ටයිටැනික් ආදර කතාවට අවුරුදු එකසිය දාහතරයි. සැබෑ ප්‍රේමවන්තයන් ශාරීරිකව වෙන් වුණත්, ඔවුන්ගේ ප්‍රේමය කවදාවත් මියයන්නේ නැත. එය ඔවුන්ගේ හදවත්හි සදාකල් ජීවමානව පවතිනු ඇත. මීට වසර විසිනවයකට පෙරාතුව ලොව සුපතළ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් විසින් නිර්මාණය කළ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ ගීතය වූ “My Heart Will Go On” හි සරල අර්ථය වන්නේද එයයි. ගෙවී ගිය ශතවර්ෂය තුළ සිදු වූ අතිශය සුවිසල් සහ වේදනාකාරී ඛේදවාචක අතර මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. එම ඛේදවාචකය ලෝකවාසීන් වඩාත් සමීපව වැලඳ ගන්නේ ටයිටැනික් සිනමා කෘතිය නිර්මාණය වීමත් සමඟය. කෙසේ නමුත් සැබෑ ටයිටැනික් නෞකාව මුහුදුබත් වී මේ වන විට වසර 114ක් සපිරෙයි.
ටයිටැනික් නෞකාව ගිලී යාම ෙඵතිහාසිකව සත්‍ය සිදුවීමක් වුවද, චිත්‍රපටය පුරා දිවෙන ජැක් සහ රෝස්ගේ ආදර කතාව හුදු ප්‍රබන්ධයක් බව එහි රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයාද වන ජේම්ස් කැමරන් ප්‍රකාශ කර තිබේ. ජැක් ඩෝසන් සහ රෝස් ඩෙවිට් බුකේටර් යන චරිත දෙකම සිනමා කෘතිය වඩාත් රසවත් හා සංවේදී කිරීම සඳහා නිර්මාණය කරන ලද බව ඔහු පවසයි. එහෙත් ලොව පුරා විසිරී සිටින රසික රසිකාවියන් මේ ප්‍රේම කතාව කොතරම් ආදරයෙන් වැලඳ ගත්තාද යත්, මෙය ප්‍රබන්ධයක් බව පිළිගැනීමට පවා ඇතැම් පිරිස් අකමැති වෙති.
සමහර විට එදා එම මහා විනාශයට මුහුණ දුන් ටයිටැනික් නැවේ මෙවන් සුන්දර වූත්, ශෝකජනක වූත් සැබෑ ආදර කතා ඕනෑ තරම් තිබෙන්නට ඇත. ජේම්ස් කැමරන්ගේ සිතේ මැවුණු මේ ප්‍රබන්ධ කතාව එදා සැබැවින්ම සිදු වූයේ යැයි සිතන්නට බොහෝ දෙනා පෙලඹෙන්නේ එය ඒ තරමටම තාත්ත්වික ලෙස නිර්මාණය කර ඇති බැවිනි.
සිතුවමකින් දිග හැරෙන අතීතය
චිත්‍රපටයේ කතා සාරාංශය ආරම්භ වන්නේ ටයිටැනික් නෞකාව අත්ලන්තික් සාගර පතුලේ සැඟවී ගොස් වසර 84කට පසු සිදු කරන පර්යේෂණ මෙහෙයුමකිනි. පර්යේෂණ කණ්ඩායමක් ගිලුණු නැවේ නටබුන් අතරින් සේප්පුවක් සොයා ගන්නා අතර, ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ එහි ඇති වටිනා “Heart of the Ocean” නම් නිල් පැහැති දියමන්ති මාලය සොයා ගැනීමයි. එහෙත් සේප්පුව තුළ තිබී ඔවුන්ට හමු වන්නේ 1912 අප්‍රේල් 14 වැනි දිනට නියමිත වූ, නිරුවත් කාන්තාවකගේ සිතුවමකි. එම සිතුවමේ සිටින රූමත් කාන්තාවගේ ගෙලෙහි පර්යේෂකයන් සොයමින් සිටි දියමන්ති මාලය පැලඳ සිටින ආකාරය දැකීමෙන් පිරිස වික්ෂිප්ත වෙති.
