්, එය ඉන්ධන හා කාලය ඉතිරි කර දෙන මහඟු අවස්ථාවකි. ඒ වගේම නිෙවසේදීම පවුලේ අය සමඟ එක්ව කැවිලි පෙට්ටිය සකසා ගැනීමෙන් මුදල් ඉතිරි වනවා පමණක් නොව පවුලේ බැඳීම ද ශක්තිමත් වනු ඇත. කඩෙන් ගන්නා බාල ප්‍රමිතියේ තෙල් දැමූ කැවිලිවලට වඩා, අම්මාගේ අතින් හැදෙන කැවුමක රසය සහ ගුණය කොතරම් වටිනවාද?
ලැබෙන වැටුපට වඩා වැඩි මුදලක් ණයට ගෙන අවුරුදු සැමරීමෙන් පසු මැයි මාසය ගෙවීමට සිදුවන්නේ දැඩි පීඩනයකිනි. ණය වී සාද පැවැත්වීම වෙනුවට තමන්ට ඇති පමණින් චාම්ව උත්සවය සැමරීම අගනේය. විශේෂයෙන්ම මේ උත්සව සමයේ සිදුවන රිය අනතුරු සහ බීමතින් වාහන පැදවීම වැනි අවදානම් තත්ත්වයන්ගෙන් ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. සැබෑ සිංහල අවුරුද්ද යනු හුදෙක් අලුත් ඇඳුම් ඇඳ රස කෑම කෑම පමණක් නොවේ. එය පරණ තරහ මරහ අමතක කර සිත් අලුත් කරගන්නා කාලයකි. අද රටේ පවතින ආර්ථික අපහසුතා නිසා වේල් තුන පවා ගත නොහැකි අසරණ පවුල් ඕනෑ තරම් සිටිති. ඔබට අනවශ්‍ය ඇඳුමක් මිලදී ගන්නා මුදලින් එවැනි පවුලකට හාල් කිලෝ කිහිපයක් හෝ වියළි ආහාර පාර්සලයක් ලබා දීමට හැකිනම්, එය මේ වසරේ ඔබ ලබන උතුම්ම සතුට වනු ඇත. නියම අවුරුදු සිරියාව රැඳී පවතින්නේ අනුන්ගේ කුසගින්න නිවන, අනුන්ට උදවු කරන මනුස්සකම තුළයි. දීම තුළ ඇති සතුට විඳිමින්, ණය නොවී, බුද්ධිමත් කළමනාකරණයකින් යුතුව සමරන අර්ථවත් අලුත් අවුරුද්දක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු.
TEXT – හිරුෂිකා ප්‍රියදර්ශනී
