වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රධානතම සහ බරපතළ අභියෝගය වන්නේ ශීඝ්‍රයෙන් සිදුවන පාරිසරික විපර්යාසයන්ය. ගෝලීය උණුසුම ඉහළ යාම, දේශගු ණික විපර්යාස සහ ස්වාභාවික සම්පත් ශීඝ්‍රයෙන් ක්ෂය වීම හමුවේ මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා “තිරසාරභාවය” යන්න හුදෙක් වචනයකට පමණක් සීමා නොවූ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.
මෙම තත්ත්වය හමුවේ ලොව පුරා සෑම ක්ෂේත්‍රයක්ම තම කාර්යයන් පරිසර හිතකාමී ලෙස ප්‍රතිසංස්කරණය කරමින් සිටින අතර, පුස්තකාල ක්ෂේත්‍රය ද ඒ සඳහා නව්‍ය මාවතක් විවර කර තිබේ. ඒ අනුව බිහි වූ “හරිත පුස්තකාල” සංකල්පය නූතන සමාජයේ තිරසර සංවර්ධනය උදෙසා ඉටු කරන්නේ සුවිශේෂී මෙහෙවරකි.
හරිත පුස්තකාලයක් යනු හුදෙක් ගසක් යට ඇති හෝ ගහකොළවලින් වට වූ ගොඩනැඟිල්ලක් පමණක්ම නොවේ. එය පුස්තකාල ගොඩනැඟිල්ල සැලසුම් කිරීමේ සිට එහි දෛනික ක්‍රියාකාරකම් සහ සේවාවන් දක්වා වූ සෑම අංශයකදීම පරිසරයට සිදුවන හානිය අවම වන ලෙස සකස් වූ පද්ධතියකි. මෙම සංකල්පයේ මූලික අරමුණ වන්නේ දැනුම බෙදා හැරීමේ ක්‍රියාවලිය සොබාදහමට එරෙහිව නොව, සොබාදහම සමඟ සොබාදහමට සිදුවන හානිය අවම වන මට්ටමින් සිදු කිරීමයි.
හරිත පුස්තකාලයක භෞතික ව්‍යූහය දෙස බැලීමේදී එහි ඇති සුවිශේෂී බව කැපීපෙනේ. නවීන හරිත පුස්තකාල නිර්මාණය කර ඇත්තේ ස්වාභාවික ආලෝකය සහ වාතාශ්‍රය උපරිමයෙන් ලබා ගත හැකි වන පරිදිය. එමඟින් විදුලිය පිරිමැසීම පමණක් නොව, කියවන්නාට වඩාත් සුවපහසු සහ මානසික නිදහසක් සහිත වටපිටාවක් ද නිර්මාණය වේ. බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සූර්ය පැනල භාවිත කිරීම, වැසි ජලය රැස් කර නැවත භාවිත කිරීමේ පද්ධති ස්ථාපනය කිරීම සහ ගොඩනැඟිල්ල සිසිල්ව තබා ගැනීම සඳහා වහලය මත වගා කරන ලද “හරිත වහල” යොදා ගැනීම මෙහි දැකිය හැකි තාක්ෂණික අංගයන්ය.
එහෙත්, හරිත පුස්තකාලයක සැබෑ වටිනාකම රැඳී ඇත්තේ එහි ගොඩනැඟිල්ල මතම පමණක් නොවේ. එහි ක්‍රියා පටිපාටිය තුළ “තිරසරභාවය” මනාව පිළිබිඹුු වේ. සාම්ප්‍රදායික පුස්තකාලවල විශාල වශයෙන් සිදුවන කඩදාසි භාවිතය අවම කරමින් විද්‍යුත් පොත්, විද්‍යුත් සඟරා සහ ඩිජිටල් තොරතුරු මූලාශ්‍ර ප්‍රචලිත කිරීම හරිත පුස්තකාලයක ප්‍රධාන වගකීමකි. එමෙන්ම, පවතින පොත්පත් පවා දිගුකාලීනව භාවිත කළ හැකි ලෙස සංරක්ෂණය කිරීම සහ නැවත නැවත භාවිතය කිරීම හරහා සම්පත් නාස්තිය අවම කෙරේ. පුස්තකාලය තුළ ප්ලාස්ටික් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හෝ අවම කිරීම සහ අපද්‍රව්‍ය නිසි ලෙස ප්‍රතිචක්‍රීයකරණය කිරීම ද මෙම හරිත පුස්තකාල සංකල්පයෙහි එක් අංගයකි.
තවද, හරිත පුස්තකාලයක් යනු සමාජය තුළ පාරිසරික සාක්ෂරතාව එනම් පරිසරය පිළිබඳව ඇති දැනුම ගොඩනඟන ප්‍රධානතම කේන්ද්‍රස්ථානයයි. වර්තමාන දරුවන්ට සහ තරුණ පරපුරට පරිසර සුරැකීමේ ඇති වැදගත්කම කියා දීම සඳහා මෙවැනි පුස්තකාල සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරයි. කාබනික ගෙවතු වගාව, බලශක්තිය සුරැකීමේ ක්‍රම, පරිසර හිතකාමී නිෂ්පාදන නිෙවසේදීම සකස් කරගන්නා ආකාරය වැනි ප්‍රායෝගික වැඩමුළු හරහා පුස්තකාලය මහජනතාව දැනුවත් කරයි. මේ තුළින් පුස්තකාලය යනු හුදෙක් පොත් රාක්ක පිරුණු තැනක් නොව, වඩාත් යහපත් සහ තිරසර සමාජයක් වෙනුවෙන් මිනිස් ආකල්ප වෙනස් කරන තෝතැන්නක් බවට පත්වේ.
මෙම හරිත සංකල්පය මහා පරිමාණ පුස්තකාලවලට පමණක් සීමා විය යුතු නැත. අපේ නිවෙස්වල අප පවත්වාගෙන යන කුඩා පුස්තකාල පවා හරිත සංකල්පයට අනුව සකස් කරගත හැකිය. පොත් රාක්ක සඳහා ප්ලාස්ටික් වෙනුවට දැව හෝ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය යොදා ගැනීම, ස්වාභාවික ආලෝකය ලැබෙන සේ පොත් කියවන ස්ථානය සකසා ගැනීම සහ අවට පරිසරයට ගහකොළ එක් කිරීම ඒ සඳහා වන සරල පියවරයන්ය. දරුවෙකුට කුඩා කල සිටම පරිසර හිතකාමී කියවීමේ පරිසරයක් ලබා දීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ද මහඟු පිටිවහලක් වනු ඇත.
අවසාන වශයෙන්, හරිත පුස්තකාලයක් යනු හෙට දවසේ දරුවන් වෙනුවෙන් අප ඉතිරි කළ යුතු වටිනාම උරුමයකි. දැනුම යනු ආයුධයක් නම්, එම ආයුධය පරිසරය විනාශ කිරීමට නොව පරිසරය සුරැකීමට භාවිත කළ යුතුය. සොබාදහම සහ දැනුම එකට යා වන තැන ආදර්ශවත් සමාජයක් බිහි වේ. එබැවින් හරිත පුස්තකාල සංකල්පයට අනුගත වීම යනු පෘථිවියේ හෙට දවස සුරක්ෂිත කිරීම වෙනුවෙන් අප තබන දැවැන්ත පියවරකි. අපේ නිවෙසින්, පාසලින් හෝ සමාජයෙන් ඇරඹෙන මෙම හරිත සංකල්පය තිරසර අනාගතයකට මඟ කියනු නොඅනුමානය.
TEXT – රොෂානි ලක්මිණි
පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
