සෑම දරුවකුගේම සුන්දර සිනහව පිටුපස ඇති ප්‍රධානතම රහස වන්නේ ඔවුන්ගේ මුඛ සෞඛ්‍යයයි. බොහෝ මවුපියන් කිරිදත් යනු කලකදී හැලී යන දත් පෙළක් ලෙස සලකා ඒවායේ සෞඛ්‍යය පිළිබඳ දක්වන්නේ අඩු අවධානයකි. එහෙත්, දරුවකුගේ හකු අස්ථිවල මනා වර්ධනයට, පැහැදිලි කථනයට මෙන්ම ස්ථිර දත් පෙළ නිසි පරිදි මතු වීමට කිරිදත්වලින් ලැබෙන දායකත්වය අතිමහත්ය. දිරාගිය කිරිදත් දරුවකුගේ පෝෂණයට පමණක් නොව, ඔවුන්ගේ ආත්ම විශ්වාසයටද තදින්ම බලපායි. කුඩා අවධියේදීම නිවැරදි මුඛ සෞඛ්‍ය පුරුදු ඇති කිරීම මඟින් අනාගතයේදී ඇති විය හැකි සංකීර්ණ දන්ත ගැටලු රැසක් වළක්වා ගත හැකිය.
කිරි දත් දිරායාම දරුවකුගේ හකු අස්ථි වර්ධනයට සහ දරුවාගේ ආත්ම විශ්වාසයට බලපාන්නේ කෙසේද?
කිරිදත් නියමිත වයස්වලදී එනම් අවුරුදු 6 සිට 12 දක්වා ක්‍රමානුකූලව හැලීම සිදු වනවා. එහි නියමිත කාලය වනතෙක් කිරිදත් ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. ආහාර ගැනීම, පැහැදිලි කථනය, හනුවල මනා වර්ධනය, ස්ථිර දත් සඳහා ඉඩ අවකාශ රඳවා ගෙන සිටීම ඒ අතර ප්‍රධාන කාර්ය වේ. එමෙන්ම කුඩා දරුවකුට ආහාර කුඩා කැබලි බවට කඩා ගැනීම, ඇඹරීම කිරිදත්වලින් සිදු වෙනවා. එය මනා ආහාර ජීර්ණයකට වැදගත්. ඒ වගේම පැහැදිලි කථනය සඳහා ද කිරිදත් අවශ්‍ය වේ. කිරිදත් අහිමි වීම තුළින් ඇතැම් ශබ්ද නිවැරදිව කතා කිරීමට නොහැකි වීමට පුළුවනි. හනුවල මනා වර්ධනය සඳහා කිරිදත් අදාළ කාලයත් පැවතීම ඉතා වැදගත්ය.
ස්ථිර දත් සඳහා ඉඩ අවකාශය රඳවාගෙන සිටීම කිරිදත්වල ප්‍රධානම කාර්යයකි. එමෙන්ම නියමිත කාලයට කලින් කිරිදත් අහිමි වූවහොත් ස්ථිර දත් මුඛය යට මතුවීම ස්වාභාවික ලෙස සිදුවීම වෙනස් වෙනවා. එය පසුකාලීනව විකලංක දන්ත ප්‍රතිකාර සඳහා යොමු වීම දක්වා සිදු විය හැකියි. ප්‍රසන්න පෙනුම කුඩා දරුවකුට ඉතා වැදගත්. ඔවුන් පෙර පාසල් වයසේ පසුවන දරුවන් වීම නිසා කිරිදත් අහිමි වීම තුළ හෝ කිරි දත් ව්‍යසන තුළින් සම වයස් දරුවන්ගේ සමච්චලයට ලක්වීමටද පුළුවනි. කිරිදත්වල නිතර කුහර ඇතිවීම දරුවාට නිතර වේදනාව ගෙන දීමක් විය හැකිය. එහිදී ඉගෙනීමේ කටයුතු අඩාළ වීම, නිසි ලෙස ආහාර නොගැනීම හා පෝෂණ ගැටලු මතුවීමටද ඉඩ තිබේ.
දරුවකුගේ දත් මැදීම ආරම්භ කළ යුත්තේ කවර වයසේදීද, ඒ සඳහා ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිත කළ යුතු නිවැරදි ප්‍රමාණය කොපමණද?
ළදරුවාට පළමු දත මතු වූ දා සිටම දත් මැදීම ආරම්භ කළ යුතුය. ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් තුනී පටලයක් ලෙස එනම්, සහල් ඇටයක ප්‍රමාණයක් මෘදු කෙඳි සහිත දත් බුරුසුවක ආධාරයෙන් දත් මැදීම පටන් ගත යුතුය. දිනකට උදේ සහ සවස දත් මැදීම සිදු කළ යුතුය. ළදරුවාට රාත්‍රි නින්දේදී මවුකිරි දීම හැකි පමණ අවම කළ යුතු අතර එසේ කරන්නේ නම් කිරි දීමෙන් අනතුරුව පිරිසුදු තෙත රෙදි කැබැල්ලකින් මුඛය පිරිසුදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. දරුවාට දත් මැදීමෙන් පසුව කෙළ ගැසීමට අවුරුදු එකේ දෙකේ සිටම පුරුදු කළ යුතුය. අවුරුදු තුනේ සිට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කිරීම සිදු කළ යුතුය. අවුරුදු තුන දක්වා සහල් ඇටයක ප්‍රමාණයක් තුනී පටලයක් ලෙස ගෙන මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම සිදු කළ යුතුයි. අවුරුදු තුනේ සිට හය දක්වා ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපය මුං ඇටයක ප්‍රමාණයක්ද, හයේ සිට වැඩිහිටි වයස් දක්වා කඩල ඇටයක ප්‍රමාණයක්ද භාවිත කළ යුතුයි. වයස අවුරුදු හතර පහ වන විට දරුවාට තනිවම මැදීම පුරුදු කළ යුතුය.
