Monday, April 13, 2026
Epaper
Home විශේෂාංගපිත්තෙන් සහ පරිපාලනයෙන් දස්කම් පෑ රෝහිනිගේ ක්‍රිකට් චාරිකාව

පිත්තෙන් සහ පරිපාලනයෙන් දස්කම් පෑ රෝහිනිගේ ක්‍රිකට් චාරිකාව

by Shanaka Lakehouse

ශ්‍රී ලාංකික අපට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තොරව ක්‍රීඩාවක් ගෙන කතා කළ නොහැකි තරම්. ඒ තරමටම ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව බාල, තරුණ, මහලු මේ ඕනෑම වයස සීමාවක පසුවන කෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන්නේ නොමඳ ළැදියාවකි. පිරිමි ක්‍රිකට් කණ්ඩායමට සේම කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද මේ ආදරය එක ලෙස විහිදෙන අතර විශේෂයෙන්ම පසුගිය වකවානුවේ මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයන් සමඟ ඒ ආදරය බොහෝ වැඩි විය.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කතා කිරීමේදී වර්තමාන ක්‍රීඩා කණ්ඩායම සේම අතීතයේ දී ඵ් වෙනුවෙන් අධිතාලම දැමු කාන්තා චරිත පිළිබඳ කතා නොකරම බැහැ. එහිදී ක්‍රීඩිකාවන්ට අමතරව පුහුණුකාරිනිය, පරිපාලන කටයුතුවල නියැළෙන්නියන් ආදි වශයෙන් මේ වෙනුවෙන් දහඩිය හෙළන, වෙහෙස මහන්සි වන චරිත ද බොහෝමයි. රෝහිනි ප්‍රනාන්දු ද එවැන්නියකි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම හිටපු ලේකම්වරිය වූ ඇය වර්තමානයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනියයි. ඊට අමතරව ඇය ශ්‍රී ලංකාවේ පළමු වතාවට කාන්තා ක්‍රිකට් විනිසුරුවරියන් හඳුන්වා දුන්නියකි. වසර ගණනාවක් තම ජීවිතයම කාන්තා ක්‍රිකට් වෙනුවෙන් කැපකළ ඇය අද ද ක්‍රීඩාවට දක්ෂ දරුවන් කරළියට රැගෙන එන්නට ඇප කැප වන්නීය.

වර්තමානයේ පරිපාලනමය වෘත්තියක නියැළුණත් අසූව දශකයේ ඔබ දක්ෂ ක්‍රීඩිකාවක්. ඉතින් අපි මුලින්ම ඒ අතීත මතකාවර්ජන යෙදෙමුද?

“මගේ උපන් ගම වත්තල. යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් සහ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනයි ලද මා පාසල් කාලයේදීමයිි ක්‍රීඩාවට ඇලුම් කළේ. දිවීම් පැනීම්වලට අමතරව නෙට්බෝල් ක්‍රීඩාවටත්, සයිකල් පැදීමටත් මා එක ලෙස දක්ෂතා දැක්වූවා. ඒ නිසාම පාසල් අධ්‍යාපනය හමාරව රැකියාවකට යොමු වෙනවාත් සමඟම බ්ලුම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වී ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ඊට අමතරව පාපන්දු සහ පැසි පන්දු ක්‍රීඩාවෙත් යෙදුණා. මගේ මුල්ම ක්‍රීඩා ගුරුවරයා වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වූ ජයන්ත සෙනෙවිරත්න මහතා.

ඊට පස්සේ මම කොළඹ හත නොමැඩ්ස් ක්‍රිකට් සමාජයේ වගේම BRC කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙත් නායකත්වය දැරුවා. මොරටු ක්‍රීඩා සමාජයෙත් ආරම්භක ක්‍රීඩා නායිකාව මමයි. ලංකාවේ මුල්ම වතාවට කාන්තා ක්‍රිකට් ජාතික සංගමයකින් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි වුණොත් මම නායකත්වය දැරූ කණ්ඩායමටයි.

මේ අතරතුර නේද ඔබේ මැදිහත් වීමෙන් කාන්තා ක්‍රිකට් සංගමයක් බිහිවෙන්නෙත්.

