මේ දවස්වල අකුණු අනතුරු නිසා දිනෙන් දින පුවත්වල දකින්න ලැබෙන හරිම සංවේදී පුවතක් තමයි මේ. නිවෙසක් තුළ සුරක්ෂිතව සිටියායැයි සිතන මොහොතක පවා මෙවැනි අනතුරු සිදු වීමෙන්
පෙනී යන්නේ, අකුණු අනතුරු සහ ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව අප සමාජයක් ලෙස මීට වඩා දැනුවත් වී සිටීම අත්‍යවශ්‍ය බවයි.
මෙම ලිපිය මඟින් අකුණු අනතුරු සිදුවන ආකාරය, ඉන් ආරක්ෂා වන ක්‍රම සහ අනතුරකට ලක් වූවකුට ප්‍රථමාධාර ලබා දෙන ආකාරය සරලව පැහැදිලි කරන්න මම උත්සාහ කරන්වා.
අපි බලමු මේ අකුණු ඇති වෙන්නේ කොහොමද කියලා. මේක නම් ගොඩක් අය දන්න දෙයක්.
අකුණු ගැසීම යනු ස්වභාවධර්මයේ සිදුවන දැවැන්ත විද්‍යුත් විසර්ජන ක්‍රියාවලියකි.
වලාකුළු තුළ විද්‍යුත් ආරෝපණ නිර්මාණය වීම:
අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ අහසේ ඇති වන විශාල වලාකුළු තුළ ඇති අයිස් සහ ජල අංශු එකිනෙක ගැටීමෙන් ඝර්ෂණයක් ඇති වේ. මෙහිදී ස්ථිතික විදුලිය නිපදවන අතර, වලාකුළේ ඉහළ කොටසට ධන ආරෝපණත් (+), පහළ කොටසට ඝෘණ ආරෝපණත් (-) එකතු වේ.
විද්‍යුත් විසර්ජනය: වලාකුළේ පහළ ඇති සෘණ ආරෝපණ මගින් පෘථිවි පෘෂ්ඨයේ ඇති ධන ආරෝපණ තමන් වෙත ආකර්ෂණය කර ගනී. මෙම ආරෝපණ දෙක අතර ආකර්ෂණ බලය ඉතා ඉහළ ගිය විට, වාතය හරහා දැවැන්ත විදුලි ධාරාවක් ගමන් කරයි.
අප අකුණක් ලෙස දකින්නේ මෙම ආලෝකය සහ ශක්තියයි. අකුණ වදින දුර අනුව අපට ආලෝකය පෙනෙන කාලය සහ ශබ්දය ඇසෙන වේලාවන් වෙනස් වෙනවා. ගොඩක් දුර අකුණු වදිනවා නම් අපට ආලෝකය ඉස්සෙල්ලම පෙනිලා ටිකක් වෙලා ගිහින් ශබ්දය ඇහෙනවා. මේකට හේතුව තමයි ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි වීම.
නිවෙසක් තුළදී අකුණු වදින්නේ ඇයි?
නිවෙසක් තුළදී අකුණු අනතුරු සිදු වන්නේ ප්‍රධාන වශයෙන් අකුණක විදුලි බලය නිවෙසට ඇතුළු විය හැකි මාර්ග හරහාය.
විදුලි රැහැන් සහ දුරකතන රැහැන්: නිවෙස ආසන්නයේ ඇති විදුලි කණුවකට හෝ රැහැනකට අකුණක් වැදුණු විට, එම දැවැන්ත විදුලි ධාරාව නිවෙසේ වයරින් පද්ධතිය හරහා නිවෙසට පැමිණිය හැකිය.
ජල නළ පද්ධති
ලෝහ ජල නළ සහ ජලය යනු හොඳ විදුලි සන්නායකයන්ය.
කොන්ක්‍රීට් බිත්ති සහ පොළොව: තෙතමනය සහිත බිත්ති සහ ලෝහ කම්බි සහිත කොන්ක්‍රීට් හරහා ද විදුලිය ගමන් කළ හැකිය.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නේ කොහොමද?
අකුණු අනතුරුවලින් සියයට සියයක්ම බේරීමට ක්‍රමයක් නැතත්, නිසි පිළිවෙත් අනුගමනය කිරීමෙන් අවදානම අවම කරගත හැකිය.
නිවෙස තුළ සිටින විට විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න
රූපවාහිනී, පරිගණක වැනි උපකරණවල පේනු (Plugs) ගලවා තබන්න. අකුණු ගසන විට ඒවා ස්පර්ශ නොකරන්න.
ජලය පරිහරණය නොකරන්න ස්නානය කිරීම, පිඟන් සේදීම හෝ ජල කරාම ස්පර්ශ කිරීමෙන් වළකින්න. අකුණු ධාරාවන් ජල නළ හරහා පැමිණිය හැකිය.
