Monday, April 13, 2026
Epaper
Home විශේෂාංගඔබේ නිවෙසේ වැසිකිළි වළ ඇත්තේ කොයි දිශාවේද?

ඔබේ නිවෙසේ වැසිකිළි වළ ඇත්තේ කොයි දිශාවේද?

by Shanaka Lakehouse

නිවෙසක ගෘහ අංග ඉදිකිරීමේදී වාස්තු විද්‍යාත්මක කරුණු පිළිබඳ සැලකිලිමත් වන ආකාරයටම නිවෙසක වැසිකිළි වළ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. අතීතයේ සිටම වැසිකිළිය සහ වැසිකිළි වළ පිළිබඳව විශාල වටිනාකමක් මෙන්ම දියුණු තාක්ෂණයක් භාවිත කර ඇත. එය එදා වගේම අදත් වලංගු කාරණාවකි. එහෙත් අතීත පැරන්නන්ට මෙන් ලොකු ඉඩකඩක් වර්තමානයේ ඉඩම්වල නොපවතී. එහිදී මෙම වැසිකිළි වළ ඉදිකිරීම පිළිබඳ විවිධ ගැටලු විවිධාකාරයෙන් ඇතිවිය හැකිය. ඒ අනුව සුදුසුම ආකාරයට වැසිකිළි වළ ඉදිකිරීම සහ ඒ සඳහා සුදුසු දිශාවන් පිළිබඳ අවබෝධය තිබිය යුතුය.

ඉඩමක් ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය හා බ්‍රහ්ම පාදය වශයෙන් පාද හතරකට බෙදේ. කිසිම හේතුවක් මත ඉඩමේ මැද කොටසේ එනම් බ්‍රහ්ම පාදයේ වැසිකිළි වළ සෑදීම නොකළ යුතුය. එය මාරාන්තික වාස්තු දෝෂයකි. ඒ අනුව නිවෙසක වැසිකිළි වළ සැකසිය යුත්තේ ප්‍රේත පාදයේය. එසේ කිරීමට අපහසු අවස්ථාවල වාස්තු පිළිබඳ දැනුමැති කෙනකුගෙන් උපදෙස් ගැනීම සුදුසු වේ. ඒ අනුව එකින් එක දිශාවන්ට වැසිකිළි වළ සැදීමෙන් ඇතිවන දෝෂසහගත තත්ත්වයන් සහ ඊට පිළියම් පිළිබඳ විමසා බලමු.


නිවෙසේ ප්‍රධාන දොර ඉදිරිපිට වැසිකිළි වළ පිහිටීම

නිවෙසේ ප්‍රධාන දොර යනු නිවෙසක මුඛය වැනිය. නිවෙස තුළට ප්‍රාණ ශක්තීන් ආකර්ෂණය කරගැනීමේ මූලික ස්ථානය මෙම ප්‍රධාන දොරයි. එනම් නිවෙසට ධනය, වාසනාව, සෞභාග්‍යය උදාකරලීමේ මූලිකම ස්ථානය ප්‍රධාන දොරයි. වාස්තු ශාස්ත්‍රයට අනුව ප්‍රධාන දොර ඉදිරිපිට වැසිකිළි වළක් පිහිටීම අනුමත නොකරයි. ප්‍රධාන දොර තුළ තිබෙන මෙම දෝෂ ‘ද්වාරවේද’ ලෙස හැඳින්වේ. ඒ අතරින් වැසිකිළි වළක් පිහිටීම ‘උත්වේද’ ලෙස හැඳින්වේ.

නිරිත දිශාව

වැසිකිළි වළක් සෑදීමේදී නරකම දිශා දෙක ලෙස ඊසාන සහ නිරිත දිශාවන් දැක්විය හැකිය. පංචමහා භූතයන්ගෙන් පඨවි නැතිනම් පෘථිවි ධාතුව නිරිත දිශාවට සම්බන්ධ වේ. නිරිත දිශාවෙන් ස්ථාවරත්වය, පාලනය, දීර්ඝකාලීන ආරක්ෂාව වැනි දේවල් නිරූපණය කරයි. නමුත් වැසිකිළි වළක ඇති අපද්‍රව්‍ය, අපජලය, පොළොවේ කුහරයක් නිර්මාණය වීම නිරිත කලාපයේ සමතුලිතතාවට ඍජුවම බාධා එල්ල කරනු ලබයි. මේ නිසාවෙන් මූල්‍යමය අස්ථාවරභාවය, දියුණුව අඩාළ වීම, නිදන්ගත රෝගාබාධ මතුවීම, මානසික පීඩා වැනි දේවල් ඇතිවිය හැකිය. එහි බලපෑම දීර්ඝකාලීන වන අතර එවැනි ගැටලු ඇතිවන්නේ ගෘහමූලිකයාට හෝ වැඩිමහල් පිරිමි දරුවාටය.