ඔව්. ලංකාවේ මුල්ම වතාවට කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ජාතික සංගමයක් බිහිකරන්නට මට හැකියාව ලැබුණා. එහි නිර්මාතෘ වගේම ප්‍රධාන ලේකම් ලෙසත් කටයුතු කළේ මමයි. එය නම් කළේ “ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමය” ලෙසින්.

මේ හරහා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් බොහෝ දේවල් කරන්නට අපට හැකියාව ලැබුණා. විවිධ තරග සංවිධානය, පුහුණු කඳවුරු පැවැත්වීම, විදෙස් රටවලින් මේ රටට පුහුණුකරුවන් ගෙන්වා අපේ දියණියන්ගේ දක්ෂතා ඔප් නැංවීම හැකිවීම වැනි කටයුතු බොහෝමයක් ඉටු කරන්නට අපට හැකියාව ලැබුණා. ඒ සියල්ලටම අමතරව පිහිටක් ඇවැසි අය, ගැබිනි මවුවරුන් ආදීන් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් බෙදා දීම, ශිෂ්‍යත්වය සමත් දරුවන් වෙනුවෙන් තිළිණ සහ සහතිකපත් පිරිනැමීම ආදී බොහෝ ප්‍රජා සත්කාර සිදුකරන්නට මේ හරහා අපට හැකියාව ලැබුණා.

මේ විදිහට ක්‍රීඩාවේ විවිධ පෙරළිකාරකම් කරන්නට ඔබට සහය දුන් අය ගැනත් සඳහන් කරමු.

ඔව්. ඒ මගේ මව සහ පියා. විශේෂයෙන්ම මගේ පියා එම්. රිචඩ් ප්‍රනාන්දු, ඔහු හිටපු අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම් කෙනෙක්. ඔහුගෙන් ලැබුණු දිරිගැන්වීම මට අමතක කරන්නම බැහැ.

මේ වන විට ඔබ පාසල් දරුවන්ගේ ක්‍රීඩා කටයුතුවලටත් සම්බන්ධයි.

මම ජාත්‍යන්තර පාසලක සංවර්ධන නිලධාරිනියක ලෙසින් වාගේම එහි ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකාරිනිය ලෙස ද කටයුතු කරනවා. එයට පෙර මේ පාසල් දරුවන්ගේ ක්‍රීඩා කටයුතු වගේම එයාලගේ විනය භාර ගුරුතුමිය ලෙසත් කටයුතු කළා. ක්‍රීඩාව හරහා දරුවන්ගේ විනය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඉන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

වර්තමානයේ ගැහැනු දරුවන් ක්‍රීඩාවට යොමුවීමේ අඩුවක් පෙනෙවාද?

නැහැ. අතීතයට සාපේක්ෂව වර්තමානයේ ගැහැනු දරුවන් ක්‍රීඩාවට යොමු වීම ඉතා ඉහළයි. එදාට වඩා අද දරුවන්ට හිමිවන අවස්ථාත් වැඩියි. විවිධ තරග පුහුණුවීම්, දිරිගැන්වීම් මේ හැමදේම නිසා අතීතයට වඩා හොඳ ප්‍රවණතාවක් තියෙනවා කියලයි මම දකින්නේ.

ක්‍රීඩාවට කැමැති දියණියන්ට, ක්‍රීඩාවේ නියැළී සිටින දරුවන් සිටින මවුවරුන්ට මොකක්ද ඔබට කියන්න දෙන්න තියෙන පණිවුඩය.

ඔබ යම් ක්‍රීඩාවකට කැමැතියි නම්, යම් දක්ෂතාවයක් තියෙනවා නම් ඉදිරියට පා නඟන්න පසුබට වෙන්න එපා. අතීතයේ වගේ නොවෙයි දැන් ඕනේ තරම් අවස්ථා තියෙනවා. උනන්දුව සහ කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ. පුහුණුවීම්, සම්මන්ත්‍රණ, විවිධ තරගාවලි සඳහා සහභාගීත්වය මේ සියල්ල හරහා ඔබට ඉදිරියට යන්න හැකි වේවි. මවුවරුනි ඔබේ දියණිය ක්‍රීඩාවට දක්ෂ නම්, එහි ඉදිරියට යන්න ඇය කැමැත්තක් දක්වන්නේ නම් ඔබේ සහයෝගය ඇයට ලබා දෙන්න. ඇය ලෝකය දිනනවා සිකුරුයි.

 

TEXT – චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?