අද වන විට ලංකාවේ කාන්තාවන්ගේ සෞඛ්‍යය ගැන කතා කරන ප්‍රවණතාවය යම්තාක් දුරට වැඩි වුවත්, තවමත් කතා කරන්නේ නැති ගොඩක් ගැටලු අපි අතර තියෙනවා. ඉතින් ඒ නිසා අදත් ඒ වගේ
දෙයක් ඔයාලා එක්ක කතා කරන්න මම හිතුවා.
මේක ඇත්තටම ගොඩක් කාන්තාවන්ට බලපාන, ඒත් ඒ අයට කතා කරන්න ලැජ්ජා හිතෙන ප්‍රධාන සෞඛ්‍ය තත්ත්වයක්. ඒ තමයි මූත්‍රා පිටවීම පාලනය කරගන්න බැරිවීම එහෙමත් නැත්නම් යුරිනරි ඉන්කන්ටිනන්ස් (Urinary Incontinence) කියන තත්ත්වය.
ගොඩක් අය හිතන්නේ මේක වයසට යනවත් එක්ක “සාමාන්‍යයෙන්” ඇතිවන දෙයක් කියලා. තවත් සමහරු හිතනවා දරු ප්‍රසූතියෙන් පස්සේ එහෙම වෙනවා කියලා. ඒ නිසා ගොඩක් කාන්තාවෝ මේ ගැන වෛද්‍ය උපදෙස් ලබාගන්නේ නැහැ. ඒත් ඇත්තටම මේක ඔයාගේ ජීවිතයට සෘජුවම බලපාන සෞඛ්‍ය ගැටලුවක්. මොකද ලංකාව ඇතුළේ කරලා තියෙන අධ්‍යයනවලට අනුව බැලුවම, මැදි වයසේ අය වගේම වැඩිහිටි කාන්තාවන් අතරත් මෙම තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් ඇතිවෙලා තියෙනවා. නමුත් ඒ කාන්තාවන්ගෙන් විශාල පිරිසක් ප්‍රතිකාර ලබාගන්නේ නැහැ. හේතුව තමයි ලැජ්ජාව සහ මේ ගැන හරියට අවබෝධයක් නැතිකම.
මතක තියාගන්න, මේක ශාරීරික අපහසුතාවයක් විතරක්ම වෙන්නේ නැහැ. මේක ඔයාගේ මානසික සෞඛ්‍යයට, ආත්ම විශ්වාසයට, සමාජ ජීවිතයට, රැකියාවට වගේම පවුල් සබඳතාවලට පවා බලපාන්න පුළුවන් තත්ත්වයක්.
කොහොමහරි වැදගත්ම දේ තමයි, මේක ප්‍රතිකාර කරලා සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම ඔයා ජීවත් වන රටාවේ වෙනස්කම් ඇති කරලා මේ තත්ත්වය පාලනය කරගන්නත් ඔයාට පුළුවන්.
ඉතින් ඒ නිසා අද අපි මේ ගැන විවෘතව කතා කරන්න යන්නේ. “කාන්තාවන්ට මේක වැඩිපුර බලපාන්නේ ඇයි?”, “මේ තත්ත්වය ඇතිවෙන්න බලපාන හේතු මොනවාද?”, “මේක වළක්වාගන්න පුළුවන්ද?”, “නිසි ප්‍රතිකාර මොනවාද?” වගේ වැදගත් කරුණු ගොඩක් අද අපි අර්කා සංවිධානයේ උපදේශිකාවක් වන, සත්‍යානි වෑවිට වෛද්‍යතුමිය එක්ක කතා කරලාම දැනගමු.
මුලින්ම අපිට කියන්නකෝ “Urinary Incontinence” කියන්නේ මොකක්ද කියලා?
සරලවම කිව්වොත්, තමන්ට අවශ්‍ය නැති අවස්ථාවල මූත්‍රා පිටවීම පාලනය කරගන්න බැරිවෙන එක තමයි මේ යුරිනරි ඉන්කන්ටිනන්ස් කියන්නේ. මේ තත්ත්වය ඕනෑම වයසක කාන්තාවකට ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්. හැබැයි විශේෂයෙන්ම දරු ප්‍රසූතියෙන් පස්සේ, ආර්තවහරණයෙන් පස්සේ සහ වයස වැඩිවීමත් එක්ක මේ තත්ත්වය වැඩි වශයෙන් කාන්තාවන් අතර දකින්න පුළුවන්.
