පිළිකාව කල්තියා හඳුනා ගමු: සුවපත් දිවියක් ගත කරමු
“පිළිකාව” කියන වචනය ඇහෙන විටත් මරණ බිය ඇතිවුණු කාලය දැන් බොහෝ දුරට හමාරයි. වර්තමාන ලෝකයේ ඇති අති නවීන වෛද්‍ය පහසුකම්, ප්‍රතිකාර ක්‍රම සහ ගුණාත්මක ඖෂධ නිසා මිනිසාට වැලඳෙන බොහොමයක් පිළිකා කල්තියා හඳුනාගත් විට සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකියි. විශේෂයෙන්ම කාන්තාවන්ට ඇතිවන පියයුරු පිළිකා, ගැබ්ගෙළ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා සහ මුඛ පිළිකා කල්තියා හඳුනාගත් විට නිසි ප්‍රතිකාර සහ යහපත් ජීවන චර්යාවන් පවත්වා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකියි.
ඔබට ඔබේ ශරීරයේ කිසියම් ස්ථානයක පිළිකාවක් ඇතිවීමේ ලක්ෂණ පහළ වී තිබේද? එසේ නම් ඒවා කල් ඇතිව හඳුනාගන්නේ කෙසේද? ඒ සඳහා ඔබ යා යුත්තේ කවර රෝහලකටද? යන කරුණු සෑම පුද්ගලයකුම දැන සිටීම වැදගත්.
වර්තමානය වන විට ලංකාවේ කොළඹ ජාතික රෝහල, මහරගම අපේක්ෂා රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල, මාතර, අකුරැස්ස, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල්වල ද පහසුකම් සහිත පිළිකා වෛද්‍ය සායන පැවැත්වේ.
අගනුවර හෝ මහරගම අපේක්ෂා රෝහල් වෙත එකවරම පැමිණෙනවාට වඩා ඔබ පදිංචිව සිටින ප්‍රදේශයට වඩාත් ළඟින් පිහිටි එම පිළිකා සායන වෙත යාමෙන් පිළිකාවක් ඇතැයි සැක කරන ලක්ෂණ හෝ අවදානම් සාධක සහිත ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම අවශ්‍ය කරන සියලුම පරීක්ෂණ ඉතා සාර්ථකව කර ගැනීමට හැකි වේ. දිවයිනේ බොහෝ පෙදෙස්වලින් විශාල පිරිසක් අගනුවර හෝ මහරගම රෝහල් වෙත පැමිණීම නිසා ඇතිවන විශාල තදබදය හෝ පොරොත්තු ලේඛනවල රැඳී සිටීමේ අවශ්‍යතාවක් එකී ප්‍රාදේශීය රෝහල් වෙත යාමෙන් ජනතාවට සිදු නොවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි විශේෂඥ ප්‍රජා වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙරට පිළිකා රෝගීන්ගේ ව්‍යාප්තිය හා වර්තමාන ශ්‍රී ලංකාවේ පිළිකා රෝග මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික පිළිකා මර්දන වැඩසටහන් මඟින් ඉටු කෙරෙන කාර්යභාරය පිළිබඳ විමසා බැලීමට අපි ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි මහත්මිය හමු වූයෙමු. ඇය පවසන පරිදි වර්ෂ 2022 ජාතික පිළිකා ලේඛන දත්ත අනුව මෙරට රෝහල් හරහා අලුතින් හඳුනාගත් ලියාපදිංචි පිළිකා රෝගීන් සංඛ්‍යාව 35,855කි. දිනකට ලියාපදිංචි වන පිළිකා රෝගීන් සංඛ්‍යාව 109කි. 2022 ජාතික පිළිකා ලේඛනයට අනුව දැනට වාර්තා වන සමස්ත පිළිකා රෝගීන් අතරින් කාන්තාවන් 19,457කි. පිරිමින් 16,398කි.
