Monday, April 13, 2026
Epaper
Home විශේෂාංගඅතේ ඇති ගාණට හිතේ අැති දේ ගන්න කොටුවට එන්න

අතේ ඇති ගාණට හිතේ අැති දේ ගන්න කොටුවට එන්න

by Shanaka Lakehouse

ලංකාවේ කොහේ ජීවත් වුණත් කාන්තාවකට තම නි‍ෙවසේ වැඩකටයුතු සඳහා අවශ්‍ය බඩුබාහිරාදිය හෝ පෞද්ගලික විලාසිතා කටයුතු සඳහා අවශ්‍ය දෑ ඉතාම ලාබෙට සහ උසස් තත්ත්වයෙන් මිලදී ගැනීමට ඇති හොඳම ස්ථානය කොළඹ පිටකොටුවයි. බොහෝ දෙනෙක් පිටකොටුව වංකගිරියක් සේ සලකා එහි යාමට පැකිළුණත්, එහි ඇති වීදිවල රටාව නිසි ලෙස හඳුනා ගන්නේ නම් එය ඉතාම රසවත් අත්දැකීමකි.

විශේෂයෙන්ම ගෘහිණියකට තම මුළුතැන්ගෙයි සිට නි‍ෙවසට අවශ්‍ය සියලු දේවල ඉතා ලාභයට ගන්න පුළුවන් තැනක් තමා කොළඹ පිටකොටුව කියන්නේ. ගෙදරට අවශ්‍ය කේක් අමුද්‍රව්‍ය සහ උපකරණ මෙන්ම විවිධ බෙහෙත් බඩු සොයා ගැනීමට ගබෝස් පටුමග (Gabos Lane) සහ වේල්ල වීදිය කදිම තැන් වන අතර, නි‍ෙවස හැඩකරන වීදුරු භාණ්ඩ, විසිතුරු භාණ්ඩ සහ පොලිතින් වර්ග සඳහා චයිනා වීදිය පාරාදීසයක් බඳුය. එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ගැනීමට 4 වැනි හරස් වීදියත්, නැවුම් එළවළු සඳහා ඵ් ආසන්නයෙු වූ වෙළඳපොළත්, කරවල සඳහා පෙරේරා මාවතත් භාවිත කිරීමෙන් පවුලේ වියදම් සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.

විලාසිතාවට ලැදි යුවතියකට නම් පිටකොටුව යනු රූපලාවණ්‍ය හා රෙදිපිළි ලොවකි. මහා පරිමාණ ඇඳුම් ප්‍රදර්ශනාගාර සඳහා ප්‍රධාන වීදිය (Main Street) ප්‍රසිද්ධව පවතින අතර, විවිධ රෙදි වර්ග සහ මැහුම් උපකරණ සොයන අයෙකුට 2 වැනි හා 3 වැනි හරස් වීදි මෙන්ම කෙයිසර් වීදිය ද විවෘතව පවතී. විශේෂයෙන්ම යුවතියන් ප්‍රිය කරන විලේපන හා ආලේපන හෙවත් කොස්මෙටික්ස් වර්ග ඉතා අඩු මිලට මිලදී ගැනීමට 2 වෙනි හරස් වීදියේ පිහිටි භූගත (Underground) වෙළඳසැල් පේළිය කදිම ස්ථානයකි. රූපලාවන්‍ය කටයුතුවලට අමතරව පිරිමි පාවහන්, බෑග් සහ ඔරලෝසු වැනි දෑ සැමියාට හෝ දරුවන්ට මිලදී ගැනීමට මල්වත්ත පාර සහ 1 වෙනි හරස් වීදිය වෙත යා හැකිය. නිවසේ විදුලි උපකරණ සහ ලෙදර් භාණ්ඩ සඳහා කුමාර වීදිය මෙන්ම 2 වෙනි හරස් වීදිය ද, වීදුරු හා කණ්නාඩි වර්ග සඳහා කුමාර වීදිය ද වඩාත් සුදුසු වේ.

නි‍ෙවසේ උත්සව සහ විශේෂ අවස්ථා සඳහා අවශ්‍ය කළමනා සපයා ගැනීමට ද පිටකොටුවේ සුවිශේෂී මඟ සලකුණු පවතී. මංගල ඇරයුම් පත් මෙන්ම නත්තල් සහ අලුත් අවුරුදු සුබ පැතුම් පත් සඳහා මැලිබන් වීදිය ලංකාව පුරාම ප්‍රසිද්ධ වී ඇති අතර, වෙසක් කාලයට පීපල්ස් පාර්ක් පරිශ්‍රය වෙසක් පත්වලින් හැඩවේ. ඕනෑම වර්ගයක මුද්‍රණ ද්‍රව්‍ය සහ ලිපි ද්‍රව්‍ය සඳහා රෝහිනි 1 වැනි පටුමගට පිවිසීමෙන් ඔබේ මුදල් ඉතිරි කර ගත හැකිය. මීට අමතරව නි‍ෙවසේ ඉදිකිරීම් කටයුත්තකට හෝ ගෙවතු වගා උපකරණ සොයන්නේ නම් පරණ යොන් වීදිය, ආමර් වීදිය සහ තෙවැනි හරස් වීදිය ඒ සඳහා වෙන්ව පවතී. ඔබ කියවීමට ප්‍රිය කරන, පැරණි වටිනා පොත්පත් සොයන කාන්තාවක නම් ඩී.ආර්. විජවර්ධන මාවතේ ඇති පොත් කඩ පේළිය අතහැරිය නොහැකි තැනකි. මේ අයුරින් ඔබ යා යුතු නිවැරදි වීදිය හඳුනාගෙන පිටකොටුවට පිවිසෙන්නේ නම්, ඉදිරි උත්සව සමය වෙනුවෙන් ලාබෙට සහ පහසුවෙන් ඔබේ සාප්පු සවාරිය නිමා කිරීමට ඔබට හැකි වනු ඇත.

 

TEXT – තෙරේෂා ලක්ෂ්මි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?