එතකොට මේ තත්ත්වය කාන්තාවන්ට විතරද ඇතිවෙන්නේ?
නැහැ පිරිමි අයටත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. පිරිමි අය වයසට යනවත් එක්කම එයාලගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථිය විශාල වෙන්න ගන්නවා. ඒ නිසා එයාලගේ මූත්‍රාා මාර්ගය තෙරපීමකට ලක්වෙලා මූත්‍රාා පිටවීම පාලනය අඩාළ වෙන්න පුළුවන්. මේක එක ප්‍රධාන හේතුවක් විතරයි. හැබැයි ඉතින් බහුලවම මේ තත්ත්වය ඇතිවෙන්නේ කාන්තාවන්ට. ඒකට හේතු කීපයක්ම තියෙනවා. ප්‍රධානම හේතුව තමයි කාන්තාවන්ගේ ශ්‍රෝණි කුහරයේ මාංශ පේශි දුර්වල වීම. ඒ වගේම ගර්භිණීභාවය වගේම දරු ප්‍රසූතියත් මේකට තවත් එක හේතුවක් වෙනවා. මොකද දරුවගේ බරයි, ප්‍රසූතියේදී එන පීඩනයයි නිසා මාංශ පේශි ඇදීමකට ලක් වෙනවා.
අනිත් කාරණය තමා ආර්තවහරණය (Menopause) කියන්නේ. මෙතැනදී ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවෙන නිසා මූත්‍රා මාර්ගයේ පටක දුර්වල වෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ මූත්‍රාා මාර්ගය කෙටි නිසා මූත්‍රා පිටවීම පාලනය කිරීමේ හැකියාව පීඩනයකදී අඩුවෙන්න පුළුවන්කමක් තියෙනවා.
මේ තත්ත්වයේ තව වර්ග තියෙනවාද ඩොක්ටර්?
ඔව් බහුලවම තියෙන ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ආතති මූත්‍රා අකර්මන්‍යතාව (Stress Incontinence): මෙතැනදී වෙන්නේ ඔයාට කැස්සක්, හිනාවක්, කිවිසුමක්, දිවීමක් හෝ බරක් ඔසවන කොට මූත්‍රා ස්වල්පයක් පිටවෙන එක.
හදිසි මූත්‍රා අකර්මන්‍යතාව (Urge Incontinence): මෙතැනදී වෙන්නේ හදිසියේ ඔයාට මූත්‍රා කරන්න දැඩි අවශ්‍යතාවයක් ඇතිවීම වගේම වැසිකිළියට යන්න කලින් මූත්‍රා පිටවීම.
එතකොට මේ තත්ත්වයන් ඇතිවෙන්න බලපාන අවදානම් සාධක මොනවා හරි තියෙනවාද?
ඔව් එකක් තමා අධික ශරීර බර. මොකද ඔයාගේ ශරීරයේ බර වැඩිවෙනකොට ශ්‍රෝණි මාංශ පේශි මත වැඩි පීඩනයක් ඇතිවෙනවා. අනිත් එක නිදන්ගත කැස්ස. දුම්පානය, ඇදුම වගේ තත්ත්වයන් නිසා හැදෙන නිතර කැස්සෙනුත් මාංශ පේශි දුර්වල කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මලබද්ධය තියෙනවා නම්, නිතර තැටමීම නිසා ශ්‍රෝණි මාංශ පේශි දුර්වල වෙන්න පුළුවන් නිසා මේ තත්ත්වය ඇතිවෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම දියවැඩියාව තියෙන කෙනෙක්ටත්, ස්නායු දුර්වල වීම නිසා මූත්‍රා පාලනය අපහසු වෙන්න පුළුවන්.
තව කාරණයක් තමයි ඔයා පාවිච්චි කරන සමහර ඖෂධ නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ රුධිර පීඩනය පාලනය කරන ඖෂධ, ඒ වගේම Diuretics වැනි ඖෂධවලිනුත් මූත්‍රා පිටවීම වැඩි කරන්න පුළුවන්කම තියෙනවා.
මේ තත්ත්වය අපිට නිට්ටාවටම සුව කරගන්න හැකියාවක් තියෙනවාද?