වර්තමානයේ ලෝකය පුරා වර්ධනය වන බෝ නොවන රෝග අතරින් පිළිකාවට මුල් තැනක් හිමි වේ. නූතන වෛද්‍ය පරීක්ෂණ පහසුකම් වැඩි නිසා මෙන්ම රෝගය පිළිබඳ ජනතාව තුළ ඇති දැනුම පෙරට වඩා වැඩි නිසා ද රෝගීන් වැඩිදුර වාර්තා වේ. එහෙත් මෙම දත්ත හුදෙක් රජයේ හෝ පෞද්ගලික අංශයේ රෝහල්වල ලියාපදිංචි වන රෝගීන් සංඛ්‍යාව පමණක් වන බවත්, නොදැනුවත්කම නිසා හෝ රෝහල් වෙත නොයන, විකල්ප වෛද්‍ය ප්‍රතිකාර ලබන හෝ නිවෙස්වල රැඳී සිටින රෝගීන් සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව වෛද්‍ය හසරැලි පවසයි.
පිළිකාව බහුවිධ සාධක මත ඇතිවන රෝගයකි.
අතීතයේදී නියම පරීක්ෂණ, වෛද්‍ය ප්‍රතිකාර හෝ ඖෂධවල හිඟය නිසා පිළිකාව මාරාන්තික රෝගයක් ලෙස සැලකුණ ද, වර්තමානය වන විට බොහෝ පිළිකා කල් ඇතිව හඳුනාගත් විට නිසි ප්‍රතිකාර මඟින් සුව කළ හැකියි. ලංකාවේ හඳුනාගනු ලබන පිළිකා අතර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදුවේ වැලඳෙන බහුලතම පිළිකාව වන්නේ මුඛ පිළිකාවය. දෙවනුව මහා අන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාය. තෙවනුව පෙනහළු පිළිකා වාර්තා වේ. මහා අන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා මෙතෙක් තුන්වැනි ස්ථානයට වාර්තා වූ අතර දැන් එය දෙවැනි ස්ථානයට පත්වී තිබේ. එහෙත් මෙම පිළිකා සම්බන්ධ සුබදායී කාරණය වන්නේ කල් ඇතිව හඳුනාගත් විට මේවා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වීමය.
මෙකී පිළිකා පසුගිය කාලයේ වැඩිපුර වාර්තා වූයේ වයස අවුරුදු පනහට වැඩි ස්ත්‍රී පුරුෂ කාණ්ඩය අතරය. වර්තමානය වන විට මේ තත්ත්වය වයස අවුරුදු හතළිහ සහ ඊට අඩු තරුණ පිරිස අතර ද දක්නට ලැබේ. මෙම පිළිකා සඳහා වැඩි වශයෙන් බලපානුයේ ජානමය හේතු සහ මහා අන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත විවිධ රෝග පැවතීමය. මේ හැර කෘත්‍රිම ක්ෂණික ආහාර වැඩිපුර ගැනීම, රතු මස් (හරක්, ඌරු මස් වැනි) වැඩිපුර ගැනීම, පෙර පිසින ලද හෝ සකස් කරන ලද ආහාර වැඩිපුර ගැනීම වැනි කරුණු ද හේතු වේ.
මුඛ පිළිකා සඳහා මූලිකව බලපානුයේ පුවක් සහ දුම්කොළ භාවිතයයි.
බුලත් හා පුවක් ලාංකීය සංස්කෘතිය හා බැඳී තිබීම ද, පහසුවෙන් ලබාගත හැකි වීම ද වක්‍රව ඊට හේතු වේ. වර්තමානය වන විට පුවක් ආශ්‍රිතව නිපදවනු ලබන ‘බාබුල් බීඩා’ වැනි නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීමට හැකි වීමෙන් අගනුවර හා තදාසන්න ප්‍රදේශවල ද, ප්‍රධාන නාගරාශ්‍රිතව පිහිටි පාසල් අසල කඩවල මේවා අලෙවි කිරීම නිසා ද පාසල් සිසුන් අතර මුඛ පිළිකා වාර්තා වේ. වසරකට වාර්තා වන නව මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව 3,013කි. විශේෂත්වය වන්නේ මුඛ පිළිකාව වෙනත් පිළිකා මෙන් නොව පුවක් හා දුම්කොළ භාවිතයෙන් තොර වීමෙන් වළක්වා ගත හැකි වීමයි.