පැණිරස ආහාර සහ බීම වර්ග නිසා දත්වල එනමලය විනාශ වී දත් දිරායාම සිදු වන්නේ කුමන ක්‍රියාවලියකින්ද?
දත් දිරා යෑම සඳහා ප්‍රධාන සාධක හතරක් බලපානවා. ප්‍රධානව මුඛය තුළ පවතින දත, මුඛයේ සිටින බැක්ටීරියා, කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර සහ කාලය යන මෙම සාධක හතරෙන් අපට පාලනය කළ හැකි සාධක ලෙස කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර සහ එය දත මත රැඳී පවතින කාලය සඳහන් කරන්න පුළුවන්. ඒ සාධක දෙකම අපට පාලනය කිරීමට හැකිය. එහිදී කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වන පැණි රස ටොෆි, චොකලට්, බිස්කට් ඒ සියල්ලම අවසානයේ මුඛයේ පවතින බැක්ටීරියා මඟින් ජීරණයකට ලක් කර අම්ල වර්ග නිෂ්පාදනය කරයි. එම නිෂ්පාදනය කරන අම්ල නීරෝගි දතේ එනමලය මත ක්‍රියාකාරි වී එනමලයේ තිබෙන කැල්සියම් ඉවත් කිරීම සිදු කරයි. එමඟින් දත දිරා යාම ආරම්භ කරයි. මෙම ක්‍රියාවලිය දිගටම සිදුවීම තුළින් කිරිදත අහිමි වීම සිදුවීමට පුළුවනි. එහිදී පැණි රස භාවිතය අවම කිරීම හා දවසට දෙවරක් දත් මැදීම තුළින් එය අවම කර ගැනීමට පුළුවනි. පැණි රස මුඛයේ රැඳී පවතින කාලය අවම කිරීම තුළින් දන්ත ව්‍යසන අවම කර ගත හැකිය. මුඛය තුළ ආම්ලිකතාව ඉතා දිගු කාලයක් පවතින විට දතෙහි එනමලය දියවීම ඉතා ශීසුයෙන් සිදුවේ. එය අවම කර ගැනීමට අවම වශයෙන්ම දවසට දෙවරක් උදේ සහ රාත්‍රී වශයෙන් දත් මැදීම සිදු කළ යුතුය.
දත් දිරායාම වළක්වා ගැනීමට මවුපියන් වගබලා ගත යුතු කරුණු මෙන්ම දරුවකු ප්‍රථම වරට දන්ත වෛද්‍යවරයකුට පෙන්විය යුත්තේ කවදාද?
කිරිදත් නීරෝගිව පවත්වා ගැනීමට කාරණා කීපයක් වැදගත් වෙනවා. පළමුවෙන්ම දරුවාට දත් මැදීම ඉතා සැහැල්ලුවෙන් සහ සතුටෙන් සිදු කරන ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. දත් මැදීමේදී “Brush – Book – Bed” යන ආකාරයට ක්‍රමය හඳුන්වාදීම දරුවකුට දත් මැදීම සතුටින් සිදු කිරීමට උපකාරි වෙනවා. දත් මැදීමෙන් පසුව පොතක් කියවීම හා පොතක් කියවීමෙන් පසුව නින්දට යාම යන “Brush – Book – Bed” යන ආකාරය හඳුන්වා දීම කරන්න පුළුවන්. දරුවාට පැණි රස ආහාර හඳුන්වාදීම හැකි පමණ පමා කළ යුතුය. පැණි රස ආහාර දෙන්නේ නම් ඒවා ප්‍රධාන ආහාර වේලට පසුව පමණක් ලබා දීම වැදගත්. ප්‍රධාන ආහාර වේල්වලට අමතරව පැණි රස ලබා දීම සිදු නොකළ යුතුය. වයස අවුරුදු එකේ සිට දන්ත වෛද්‍යවරයකුට දරුවාගේ දත් පෙන්වීම කළ යුතුය. එසේම දරුවා අනිසි බිය ගැන්වීම්වලට ලක් නොකළ යුතුය. මවුපියන්ගේ දන්ත ප්‍රතිකාර කෙරෙහි ඇති අත්දැකීම් දරුවාට පැවසීම නොකළ යුතුය. දන්ත වෛද්‍ය උපදෙස් මත ෆ්ලෝරයිඩ් ආලේප කිරීම සිදු කළ යුතුය. ෆ්ලෝරයිඩ් මඟින් දත මත කැල්සියම් ලවණ තැන්පත් කිරීමේ වේගය වැඩි කරයි. දතෙන් කැල්සියම් ඉවත් වීම අඩු කරයි. එනමලය මත ෆ්ලෝරෝ ඇපටයිට් යන සංයෝගය සාදා දත් දිරායාම අවම කිරීම සිදු කරයි. දත් කුහර ඇති කරන බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් ෆ්ලෝරයිඩ් තුළ පවතී. මේ ආකාරයේ පුරුදු මඟින් කිරි දත් නීරෝගිව පවත්වා ගැනීමට හැකියාවක් ලැබේ.
TEXT – අමාෂා හේවගේ
