සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවද්දී අප හැම දෙනෙක්ම පාහේ ඒ වෙනුවෙන් ලකලැහැස්ති වෙති. වෙනදා මෙන්ම ජාතියේ නාලිකාව වන ජාතික රූපවාහිනිය ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු විශේෂාංග රැසකින් ඔබව පිනවීමට ළහි ළහියේ සැරසෙන බව ‘තරුණී’ අපට සැල විය. මේ සටහන ජාතික රූපවාහිනිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන ‘කෝකිල වසන්තය’ විශේෂාංගය ගැනයි.
බක් මහේ වසන්ත සැණකෙළිය නොහොත් සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය, අපට සාමය, සතුට, සමගියේ අරුත කියා දෙන පාඩමක් වැන්න. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ අරුත පැහැදිලි කරන්නටත්, සිංහල දෙමළ සැම අතර ඇති විය යුතු සංහිඳියාව ගැන රටට පසක් කරන්නටත් නවමු විශේෂාංගයක් ඔබ හමුවේ දිග හැරීමට නියමිතය. අප්‍රේල් 14 වැනිදා රාත්‍රී 9ට ජාතික රූපවාහිනී නාලිකාව ඔස්සේ ඔබ සැමට එය නැරඹිය හැකිය.
ජාතික රූපවාහිනිය ඔස්සේ අලුත් වැඩක් කරන්නට නිතරම වෙහෙසෙන වැඩසටහන් අධ්‍යක්ෂිකාවක වන තරංගි අතුරලිය මෙම විශේෂාංගයේ අධ්‍යක්ෂිකාවයි. මෙය ටෙලිනාට්‍යයකට සමාන එහෙත් ටෙලිනාට්‍යයක් නොවන ෆැන්ටසියක ආකාරයෙන් නිමැවුණු විශේෂාංගයකි. සැබැවින්ම මෙය නාට්‍ය, නර්තන හා සංගීතය මුසු වුණු අවුරුදු විශේෂාංගයකි. මෙහි කතා සාරාංශය ගොඩනැඟෙන්නේ මෙයාකාරයෙනි. සිංහල පවුලක් පදිංචි නිවෙසක ඉදිරිපස නිවෙසකට දෙමළ පවුලක් පදිංචියට පැමිණෙති. අනතුරුව මේ දෙමළ පවුලේ තරුණ පුතා සමඟ සිංහල පවුලේ තරුණ දියණිය ප්‍රේම සබඳතාවක් ආරම්භ කරයි. ඒ අතර මෙම තරුණිය ගැන බලාපොරොත්තුවෙන් සිටි ගම්වාසී තරුණයකුගේ විරෝධයක් මේ සබඳතාවට එල්ල වෙයි.
අනතුරුව මේ ප්‍රේම සබඳතාව මල් පල දරමින් විවාහ මංගල්‍යයක් ද සිදු වෙයි. සැබැවින්ම මෙය සිංහල දෙමළ ජාතීන්ගේ සංහිඳියාව නිරූපණය කරන විශේෂාංගයකි. මෙහි සිංහල දෙමළ අවුරුද්ද දෙපාර්ශ්වයම එක්ව සමරන ආකාරය තුළින් ජාතීන් අතර ගොඩනැඟිය යුතු සබැඳියාව නිරූපණය කෙරෙයි.
විශේෂාංගයේ දෙබස් අතරතුර ගීත සහ නර්තනාංග දර්ශනය කෙරෙයි. එම ගීත සහ නර්තන සියල්ල සිංහල දෙමළ අලුත් අවුරුද්ද සංකේතවත් කරයි. ‘දීග නොගිය පුංචි නෑනෝ’, ‘රන්වන් හිරු දෙව් මිහිකත වැඩලා’, ‘සිරිලක සරසන මංගල්ලේ’ වැනි ගීත ආදියට මෙහි නර්තන ඉදිරිපත් කරනු ලබයි.
මෙහි පටිගත කිරීම් කටුනායක කිඹුලාපිටිය ධනමුතු හෝටල් පරිශ්‍රයේදී සිදු විය. මෙම විශේෂාංගයේ සංකල්පය තරංගි අතුරලියගේ වන අතර ඇය විසින්ම මෙහි අධ්‍යක්ෂණය සිදු කර තිබේ. සහාය අධ්‍යක්ෂණයෙන් නලින් මධුසංකද නිෂ්පාදන සහායෙන් චත්වර විජේසිංහ හා රවි ධර්මප්‍රිය පෙරේරා දායක වෙති.
මෙහි පිටපත පබසර සමෝදාන විතානගේ රචනා කර ඇති අතර සංස්කරණ කටයුතු යොහාන් ඉන්ද්‍රජිත් විසින් සිදු කර තිබේ. කැමරා අධ්‍යක්ෂණය ජනිත් සුසෙව්හේවා සිදු කරද්දී කැමරාකරණයෙන් අමල් ලියනගේ, නිමේෂික කුමාරසිංහ හා දේශාන් තෙන්නකෝන් දායක වී ඇත.