පෙනහළු පිළිකා මාරාන්තිකය
පෙනහළු පිළිකාවට බලපාන හේතු අතර 88%ක්ම දුම්බීමෙන් ඊට ගොදුරු වේ. දවසකට නව රෝගීන් 89ක් හඳුනාගනු ලබන අතර දිනකට වාර්තා වන මරණ සංඛ්‍යාව 9කි. මහා අන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාවට ගොදුරු වන නව රෝගීන් වසරකට 1,564ක් වාර්තා වේ. මෙම සංඛ්‍යාව අනෙකුත් පිළිකා සමඟ සංසන්දනය කරන කල වැඩි අගයක් නොවූවත් කල්තියා හඳුනාගත් විට සුව කළ හැකිය.
කාන්තාවන් අතර බහුලතම පිළිකාව පියයුරු පිළිකාවය.
ලෝකය පුරාම තත්ත්වය ද එසේය. වසරකට නව රෝගීන් 5,447ක් හඳුනාගනු ලැබේ. දිනකට මෙරට වාර්තා වන නව රෝගීන් සංඛ්‍යාව 15කි. සාමාන්‍යයෙන් පියයුරු පිළිකාව වැඩිපුර වාර්තා වන්නේ වයස අවුරුදු පනහට වැඩි කාන්තාවන් අතරය. පියයුරු පිළිකාව ද කල්තියා හඳුනාගත හැකිය. වයස අවුරුදු විස්සෙන් පසුව සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාව කර ගැනීමෙන් පියයුරු පිළිකා මූලික ලක්ෂණ තමන් වෙත ඇත්දැයි හඳුනාගත හැකිය.
බොහෝ දෙනෙකු සිතන්නේ පියයුරු පිළිකාව වැලඳෙන්නේ කාන්තාවන්ට පමණක් කියාය. එහෙත් පිරිමින්ගෙන් සියයට එකක් පමණ ද පියයුරු පිළිකාවට වැලඳේ. ලංකාවේ ද පියයුරු පිළිකාවට ගොදුරු වූවන්ගෙන් 1%ක් පිරිමි වේ. පියයුරු පිළිකාව තමාටම පරීක්ෂා කර පියයුරු හා අවට ගැටිති වැනි අවදානම් සාධක ඇත්දැයි කල්තියා හඳුනාගත හැකිය. එවැනි ලක්ෂණයක් හඳුනාගත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ ළඟම පිහිටි රෝහලක් වෙත ගොස් වැඩිදුර පරීක්ෂා සිදු කරගෙන වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. පියයුරු පිළිකාව ද මාරාන්තිකය. එහෙත් කල්තියා හඳුනාගත් විට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා සුව කළ හැකිය.
2022 ජාතික පිළිකා ලේඛනයට අනුව මෙරට වාර්තා වන පිරිමි රෝගී සංඛ්‍යාව 188කි. වයස අවුරුදු හතළිහට වැඩි සෑම කාන්තාවක මෙන්ම පිළිකා රෝගීන් සහිත පවුල් පසුබිමකින් යුතු පුද්ගලයන් පියයුරු පරීක්ෂාවන් කර ගැනීම වටී. පුහුණුවලත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියක (Public Health Midwife – P.H.M) හෝ පවුල් සෞඛ්‍ය හෙද නිලධාරිනියක (Public Health Nursing Officer – P.H.N.O) වෙත ගොස් සායනික පියයුරු පරීක්ෂාවක් නොමිලේ කරවා ගත හැකිය. මෙම නිලධාරීන් ඔබේ ගමේ රෝහලේදී, සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේදී හෝ සුවනාරි සායනවලදී හමුවිය හැකිය.
