Wednesday, June 10, 2026
Epaper
Home විශේෂාංගචීනයේ Man Mums ප්‍රවණතාවය

චීනයේ Man Mums ප්‍රවණතාවය

by Shanaka Lakehouse

නූතන ලෝකය තාක්ෂණිකව කොතරම් දියුණු වූවත් මිනිස් හදවත් එකිනෙකාගෙන් දුරස් බවත්, මිනිසා සමාජය තුළ හුදකලා වී ඇති බවත් පෙන්වීමට අපූරු සාක්ෂියක් චීනයෙන් වාර්තා වේ.

පසුගිය වසර දෙක අතර කාලයේ වඩාත් ජනප්‍රිය වූ මෙය “Man Mums” ලෙස හැඳින්විය හැකිය. එය විලාසිතාවක් පමණක් නොව, නූතන සමාජයේ හුදකලාව සහ මානසික ආතතිය පෙන්වන ගැඹුරු කියවීමකි. මුල් කාලයේදී ‘Man Mum’ යන පදය ශාරීරිකව ශක්තිමත්, හැඩිදැඩි පිරිමින් හැඳින්වීමට භාවිත වුවද, අද වන විට එහි අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. අද චීනයේ Man Mum කෙනකු යනු ශක්තියට වඩා මෘදු බවත්, පෞරුෂයට වඩා කාරුණික බවත් පෙන්වන පුද්ගලයෙකි. මොවුන් පිරිමින් වුවද, මවකගෙන් ලැබෙන පෝෂණීය රැකවරණය, සන්සුන් බව සහ මානසික සහයෝගය ලබා දීමට සූදානම් පුද්ගලයන් ලෙස සමාජය හඳුනා ගනී. මෙය වඩාත් ජනප්‍රිය වීමට පටන් ගත්තේ විදේශ රටවල තරුණයින් “ඔබ ආතතියෙන් සිටී නම් මාව වැලැඳගන්න” ලෙස කාඩ්බෝඩ්වල ලියා මාර්ගයේ සිටීම දැකීමෙනි. එහිදී බොහෝ විට තරුණියන් මෙම තරුණයන්ව වැලඳ ගැනීමට පෙලඹෙනු දක්නට ලැබුණි.

එමෙන්ම විශ්වවිද්‍යාල සිසුවියක විසින් තම ආතතිය අඩු කර ගැනීමට සරල වැලඳ ගැනීමක් (hug) ලබා ගැනීමට මුදල් ගෙවීමට කැමැති බව සඳහන් කළ පෝස්ට් එකක් (post) වයිරල් (viral) වීමත් සමඟ, මෙය වේගයෙන් පැතිර ගියේය. එය විශේෂයෙන්ම අධ්‍යාපනික සහ වෘත්තීය පීඩනවලට මුහුණ දෙන තරුණ කාන්තාවන් අතර ජනප්‍රිය විය.

චීනය විසින් මෙය වෘත්තීයමය තත්ත්වයක් දක්වා වර්ධනය කර තිබේ. මෙහිදී තරුණ කාන්තාවන් කෙටි කාලයක් සඳහා පිරිමින්ට මුදල් ගෙවා සනසනසුලු “hug” එකක් ලබා ගැනීමේ ක්‍රියාවලියක් සිදුවේ. සාමාන්‍යයෙන් මෙම සේවාව සමාජ මාධ්‍ය හෝ මැසෙන්ජර් ඇප්ස් (messaging apps) මඟින් සකස් කර ගනී. කාන්තාවක් “Man Mum” කෙනකු සම්බන්ධ කරගෙන, වේලාවක් හා ස්ථානයක් තීරණය කරයි. ඉන්පසු, යුවාන් 20 සිට 50 අතර සුළු මුදලක් ගෙවා මිනිත්තු 5ක් පමණ පවතින වැලඳ ගැනීමක් ලබා ගනී. ආරක්ෂාව සඳහා, මෙම හමුවීම් බොහෝ විට පොදු ස්ථානවල, උදාහරණයක් ලෙස උද්‍යාන, සාප්පු සංකීර්ණ (shopping malls), හෝ මෙට්‍රෝ (subway) ස්ථානවල සිදු වේ.

