රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඔහුව ගෙන එන විටත් ඔහු සිටියේ දැඩි කම්පන තත්ත්වයක. රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස පහ
ත වැටිලා, හුස්ම ගැනීම වේගවත් වෙලා. ඔහුගේ දකුණු කකුල දණහිසට පහළින් සම්පූර්ණයෙන්ම ඉදිමිලා, තද රතු පාට වෙලා, අත තියන්න බැරි තරමට ගිනි ගහන රස්නෙයි.
මොකද වුණේ? යැයි ඇසූ විට කලබල වී සිටි පවුලේ අය දුන්නේ මෙවැනි පිළිතුරක්.
“දවස් තුනකට කලින් මිදුල සුද්ද කරද්දි කකුලේ පොඩි කටුවක් ඇරුණා විතරයි මිස්, වෙන මුකුත් ලොකු අනතුරක් වුණේ නෑ. ඊයේ ඉඳන් කකුල ටිකක් රිදෙනවා කිව්වා, අද උදේ වෙද්දී එකපාරටම මේ වගේ ඉදිමිලා කලන්තේ දාලා වැටුණා…”
ඒ පුංචි කටුවෙන් සිදුවූ පුංචි තුවාලය ඔස්සේ ඇතුළු වුණු බැක්ටීරියාවන් ඒ වෙද්දීත් ඔහුගේ මුළු ශරීරයේ ද අවයව ආක්‍රමණය කරලා අවසන්. මේ කතාව අපිට රෝහල් වාට්ටු තුළ නිතරම අහන්න ලැබෙන, නමුත් බොහෝ දෙනෙක් නොදැනුවත්කම නිසාම මරණයට පවා අතවනන භයානක තත්ත්වයක් ගැනයි. වෛද්‍ය විද්‍යාවේදී අප මෙය හඳුන්වන්නේ Cellulitis (සෙලියුලයිටිස්) කියලයි.
මොකක්ද මේ Cellulitis කියන්නේ?
සෙලියුලයිටිස් කියලා කියන්නේ අපේ සමේ සහ සමට යටින් තියෙන පටකවල ඇතිවන දරුණු බැක්ටීරියා ආසාදනයක්. විශේෂයෙන්ම Streptococcus සහ Staphylococcus කියන බැක්ටීරියා වර්ග තමයි මේකට ප්‍රධාන වශයෙන් වගකියන්නේ. මේ බැක්ටීරියාවන් අපේ සම මතුපිටත්, අවට පරිසරයේත් නිතරම ජීවත් වෙනවා.
කොහොමද මේ බැක්ටීරියාවන් අපේ ඇඟට ඇතුළු වෙන්නේ?
සම කියන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රධානම ආරක්ෂක කබාය. මේ කබායේ පොඩි හෝ සිදුරක්, බිඳීමක් හැදුණොත්, ඒක බැක්ටීරියාවලට ඇඟට රිංගන්න ලැබෙන දොරටුවක් වෙනවා. Cellulitis ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන ආකාර මෙහෙමයි:
සුළු කැපීම් සහ සීරීම්
පොඩි කටුවක් ඇනීමක්, වීදුරු කටුවකින් කැපීමක් හෝ සීරීමක් වුණත් ප්‍රමාණවත්.
කෘමීන් දෂ්ට කිරීම්
මදුරුවෙක්, කූඹියෙක් කාපු තැනක් තදින් කසලා තුවාල වුණත් බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම සතුන් සපා කෑම්වලිනුත් මේ තත්ත්වය ඇතිවෙනවා.
සමේ ඇතිවන පැළීම්
විශේෂයෙන්ම පාදවල ඇඟිලි කරු අතර ඇතිවන දිලීර ආසාදන නිසා සම පැළීම මඟින්.

සම අධික ලෙස වියළීම
වියළි බව නිසා සමේ ඇතිවන සියුම් පැළීම් හරහා.
ශල්‍යකර්ම තුවාල
නිසි ලෙස පිරිසුදු නොකළ පැරණි හෝ නව ශල්‍යකර්ම තුවාල මඟින්.
ප්‍රතිශක්තිය අඩු වීම
දියවැඩියාව, වකුගඩු රෝග හෝ වෙනත් හේතු නිසා ප්‍රතිශක්තිකරණය දුර්වල වී ඇති අයට සහ රුධිර ගමනාගමනය දුර්වල අයට මෙහි අවදානම ඉතා වැඩියි.
මේක භයානක තත්ත්වයක් වෙන්නේ ඇයි?
“ඕක පොඩි තුවාලයක්නේ, ඉබේම හොඳ වෙයි” කියලා හිතලා ප්‍රතිකාර නොගෙන හිටියොත් මේ තත්ත්වය ඉතා වේගයෙන් බරපතළ වෙන්න පුළුවන්.
Sepsis
ආසාදනය සමට පමණක් සීමා නොවී රුධිර නාළ හරහා මුළු සිරුරටම පැතිරී යාම. මෙහිදී වකුගඩු වැනි අභ්‍යන්තර අවයව අක්‍රිය වී රෝගියා මරණයට පවා පත්විය හැකියි. (මුලින්ම සඳහන් කළ රෝගියාට සිදුවූයේද මෙයයි).
Necrotizing fasciitis (මස් දියවීමේ රෝගය)
බැක්ටීරියා මඟින් ඉතා වේගයෙන් සම යට ඇති පටක විනාශ කර දැමීම. මෙය අතිශය භයානක හදිසි තත්ත්වයකි.
අස්ථි ආසාදන (Osteomyelitis)
සමෙන් ආරම්භ වන ආසාදනය ඇතුළත ඇති අස්ථි දක්වා පැතිරීම.
වසා පද්ධතියට පැතිරීම (Lymphangitis)
විෂබීජ වසා නාළ සහ වසා ගැටිතිවලට ඇතුළු වී ඒවා ඉදිමීම හා ආසාදනය වීම.
ඔබ කළ යුත්තේ කුමක්ද?
👉 කිසිමදාක පොඩි තුවාලයක්, සීරීමක් කියලා නොසලකා හරින්න එපා. තුවාලයක් වුණොත් සබන් සහ පිරිසුදු ජලය යොදා හොඳින් සෝදන්න.
👉 සමේ යම් තුවාලයක් අවට රතු වීමක්, ඉදිමීමක්, අත තියන්න බැරි තරම් වේදනාවක්, රස්නයක් හෝ ඒ සමඟ උණ ගතියක් එනවා නම් වහාම වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න.
👉 ඔබට දියවැඩියාව තිබෙනවා නම්, දිනපතාම ඔබේ දෙපා පරීක්ෂා කර බලන්න. පුංචි හෝ තුවාලයක් ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න.
👉 පාදවල දිලීර ආසාදන ඇත්නම් ඒවාට නිසි ප්‍රතිකාර ලබාගෙන සම පැළීම වළක්වා ගන්න.
සමහර වෙලාවට අපි නොසලකා හරින පුංචි දේවල්, අපේ ජීවිතයට ලොකු තිතක් තියන්න පුළුවන්. දැනුවත්කම තමයි හොඳම ආරක්ෂාව. ඒ නිසා මේ වගේ පුංචි දේවල් මඟ හරින්න එපා.