ඊසාන දිශාව

ඊසාන දිශාවේ පිහිටි වැසිකිළි වළ ද ප්‍රබලම වාස්තු දෝෂයකි. එහෙත් ඔ‍ෙබ් ඉඩමේ වෙන කිසිදු විකල්ප ස්ථානයක් නොමැතිනම් ඔබ කළ යුත්තේ මෙම දෝෂය නිසාවෙන් තමන්ට කිසියම් ආකාරයක බලපෑමක් වී ඇත්දැයි බැලීමයි. ඔබ නිවෙස තුළ සිටියදී කිසිම හේතුවක් නොමැතිව ඔබේ මනස ව්‍යාකූල තත්ත්වයට පත් වේ නම්, සුව නොවන හිසරදයක් පවතීනම්, නිවෙස තුළ සිටියදී මෙම හිසරදය උග්‍ර වේනම්, ඔබට වකුගඩු, මුත්‍රාශය සහ හෝ්මෝන අසමතුලිතතාවලින් ඇතිවන රෝග නිසාවෙන් පීඩා විඳිනවානම්, නින්දට බාධා එල්ල වේනම්, රෝගවලින් සුවය ලැබීමට සාපේක්ෂව වැඩි කාලයක් ගත වේ නම් මේ සඳහා අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම චන්ද්‍රයා, ගුරු සහ රාහු දුර්වලනම් ඔවුන්ගේ මහා දසාවලදී මෙම පීඩාකාරී තත්ත්වයන් උග්‍ර විය හැකිය. ඔබේ ඉඩමේ වෙනත් කිසිදු විකල්ප ස්ථානයක් නොමැතිනම් එයට ප්‍රතිකර්මයක් කළ හැකිය. එහෙත් එයින් වාස්තු දෝෂය නැතිවීමක් සිදු නොවන බව ඔබ මතක තබාගත යුතුය. එයින් ඇතිවන බලපෑම යම්තාක් දුරකට සමනය කිරීමක් කරගත හැකිය.

ඒ අනුව නිරිත හෝ ඊසාන දිශාවල වැසිකිළි වළ පවතී නම් එය ඉවත් කිරීම වඩාත් සුදුසුය. ඉවත් කිරීමට අපහසුනම් දෝෂ සමනය කළ හැකි පිළියම්වලට යොමු විය යුතුය. ඒ සඳහා මුලින්ම ඔබ තඹ තහඩුවක් රැගෙන ඔබේ වැසිකිළි වළ මත තැබීම සිදු කරන්න. තඹවලට ඍණ ශක්තීන් ආකර්ජණය කර ගැනීමේ හැකියාවක් පවතී. පසුව තරමක තඹ හෝ මැටි භාජනයක් රැගෙන එයට ලුණු කැට පුරවා හොඳින් සුළං නොවදින ආකාරයට වසා ඔබේ නිවෙස තුළ ඊසාන හෝ නිරිත කෙළවරේ තැන්පත් කළ යුතුය. ඔබේ නිවෙසට ප්‍රාණ ශක්තිය ඇතුළු වන ස්ථානයේ මෙම ලුණු පෙරහනයක් ආකාරයට ක්‍රියාකරනු ලබයි. විශේෂයෙන්ම මෙම ලුණු මාස හතරකට වරක්වත් ඉවත් කොට අලුතෙන් එකතු කරන්න. එමෙන්ම වැසිකිළි වළ මතුපිට දුඹුරු පාට ආලේප කිරීමද සිදු කළ හැකිය.