මෙහි වැදගත්ම කරුණක් වන්නේ මෙය ආදරය හෝ ශාරීරික සම්බන්ධතාවයක් පිළිබඳ නොවීමයි. මෙය ම්පූර්ණයෙන්ම ආත්මීය සහ මානසික සැනසිල්ලක් ලබා දීමට පමණක් සිදුවේ. මෙම වැලඳ ගැනීම්වලට සීමාවන් ඇත. මුදල් ගෙවීම මගින් මෙම සීමාවන් පැහැදිලි වන අතර, දෙපාර්ශ්වය අතර අවබෝධයක් ඇති කර ගනිමින් මෙම ක්‍රියාවලිය සිදු වන අතර කිසිදු විටෙක දෙපාර්ශ්වයෙන් කවුරුන් හෝ සීමාවෙන් පිට යෑමක් සිදු නොවේ.

මෙම ප්‍රවණතාව චීනයේ පමණක් නොව සමස්ත සමාජයේම විශාල ගැටලු කිහිපයක් පෙන්වා දෙයි. නාගරීකරණය, උසස් තරගකාරී අධ්‍යාපන පද්ධතිය සහ කාර්යබහුල ජීවන රටාවන් හේතුවෙන් තරුණයන් අතර ආතතිය සහ තනිවීම වැඩි වී ඇත. ඩිජිටල් සම්බන්ධතා තිබුණද, සැබෑ මානව සම්බන්ධතා අඩුවීමක් දක්නට ලැබේ. “Man Mums” ප්‍රවණතාව මෙම හිඩැස පුරවන්නට උත්සාහ කරන සරල ක්‍රමයක් ලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත් මෙයින් පැහැදිලි වන්නේ ආදරය වැනි මෘදු හැඟීම් පවා අනාගතයේදී මිල මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවන බවයි. සමාජය කොතරම් නම් තාක්ෂණය තුළ කාර්යබහුල වී ඇත්ද යන වග ද මෙයින් මනාව පැහැදිලි වේ.

තවද, මෙය පුරුෂත්වය පිළිබඳ සම්ප්‍රදායික අදහස්වලට ද අභියෝගයක් වේ. පුරුෂයන් සන්සුන් සහ මෘදු හැඟීම් නොපෙන්වන ලෙස සමාජයෙන් බලාපොරොත්තු වුවද, මෙම ප්‍රවණතාව සංවේදනය, කාරුණිකත්වය සහ චිත්තවේගීය සහයෝගය වැනි ගුණාංගයන් නිරූපණය කරයි. එමඟින් සමාජය තුළ ස්ත්‍රී පුරුෂ යන භූමිකාවන් පිළිබඳ නව දෘෂ්ටියක් ද ඇති කරයි.

මිනිස් සමාජයක සබඳතා වාණිජකරණය වීම සමාජයක පිරිහීමක ලක්ෂණයක් බව ඇතැමුන් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, මෙයට සහය දක්වන පිරිස පවසන්නේ මෙය කිසිවකුට හානියක් නොවන, නූතන මානසික අවපාතයට ඇති සහනයක් බවයි. චීනයේ “Man Mums” යනු හුදෙක් සිනහවට ලක් කළ යුතු දෙයක් නොවේ. එයින් කියවෙන්නේ දියුණු යැයි සම්මත ලෝකයක මිනිසා අත්විඳින අාධ්‍යාත්මික හිස්තැනය. තාක්ෂණය දියුණු වුවද, අවසානයේ මිනිසාට අවශ්‍ය වන්නේ තමන්ව තේරුම් ගන්නා, තමන්ට ඇහුම්කන් දෙන තවත් මිනිසකුගේ උණුසුම පමණක් බව මෙම ප්‍රවණතාව අපට මතක් කර දෙයි.

 

TEXT – වර්ෂා සමරසිංහ කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?