මෙම පුවත රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශනය වීමත් සමඟ, එය දකින 101 හැවිරිදි වියපත් රෝස් ඩෝසන් කැල්වර්ට් නමැති වයෝවෘද්ධ කාන්තාව පර්යේෂණ කණ්ඩායම අමතා පවසන්නේ එම සිතුවමේ සිටින්නේ තමා බවයි. අනතුරුව පර්යේෂණ නෞකාව වෙත පැමිණෙන ඇය, එදා ටයිටැනික් නෞකාවේ සිදු වූ ඒ අමතක නොවන සිද්ධි දාමය අකුරක් නෑර සිහිපත් කරයි.

වංශවත් තරුණිය සහ නිදහස් තරුණයා
ටයිටැනික් නෞකාව සිය මංගල ගමන ආරම්භ කරන්නේ 1912 අප්‍රේල් මස 10 වැනිදාය. එවකට 17 හැවිරිදි වියේ පසු වූ රෝස් යනු එංගලන්තයේ වංශවත් පවුලක රූමත් තරුණියකි. ඇගේ පියා ඒ වන විටත් මියගොස් සිටි අතර පවුලේ ගෞරවය සහ ආර්ථිකය රැක ගැනීම සඳහා ඇයට හොක්ලි නම් උඩඟු, ධනවත් තරුණයා සමඟ විවාහ වන්නට සිදු වී තිබුණි. මේ අතර, කතාවේ ප්‍රධාන නායකයා වන ජැක් ඩෝසන් යනු ලොව පුරා සැරිසරන නිදහස් චින්තනයක් ඇති දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහු වරාය අසල සූදුපොළකදී දිනා ගත් ඔට්ටුවක් හේතුවෙන් ටයිටැනික් නැවේ තුන්වැනි පන්තියේ ගමන් කිරීමට ටිකට්පත් දෙකක් හිමි කර ගනී. ජැක් සහ ඔහුගේ මිතුරා නැවට ගොඩ වන්නේ එය ගමන් ආරම්භ කිරීමට තත්පර කිහිපයක් තිබියදීය.
නෞකාවේ පළමු පන්තියේ සැප සම්පත් මැද කාලය ගත කළත්, රෝස් සිටියේ තම ජීවිතය අරමුණක් රහිත, ව්‍යාජ වටිනාකම්වලින් පිරි සිරගෙයක් වැනි වූ බව දැනෙමිනි. මේ පීඩනය දරා ගත නොහැකි තැන ඇය නැවෙන් පැන දිවි නසා ගැනීමට උත්සාහ කරයි. ඒ අවස්ථාවේදී එහි සිටි ජැක් ඇගේ දිවි බේරා ගනිමින් ඇයට ජීවිතයේ වටිනාකම වටහා දෙයි. මෙම මුණගැසීම ඔවුන්ගේ ආදරයේ ආරම්භය විය. රෝස්ගේ පෙම්වතා වූ හොක්ලි, ජැක්ට කළගුණ සැලකීමක් ලෙස පළමු පන්තියේ රාත්‍රී සාදයකට ඇරියුම් කළද එය සිදු කළේ අවඥාවෙනි. එහෙත් ජැක් තමාට ආවේණික වූ සරල හා චතුර කතා විලාසයෙන් එහි සිටි සියලු දෙනාගේ සිත් දිනා ගත්තේය.
දියමන්ති මාලය සහ හදවතේ ආදරය
හොක්ලි, රෝස්ගේ සිත දිනා ගැනීම සඳහා ඇයට කැරට් 56ක වටිනාකමකින් යුතු “Heart of the Ocean” නම් දියමන්ති මාලය තෑගි කරයි. එහෙත් රෝස්ට අවශ්‍ය වූයේ දේපළ හෝ රත්රන් නොව ඇගේ සිත හඳුනන සැබෑ පෙම්වතෙකි. ජැක් සහ රෝස් රහසින් මුණගැසෙමින් නැවේ විවිධ ස්ථානවල සැරිසරති. ජැක් රෝස්ගෙන් අසන “ඔයා ඇත්තටම හොක්ලිට ආදරේද?” යන ප්‍රශ්නය ඇයව ගැඹුරු කල්පනාවකට යොමු කරයි. ඔවුන් දෙදෙනා එක්ව තුන්වැනි පන්තියේ ගැමි නැටුම් සාදවල විනෝද වන අතර, රෝස් තමාගේ සැබෑ සතුට තිබෙන්නේ ජැක් අසල බව තේරුම් ගනී.