ගිනිකොන දිශාව

පංචමහා භූතයන්ගෙන් තේජෝ ගුණය ගිනිාකාන දිශාව සමඟ සම්බන්ධ වේ. තේජෝ යන්න ගින්දරයි. ගින්දර යන්න තාපය, උෂ්ණත්වය, ශක්තිය වගේම පරිවෘත්තීය ක්‍රියාවලිය, ආහාර ජීර්ණය වැනි දේවල් නිරූපණය කරයි. ඒ වගේම වැසිකිළි වළක් ගත්විට එහි පවතින්නේ අපද්‍රව්‍ය සහ ජලයයි. වර්තමානය වන විට පාලනය කරගත හැකි වුවත් එය දුර්ගන්ධයකින් යුක්තය. එවැනි කාරණා මේ තේජෝ ගුණයට විවිධ බාධා එල්ල කරනු ලබයි. ඔබට වෙනත් විකල්පයක් නොමැතිනම් පමණක් ඔබ මෙම දිශාව වැසිකිළි වළ ඉදිකිරීමට යොදාගත යුතුය. ඒ කෙසේ වෙතත් ඔබේ ඉඩමේ ගිනිකොන මුල්ල හෝ නිවෙසේ ගිනිකොන මුල්ල හසුවන ආකාරයට වැසිකිළි වළ සැකසීම නොකළ යුතුය. ගිනිකොන දිශාවේ වැසිකිළි වළ පවතීනම් එයට පිළියමක් ලෙස නිවෙස තුළ ගිනිකොන දිශාවේ අග්නි යන්ත්‍රය තැන්පත් කළ හැකිය. එයින් නිවැසියන්ට වන බලපෑම අවම කරගත හැකිය. ඊට අමතරව වැසිකිළි වළ ආසන්නයේ පවතින බල්බයට රතු හෝ තැඹිලි වර්ණයක් භාවිත කොට රාත්‍රියේ එය දල්වා තැබීම සිදුකළ හැකිය.

උතුරු දිශාව සහ නැඟෙනහිර දිශාව

මෙම දිශාවන් දෙකද වැසිකිළි වළ සඳහා සුදුසු දිශාවන් නොවේ. උතුරු දිශාව යනු කුබේර දෙවියන්ගේ දිශාවයි. එනම් ධනයට අධිපති සහ නව අවස්ථා උදාකර දෙන දෙවියන්ය. උතුරු දිශාවේ පවතින වැසිකිළි වළ නිරිත, ඊසාන දිශාවල තරම් මාරාන්තික දෝෂ ඇති නොකරයි. එහෙත් ධනය විනාශ කිරීම, ආදායම් මාර්ග අවහිර කිරීම, ආදායම අක්‍රමවත් කිරීම සහ නව අවස්ථාවන් උදාවීම වළක්වනු ලබයි. වෙනත් කිසිදු විකල්පයක් නොමැතිනම් උතුරු දිශාවේ වයඹට ආසන්නව වැසිකිළි වළ ඉදිකළ හැකිය. හරියටම උතුරේ මැද වැසිකිළි වළ ඉදි නොකළ යුතුය. උතුරු දිශාවේ වැසිකිළි වළට පිළියම් ලෙස කුබේර යන්ත්‍රය නිවෙස තුළ තැන්පත් කළ හැකිය. නැතිනම් කුබේර දෙවියන්ගේ ප්‍රතිමාවක්, මනිප්ලාන්ට් යන ශාකය උතුරු දිශාවේ තැන්පත් කළ හැකිය.

නැඟෙනහිර දිශාව උදෑසන සූර්යාලෝකයත් සමඟ අපට ජීව ශක්තිය ලබා දෙනු ලබයි. නැඟෙනහිර දිශාවේ වැසිකිළි වලක් පවතීනම් නිවැසියන්ගේ දියුණුවට, සමාජ තත්ත්වයට බාධා එල්ල වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට, කුඩා දරුවන්ගේ වර්ධනයට, වැඩිහිටි අයගේ සෞඛ්‍ය තත්ත්වයට බාධා ඇතිවිය හැකිය. මෙයටද විකල්පයක් නොමැතිනම් ගිනිකොනට ආසන්නව වැසිකිළි වළක් ඉදිකරගත හැකිය. ඒ අනුව උතුරු දිශාවේ සහ නැගෙනහිර දිශාවේ වැසිකිළි වලක් පවතීනම් තවත් ඉදිකිරීම් කොට නැතිනම් විශාල ගස් වවා ඇත්නම් එම ප්‍රදේශය තවත් අවහිර නොකළ යුතුය. හොඳින් ස්වභාවික ආලෝකය එම කලාපයට ලැබීමට ඉඩ සැලැස්විය යුතුය. නැගෙනහිර දිශාවේ වැසිකිළි වලක් පවතීනම් නිවෙස තුළ සූර්ය යන්ත්‍රය තබා එයින් ඇතිවන බලපෑම් අවම කරගත හැකිය.