සුගත් පන්නිලගේ මෙහි පටිගත කිරීම් සිදු කර ඇති අතර ආලෝකකරණයෙන් චානුක ප්‍රභාශ්වරත්, පසුතල නිර්මාණයෙන් කෝකිල විජේසිංහත් නිර්මාණයට දායක වී තිබේ. පසුතල සහාය සඳහා හංස ජයසිංහ දායක වෙද්දී මෙහි නළු නිළියන් සහ නර්තන කණ්ඩායම් හැඩගැන්වීමේ වේශ නිරූපණ කටයුතු සඳහා නාලිකා ද සොයිසා දායක වී ඇත. කොණ්ඩා සැකසුම් ෂර්මිලා නිලූක්ෂි තොටගමුව විසින් සිදු කරද්දී ක්ෂේත්‍ර සහායකයන් ලෙස කේ.බී. ලොකුබණ්ඩාර, නවින්ද්‍ර පද්මසිරි හා සුජිත් කුමාර කටයුතු කර ඇත. මෙහි විවිධ කටයුතු සඳහා මංජුල ප්‍රදීප් කුමාර සහ ප්‍රියදර්ශන සහාය දක්වා තිබේ. අධ්‍යාපන වැඩසටහන් ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉන්ද්‍රකුමාර ද මෙහිදී සිහිපත් කරන බව අධ්‍යක්ෂිකා තරංගි අතුරලිය අප හමුවේ කියා සිටියාය.
මෙහි සියලු නර්තන නිර්මාණයන් සිදු කර ඇත්තේ ආචාර්ය නිහාල් පෙරේරා ප්‍රමුඛ පන්නිපිටිය නිර්මාණි රංගායතනයයි. මෙහි පසුබිම් සංගීත කටයුතු සඳහා විශාරද ප්‍රදීප් මුතුකුඩආරච්චි දායක වී තිබේ. මෙම නිර්මාණය සඳහා නිර්මාණාත්මක ලෙස පූර්ව ප්‍රචාරක සැකසීමෙන් දායක වී ඇත්තේ චාමර කමලදේව, පැතුම් හේවාවසම් සහ ශිහාරා මධුවන්තියයි. මෙම නිර්මාණය යථාර්ථයක් කර ගැනීමට ජාතික රූපවාහිනියේ වෙළෙඳ අංශයෙන් ද විශාල සහායක් ලැබී ඇත.
කෝකිල වසන්තය නම් මේ විශේෂාංගය හැඩ කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර රොඩ්නි වර්ණකුල, මනීෂා විජේසිංහ, අනුෂා දමයන්ති, ගෙනීෂා දන්දෙණිය, පබසර සමෝදාන, එස්. විශ්වනාදන්, මොරින් චාරුනී, විරාජ් පෙරේරා, මුතූ තරංගා, සුදර්ශන බණ්ඩාර, සුභාෂණ ගමගේ, උදාන හේරත් හා බිනුලි ජයසේකර ප්‍රධාන වෙති.
තරංගි අතුරලිය අලුත් අවුරුද්ද වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන පළමු විශේෂාංගය මෙය නොවේ. 2021 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ද ‘හිරු කැන්දන නැකත ඇවිත්’ නමින් මෙවන් විශේෂාංගයක් ජාතික රූපවාහිනියේ විකාශය වූයේ ද තරංගි අතුරලියගේ සංකල්පයෙන් සහ අධ්‍යක්ෂණයෙනි. නගරයේ පවුලක් ගමේ නෑ ගෙදරකට ඇවිත් අවුරුදු සමරන හැටි එයින් නිරූපණය විය. එය සෑම වසරකදීම නැවත විකාශය වීම ද විශේෂත්වයකි. මෙවර ද එය නැවත විකාශය වන බව ඇය අප හමුවේ කියා සිටියාය.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්ම පමණක් නොව තවත් විශේෂ දින අරබයා විශේෂ වැඩසටහන් රැසක් තරංගි අතුරලිය ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කර විකාශය කර තිබේ. නිදහස් උත්සවය වෙනුවෙන් ‘නිදහසේ දැහැන’, සෑම නත්තල් දිනයක් පාසාම ‘ප්‍රේමණීය නත්තල’ නමින් විශේෂාංගයක් ඇය මීට පෙර සංවිධානය කළාය. වසර 11ක සිට මේ දක්වා ‘සුක්කානම’ වැඩසටහන, ‘ජාතික පාසල’, ‘නුග සෙවණ’ ආදී සජීවී වැඩසටහන් රැසකම අධ්‍යක්ෂණය ඇය විසින් සිදු කර තිබේ. එසේ අධ්‍යක්ෂණය කළ වැඩසටහන් සඳහා සම්මාන රැසකින්ම ඇය පිදුම් ලබා ඇත. තිස් එක් වසරක් පුරා ජාතික රූපවාහිනියේ සේවය කරන තරංගි මේ වන විට එහි ළමා වැඩසටහන් ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නීය.
TEXT – ආර්.පී. මිහිරාන්