නැවේ ඉදිරිපස බරාදයට වී දෙදෙනා ආදරයෙන් වෙළෙන දර්ශනය චිත්‍රපටයේ වඩාත් ජනප්‍රියම දර්ශනයකි. රෝස්ගේ ඉල්ලීම පරිදි ජැක් ඇගේ නිරුවත් සිතුවම අඳින්නේ හොක්ලි ලබා දුන් දියමන්ති මාලය පමණක් ඇයට පලඳවමිනි. එහෙත් හොක්ලිගේ සේවකයින් මේ රහසිගත ආදරය දැන ගන්නා අතර, ඔවුන් ජැක්ව සොරකමකට හසු කර මාංචු දමා සිර කරයි.
ඛේදවාචකය සහ අවසාන සමුගැනීම
නෞකාව අයිස් කුට්ටියක හැපී මුහුදුබත් වීමට පටන් ගත් විට, සැවොම තමන්ගේ ජීවිත බේරා ගැනීමට උත්සාහ කළහ. එහෙත් රෝස් තමාගේ ජීවිතය ගැන නොසිතා, සිර කර සිටි ජැක්ව සොයා ගොස් ඔහුව බේරා ගනී. නැව දෙකට කැඩී මුහුදේ ගිලී යන විට දහස් ගණනක් මිනිසුන් සීතල අයිස් වතුරට ඇදවැටුණි. ජැක් තමා අසල තිබූ ලී දොරක් මත රෝස්ව තැබූ නමුත්, එහි දෙදෙනකුට රැඳී සිටීමට ඉඩක් නොතිබුණි. ජැක් සිය කඳ කොටස අයිස් වතුරේ ගිල්වාගෙන සිටිමින් රෝස්ට පොරොන්දු කරවා ගන්නේ ඇය කෙසේ හෝ ජීවත් වී, විවාහ වී, දරුවන් ලැබ මහලු වන තුරු ජීවත් විය යුතු බවයි.
පැය කිහිපයකට පසු මුදාගැනීමේ බෝට්ටුවක් පැමිණෙන විට ජැක් දැඩි සීතල හේතුවෙන් මියගොස් සිටියේය. රෝස් සිය පෙම්වතාගේ සිරුර සාගර පතුලට ගිලී යන ආකාරය අතිශය සංවේගයෙන් බලා සිටියාය. පසුව ඇය ජැක්ට වූ පොරොන්දුව ඉටු කරමින් ජීවිතය ජය ගත් අතර, තම නම රෝස් ඩෝසන් ලෙස වෙනස් කර ගත්තාය.
කතාව අවසානයේ, වියපත් රෝස් තමා සන්තකයේ රහසින් තබාගෙන සිටි ඒ වටිනා දියමන්ති මාලය ජැක් සැතපෙන සාගරයටම මුදා හරියි. එදා රාත්‍රියේ ඇය නින්දේදී සාමකාමීව මියයන අතර, ඇගේ ආත්මය නැවතත් තරුණ රෝස් ලෙස ටයිටැනික් නැවේ ඔරලෝසුව අසල තමා එනතුරු බලා සිටින ජැක් මුණගැසෙන ආකාරය පෙන්වමින් චිත්‍රපටය නිමාවට පත් වෙයි. ටයිටැනික් යනු හුදු නැවක් ගිලී යාමේ කතාවක් නොව, මරණයට පවා පරාජය කළ නොහැකි වූ සදාකාලික ප්‍රේමයක ස්මාරකයකි.
TEXT – පසිඳු මිහිරාන් රැටියල