දකුණු දිශාව

දකුණු දිශාව වැසිකිළි වළ සෑදීමේදී මධ්‍යම ප්‍රතිඵල ගෙන දෙන දිශාවකි. නමුත් එහිදී ස්ථානය හරියාකාරව තහවුරු කරගත යුතුය. දකුණේ මධ්‍යයේ සිට ගිනිකොන දිශාවට ආසන්නව වැසිකිළි වළ ඉදිකළ හැකිය. කිසිම හේතුවක් නිසා එහිදී නිරිතට ආසන්න වන ආකාරයට වැසිකිළි වළ ඉදි නොකළ යුතුය. ඒ අනුව දකුණු දිශාව හරියාකාරව භාවිතා කළ හැකිය. වැසිකිළි වළේ වතුර පහසුවෙන් පොළොවට උරා නොගන්නේනම් පොළොව යට වතුර උනන ස්වභාවයක් පවතීනම් අප දකුණු දිශාවත් වැසිකිළි වළ සඳහ භාවිතා නොකළ යුතුය.

වයඹ දිශාව

පංචමහා භූතයන්ගෙන් වායෝ ධාතුව මෙම වයඹ දිශාව සමඟ සම්බන්ධ වේ. වැසිකිළි වළකට සුදුසුම දිශාව වන්නේ මෙම දිශාවයි. අෂ්ටදිග්පාල දේවතාවන්ගෙන් වායු දේවතාව වයඹ දිශාවට අධිපති දේවතාවයි. වායු යන්න වාතය, සුළඟ, චලනය, වේගය වැනි දේවල් නිරූපණය කරනු ලබයි. වායු දේවතාවගේ වාහනය ලෙස මුවා තෝරාගෙන ඇත්තේද මෙම වේගය, චලනය, කඩිසරකම වැනි දේවල් නිරූපණය කිරීමටය. හනුමාන් මෙම වායු දේවතාවගේ පුත්‍රයෙකු ලෙස සලකනු ලබයි. හනුමාන්ට වායු පුත්‍ර, පවන් පුත්‍ර වැනි නම් ලැබී ඇත්තේද මේ හේතුන් නිසාවෙනි. මෙම කරුණු මඟින් වයඹ දිශාවත්, වාතයත් අතර ඇති සම්බන්ධය පැහැදිලි වනු ඇත. ඒ අනුව වයඹ දිශාවෙහි වැසිකිළි වළ ඉදිකිරීමෙන් එහි අපද්‍රව්‍යවල පවතින ඍණාත්මක ශක්තීන් ඉතාම ඉක්මනින් ඔබේ නිවෙසින් ඉවත් කර දමයි. ඒ අනුව වැසිකිළිය සඳහා වයඹ යන්න සුදුසු දිශාවකි. එයිනුත් බස්නාහිරට ආසන්නව ඉතා සුව කලාපයන් පිහිටනු ලබයි.

බස්නාහිර දිශාව

වයඹ දිශාව භාවිත කිරීමට නොහැකි අවස්ථාවලදී විකල්පයක් ලෙස බස්නාහිර දිශාව භාවිත කළ හැකිය. බස්නාහිර දිශාව මධ්‍යම ප්‍රතිඵල ගෙන දෙන සීමා සහිත කලාපයකි. නමුත් බස්නාහිර කලාපයට අපද්‍රව්‍ය, අපජලය, ආවරණය වූ ජල මූලාශ්‍ර කළමනාකරණය කිරීමේ හැකියාවක් පවතී. බස්නාහිර දිශාවෙත් වයඹට ආසන්නව සකස් කිරීම සිදුකළ යුතු වන අතර කිසිම විටෙක නිරිතට ආසන්න නොවිය යුතුය.

වාස්තු පිරමීඩ

වාස්තු පිරමීඩ ඕනෑම වැසිකිළි වළක පවතින දෝෂයක් අවම කරගැනීමට භාවිත කළ හැකිය. නිවෙස තුළ වැසිකිළි වළ ආසන්න කෙළවරෙහි මෙම පිරමීඩ තැන්පත් කළ යුතුය. ඊට අමතරව ඉහතින් සඳහන් කළ ලුණු පිළියම ද ඕනෑම දිශාවක පවතින දෝෂ අවම කර ගැනීමට භාවිත කළ හැකිය. වැසිකිළි වළෙන් දුර්ගන්ධයක් වහනය වේ නම් මැටි පහනක් ඇතුළත කරාබු නැටි තුනක් සමඟ කපුරු පත්තු කිරීමෙන් එම දෝෂය අවම කරගත හැකිය. වැසිකිළි වළ කුමන ස්ථානයේ පැවතියද එහි අවට පිරිසුදුකම පිළිබඳව අප සැලකිලිමත් වීම වැදගත් වේ.

 

 

TEXT – ඉරේෂා ගුණසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?