මේක නිට්ටාවටම සුව කරන්න පුළුවන් හැබැයි සමහර පාලනය කරන්න බැරි තත්ත්වයන් තියෙන අයට මේ තත්ත්වය විතරක් පාලනය කරගන්නත් ඕනෑ තරම් ක්‍රම දැන් තියෙනවා. ඔයාට පුළුවන් කීගල් එක්සර්සයිස් (Kegel exercises) එහෙමත් නැත්නම් ශ්‍රෝණි මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් නියමිත වෙලාවකට වැසිකිළියට යන්න පුරුදු වෙලා (Bladder training) ඔයාගේ මූත්‍රාශය ඒකට පුහුණු කරන්න. තව තේ, කෝපි, පැණිබීම, මත්පැන් එහෙමත් පාලනයක් ඇතුව පාවිච්චි කරන්නම ඕනෑ. ඊට අමතරව භෞතචිකිත්සක ප්‍රතිකාර (Physiotherapy), ශරීර බර පාලනය (Body weight control) වගේම හෝමෝන ප්‍රතිකාර සහ ශල්‍යකර්මවලිනුත් මේ තත්ත්වය අපිට පාලනය කරන්න පුළුවන්.
මේ තත්ත්වය ඇතිවෙච්ච කෙනෙක් කොයි වගේ වෙලාවකදීද ප්‍රතිකාර ගන්න එන්න ඕනෑ?
ඔව් විශේෂයෙන්ම ඔයාට මූත්‍රාා එක්ක රුධිරය යනවා නම්, දැවිල්ල හෝ වේදනාවක් ඇතිවෙනවා නම්, ඒක ඔයාගේ එදිනෙදා ජීවිතයට බාධාවක් කියලා හිතෙනවා නම්, නිතර මූත්‍රාා ආසාදන ඇතිවෙනවා නම්, මූත්‍රා පිටවීම පාලනය කරන්න සම්පූර්ණයෙන්ම අපහසු නම් ඔයා ඒ වගේ වෙලාවලදී අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර ලබාගන්න ඕනෑ.
අපේ කාන්තාවන්ට දෙන්න තියෙන උපදෙස මොකක්ද?
මට කියන්න තියෙන්නේ මේක වයසට යනවත් එක්ක උරුම වෙන දෙයක් කියලා සාමාන්‍යකරණය කරගෙන දුක් විඳින්න එපා කියලා. ඒ වගේම මූත්‍රාා පිටවෙයි කියලා ඇතිවෙන බයත් එක්ක ඔයා බොන වතුර ප්‍රමාණය අඩු කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මූත්‍රාා සාන්ද්‍රණය වැඩි වෙලා මූත්‍රාාශය තවදුරටත් උත්තේජනය වෙන එක විතරයි. ඒ නිසා දවසට ඔයාට අවශ්‍ය වන වතුර ප්‍රමාණය ඔයා අනිවාර්යයෙන්ම බොන්න ඕනෑ.
ඒ වගේම මේ තත්ත්වය සඳහාම හදපු ඉන්කන්ටිනන්ස් පෑඩ්ස් (Incontinence pads) තියෙනවා. මේවා ඔයාට පාවිච්චි කරලා සමේ ඇතිවන ආසාත්මිකතා, දුර්ගන්ධය වගේ දේවල් පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයෙන් පෙළෙන කෙනෙක් නම් ඔයා තවදුරටත් ඒ ගැන ලැජ්ජා වෙන්නවත්, දුක් වෙන්නවත් ඕනෑ නැහැ. ලෝකෙ ඉන්න මිලියන ගණන් කාන්තාවන්ට තියෙන හරිම සාමාන්‍ය තත්ත්වයක් මේක.
ඉතින් පේනවනේ, ඔයා ඔයාගේ සෞඛ්‍යය ගැන කතා කරන්න කොයිම වෙලාවකවත් බයවෙන්නවත්, ලැජ්ජා වෙන්නවත් එපා. මොකද ඔයාගේ සිරුරෙන් ඔයාට දෙන සංඥා ඔයා හිතාමතා මඟහරිනවා නම්, නිවිසැනසිල්ලේ පසුතැවෙන්න ඒකත් එක හේතුවක් වෙයි.
TEXT – මැන්ඩි සිල්වා
