මෑත කාලීනව මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ අසංක සායක්කාරගේ ‘කොටු’ ටෙලි නිර්මාණය, සිනමා සිත්තමක් ලෙස එළිදැක්වීමේ මූලික අඩිතාලම පසුගියදා රත්මලාන සිරස ස්ටයින් මැදිරි
සංකීර්ණයේදී වැටුණි. මහරාජා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් වන මෙහි මුහුරත් උලෙළ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
අධ්‍යක්ෂවරයා පවසන පරිදි මෙය ටෙලි නාට්‍යයේම දිගුවක් නොව, එහි සන්දර්භය පදනම් කරගනිමින් නිර්මාණය වන නැවුම් කතා පුවතකි. සම්පූර්ණයෙන්ම ‘බ්ලැක් කොමඩි’ ශානරයෙන් නිමවන මෙම චිත්‍රපටය සඳහා සම්පත් ජයවීර, ඉසුරංග ජයකුමාර, ධර්මප්‍රිය ඩයස්, සරත් කොතලාවල, ජයනි සේනානායක, හිමාලි සයුරංගි සහ ජගත් චමිල ඇතුළු ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසක් දායක වෙති.
නිර්මාණයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ තාක්ෂණික ශිල්පීන් පිරිසක් එක්ව සිටින අතර, සජිත වීරප්පෙරුම කැමරා අධ්‍යක්ෂණයෙන් ද, චින්තක ජයකොඩි සංගීත අධ්‍යක්ෂණයෙන් ද, ලක්රුවන් ද සේරම් සංස්කරණයෙන් ද මෙයට දායකත්වය සපයති. මීට අමතරව මනනුවන් රූපසිංහ අංග රචනයෙන් ද, දේදුණු කළුපහන ඇඳුම් නිර්මාණයෙන් ද, සරත් චන්ද්‍ර කලා අධ්‍යක්ෂණයෙන් ද එක්ව සිටින අතර යසරත් කමල්සිරි විධායක නිෂ්පාදනයෙන් දායක වේ. පුංචි තිරයෙන් ඔබ්බට ගිය මෙම සිනමා අත්දැකීම ඉදිරියේදී දිවයින පුරා ප්‍රදර්ශනය වීමට නියමිතය.
TEXT – මධුර ප්‍රභාත්