මෙරට රෝහල් 1200කට වඩා සුවදිවි සායන පැවැත්වේ. මෙම සායනයකට යෑමෙන් ඔබට පවුල් සෞඛ්‍ය හෙද නිලධාරිනියකගේ උපදෙස් සහ සේවාවන් නොමිලේ ලබාගත හැකිය. නැත්නම් ඉහත සඳහන් කළ රෝහල්වල ඇති පිළිකා සායන හෝ පිළිකා කල්තියා හඳුනාගැනීමේ මධ්‍යස්ථානයක් වෙත යෑමෙන් නොමිලේම සියලු සේවාවන් ලබාගත හැකි වේ. කොළඹ ජාතික රෝහලේ පිළිකා කල් ඇතිව හඳුනාගැනීම සඳහා වන ප්‍රධාන සායනය පිහිටා තිබේ. ඊට අමතරව යාපනය, බදුල්ල, මඩකලපුව, මාතර, අකුරැස්ස සහ රත්නපුර රෝහල්වල ද පිළිකා කල්තියා හඳුනාගැනීමේ සායන පැවැත්වේ. ඉහත සඳහන් කළ ප්‍රදේශ ආශ්‍රිත වාසීන් සෘජුව කොළඹ ප්‍රධාන සායනයට පැමිණෙනු වෙනුවට තම ගම් ප්‍රදේශයට ළඟම පිහිටි රෝහලේ සායනය වෙත යන්නේ නම්, කොළඹ ජාතික රෝහලේ සායනය වෙත පැමිණීමෙන් ඇතිවන රෝගී තදබදය හා දිගු පෝලිම් සහ පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවීම වැනි රෝගීන්ට ඇතිවන අපහසුතා බොහොමයක් අවම කරගන්නට හැකි වෙතැයි වෛද්‍ය හසරැලි පවසයි.
පිළිකා කල්තියා හඳුනාගැනීමේ මධ්‍යස්ථානවලදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ මුඛ පිළිකා සඳහා මුඛ පරීක්ෂාවන් සිදු කර පූර්ව පිළිකා රෝග තත්ත්වයන් හඳුනාගත් රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා යොමු කිරීම, කාන්තාවන්ගේ පියයුරු සහ ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂා කිරීම, අවශ්‍ය රෝගීන් අදාළ සායන වෙත යොමු කිරීම, ස්වයං මුඛ පරීක්ෂාව හා ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කරන ආකාරය කියා දීම, සායනික පියයුරු පරීක්ෂාවන්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සහ මැමෝග්‍රෑම් පරීක්ෂණ සඳහා අවශ්‍ය යොමු කිරීම් සිදු කිරීම වැනි සේවාවන් ලබා දීමය. මේ සියල්ලම නොමිලේම ලබා දීම ද විශේෂත්වයකි.
ගැබ්ගෙල පිළිකාව
ගැබ්ගෙල පිළිකාව සඳහා කල්තියා අදාළ පරීක්ෂණ සිදු කර අවදානම් සාධක වේ නම් ඒවා ඉවත් කර ගැනීමෙන් වළක්වා ගත හැකිය. H.P.V (Human Papilloma Virus) ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීම සඳහා අදාළ එච්.පී.වී. එන්නත් වයස අවුරුදු දහය සම්පූර්ණ කළ ගැහැනු දරුවන්ට පාසල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ලබා දේ. මාස හයක පරතරයක් ඇතුළත එන්නත මාත්‍රා දෙකක් වශයෙන් ලබා දෙන එච්.පී.වී එන්නත නොවරදවා ලබා ගැනීමෙන් ගැහැනු දැරියකට ගැබ්ගෙල පිළිකාව සඳහා ඇති අවදානම් තත්ත්වයෙන් ගැලවිය හැකිය. වයස අවුරුදු දහ අටට අඩු, මෙම එන්නත ලබා නොගත් යුවතියක් වේ නම් තමා වෙසෙන ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සායනය හරහා එම එන්නත ලබා ගැනීම වැදගත් වේ.
