කලකට ඉහත ‘සිනමාවට හොරා අංකල්’ සිනමා නිර්මාණය හරහා ප්‍රේක්ෂක අවධානය දිනාගත් හර්ෂණ වික්‍රමසිංහයන්ගේ නවතම ටෙලි නිර්මාණය වන “දෙමං ඇල්ම” රූපගත කිරීම් පසුගියදා ආරම්භ විය. වගකීමෙන් සහ විශ්වසනීයත්වයෙන් සුරැකිය යුතු පවුල් කුටුම්බයන් මෙන්ම, ව්‍යාපාරික ජීවිතයේ කාර්යබහුලත්වය හා අනවබෝධය නිසා විසිරී යන ආදර සබඳතා සහ පවුල් සංස්ථාවන් පිළිබඳව දිගහැරෙන කාලෝචිත සිදුවීම් මාලාවක් මෙයට පදනම් වී ඇත.
අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයට අනුව නිමැවෙන මෙහි රංගනයෙන් චමීර ලියනගේ, චානුක ප්‍රබුද්ධ, ආශ් නුෂේන්, මොරින් චාරුණි, ඩිස්නි රාජපක්ෂ, ධර්මප්‍රිය ඩයස්, ගයාත්‍රී ඩයස්, ශිරාන් යට්ටෝවිට, හේෂරාවී වරංගනා, හෂාන් රත්නායක, දුනිෂා හෙට්ටිආරච්චි, රොමෙන් අශ්විද, ඉෂාර වික්‍රමසිංහ, ප්‍රමිලා තෙනුජනා සහ චානි විමලසූරිය ඇතුළු පිරිසක් දායක වෙති.
චින්තක සෝමකීර්තිගේ කැමරාකරණයෙන් සහ නවරත්න ගමගේ සංගීත නිර්මාණයෙන් හැඩවන මෙම ටෙලි සිත්තම සඳහා අමිල ප්‍රේමරත්න සහය අධ්‍යක්ෂණයෙන්ද, අරුණ ජයවර්ධන රේඛීය නිෂ්පාදනයෙන්ද, ගිහාන් ගයන්ත පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන්ද එක් වෙති. එමෙන්ම ප්‍රියංක රත්නායකගේ අංග රචනයෙන්, දිලීප විජිතශාන්ගේ කලා අධ්‍යක්ෂණයෙන් සහ රොෂාන් අනිල් පෙරේරාගේ ඇඳුම් නිර්මාණයෙන් වර්ණවත් වන “දෙමං ඇල්ම”, අමල් ජයශංක සමඟින් සංජය ක්‍රිෂාන්ත එක්ව නිෂ්පාදනය කර ඇත. පවුල් ජීවිතය පිළිබඳ අලුත් කියවීමක් රැගෙන එන මෙම නිර්මාණය ඉතා ඉක්මනින් පුංචි තිරයට පැමිණීමට නියමිතය.