බිත්ති සහ ජනෙල්වලින් ඈත් වන්න
බිත්තිවලට හේත්තු වීමෙන් හෝ කොන්ක්‍රීට් පොළොව මත පාවහන් නොමැතිව සිටීමෙන් වළකින්න.
රැහැන් සහිත දුරකතන භාවිත නොකරන්න
ජංගම දුරකතන භාවිතය (චාජරයට සම්බන්ධ කර නොමැති නම්) සාපේක්ෂව ආරක්ෂිත වුවත්, ලෑන්ඩ්ලයින් දුරකතන භාවිතය ඉතා අනතුරුදායකය.
එළිමහනේ සිටින විට
උස ගස් යටට නොයන්න: අකුණු සෑම විටම ආකර්ෂණය වන්නේ අවට ඇති උසම ස්ථානයටය. ගසකට අකුණක් වැදුණු විට ඒ අසල සිටින අයටද එය ගමන් කළ හැකිය.
විවෘත ස්ථානවලින් ඉවත් වන්න
පිට්ටනි, වෙල් යාය හෝ ජලාශවල සිටී නම් වහාම ආරක්ෂිත ගොඩනැඟිල්ලකට හෝ සම්පූර්ණයෙන් ආවරණය වූ වාහනයකට යන්න.
ලෝහ උපකරණ අන්හැර දමන්න: කුඩ, උදලු, බයිසිකල් වැනි ලෝහමය දේවලින් ඈත් වන්න.
අකුණු අනතුරකට ලක් වූ පුද්ගලයකුට ප්‍රථමාධාර ලබා දීම සිදු කරන්නේ කොහොමද?
අකුණු සැර වැදුණු පුද්ගලයකු දුටු විට බොහෝ දෙනා බියට පත්වන්නේ රෝගියාගේ ශරීරයේ විදුලිය රැඳී ඇතැයි සිතාය. නමුත් එය මුළුමනින්ම වැරදි මතයකි. මිනිස් සිරුර විදුලිය ගබඩා කර තබා ගන්නේ නැත. එමනිසා බියකින් තොරව ඔවුන්ට උපකාර කළ හැකිය.
ආරක්ෂාව තහවුරු කරගන්න අනතුර සිදු වූ ස්ථානය තවමත් අනතුරුදායකදැයි බලන්න. අවශ්‍ය නම් පමණක් රෝගියාව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න. වහාම 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අමතන්න.
ශ්වසනය සහ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීම
අකුණු සැර වැදීමකදී සිදුවන ප්‍රධානතම මරණීය තත්ත්වය වන්නේ හදවත නැවතීමයි. රෝගියා හුස්ම ගන්නේ නැත්නම් සහ නාඩි වැටෙන්නේ නැත්නම්, වහාම CPR ලබා දීම ආරම්භ කරන්න. පපුව මැද තද කිරීම් සිදු කිරීමෙන් මොළයට රුධිරය සැපයීම අඛණ්ඩව පවත්වා ගත හැකිය.
පිලිස්සුම් තුවාලවලට ප්‍රතිකාර කිරීම
අකුණ සිරුරට ඇතුළු වූ සහ පිටවූ ස්ථානවල දරුණු පිලිස්සුම් තුවාල ඇති විය හැක. එම ස්ථාන පිරිසුදු රෙදි කඩකින් ලිහිල්ව ආවරණය කරන්න. කිසිවිටෙකත් ආලේපන වර්ග ගැල්වීමෙන් වළකින්න.
කම්පනය සඳහා ප්‍රථමාධාර
උඩුබැලි අතට හාන්සි කර කකුල් මඳක් ඔසවා තබන්න. මෙයින් හදවතට සහ මොළයට රුධිරය ගමන් කිරීම පහසු කරයි. රෝගියාට සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙව්ලීම ඇත්නම් උණුසුම්ව තබා ගැනීමට පොරවනයක් භාවිත කරන්න.
ශාරීරික අස්ථි බිඳීම් පරීක්ෂා කිරීම
අකුණු සැර වැදීමේදී ඇති වන කම්පනය නිසා රෝගියා විසිවී ගොස් අස්ථි බිඳීම් සිදු විය හැකිය. එබැවින් රෝගියාව අනවශ්‍ය ලෙස සෙලවීමෙන් වළකින්න.
මෙවැනි ස්වාභාවික විපත් වළක්වා ගත නොහැකි වුවත්, නිවැරදි දැනුවත්භාවය තුළින් වටිනා ජීවිත බේරා ගැනීමට අපට හැකියාව ඇත. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඔබගේත් ඔබගේ පවුලේ අයගේත් ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න.