2022 ජාතික පිළිකා ලේඛනයට අනුව අලුතින් හඳුනාගනු ලැබූ ගැබ්ගෙල පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 1,226කි. පැප් (Pap) පරීක්ෂණය නිසි කලට සිදු කර ගැනීමෙන් හා එන්නත් නිසි කලට ලබා ගැනීමෙන් ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමේ හැකියාව ඇත. ගැබ්ගෙල පිළිකාවක් පූර්ව පිළිකා තත්ත්වයේ සිට පිළිකාවක් බවට පත්වීම සඳහා සාමාන්‍යයෙන් වසර 10-15ක් පමණ ගත වේ. එබැවින් අදාළ පරීක්ෂණ නිසිකලට සිදු කරගතහොත් අවදානම් සාධක ඇත්නම් ප්‍රතිකාර කිරීමට හා සුව කර ගැනීමට ඇති තරම් කාලයක් තිබේ.
ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මඟින් ගැබ්ගෙල පිළිකාව සඳහා පරීක්ෂාවට ලක් කරනුයේ වයස අවුරුදු 35 සහ 45 යන කාණ්ඩ දෙක පමණි. මේ වයසේ පසුවන සෑම කාන්තාවකම සුවනාරි සායන වෙත ගොස් මෙම පරීක්ෂණ කර ගැනීම වැදගත්ය. මෙම පරීක්ෂණ සඳහා ග්‍රාම නිලධාරීන් හෝ පවුල් සෞඛ්‍ය නිලධාරීන් මඟින් කැඳවීම් සිදු කළත් නැතත්, තමාට ඒ සඳහා අවශ්‍යතාවක් ඇත්නම් සායනය වෙත ගොස් පරීක්ෂණ සිදු කර ගත හැකිය. සුවනාරි සායන මඟින් වයස 35-45 අතර කාන්තාවන් පමණක් පරීක්ෂා කෙරුණ ද, තරුණ වියට පත් ඕනෑම කාන්තාවකට වුව ද අවැසි නම් ඒ සඳහා සුවනාරි සායනයෙන් ඉල්ලීමක් කර පරීක්ෂාව සිදු කරගත හැකිය.
මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා
මෙම පිළිකා අවදානම් සාධක කල්තියා හඳුනාගෙන ඉවත් කිරීමෙන් හෝ ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකිය. පූර්ව පිළිකා ලක්ෂණ පහළ වී පිළිකාවක් බවට පත්වීමට වසර දහයක් පමණ ගතවන හෙයින් කල්තියා පරීක්ෂණවලට බඳුන් වීමටත්, ප්‍රතිකාර කර සුවය ලබාගත හැකි වීමටත් අවස්ථාව ලැබේ.
නිතරම බඩ බුරුලට මල පිටවීම, මලබද්ධය හෝ සාමාන්‍ය මලපහ කිරීමේ රටාවෙහි වෙනස්කම් සති දෙකකට වැඩි කාලයක් එක දිගට පවතී නම් හෝ මලපහ සමඟ රුධිරය පිට වේ නම් වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු විය යුතුය. ඒ සඳහා ළඟම පිහිටි රෝහල් සුවදිවි සායන හෝ ශල්‍ය සායන වෙත යෑම සුදුසුය. මලපහ සමඟ රුධිරය පිටවීම හෝ කළු පැහැයට මලපහ පිටවීම, අර්ශස් රෝග තත්ත්වයක් යැයි සිතා විකල්ප වෙදකම් වෙත යොමු වීමෙන් පිළිකාවක් ඇත්නම් එය වර්ධනය වී ප්‍රතිකාරවලින් සුව කළ නොහැකි තත්ත්වයට පත් විය හැකිය. මේ පිළිකා ඇති අලුතින් හඳුනාගත් කාන්තාවන් සංඛ්‍යාව 1,519ක් ලෙස 2022 ජාතික පිළිකා ලේඛනය දක්වයි.
ආමාශ පිළිකා
ආමාශය ආශ්‍රිත පිළිකා ද කල්තියා හඳුනාගත් විට ප්‍රතිකාර කර සුව කළ හැකිය. ගැස්ට්‍රයිටීස් රෝගය යැයි සිතා විකල්ප ප්‍රතිකාර නොකළ යුතුය. ආහාර දිරවීමේ හෝ උදරයේ අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගත යුතුය. නැත්නම් ළඟම පිහිටි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුය.
TEXT – සාගරිකා දිසානායක
