දශක පහකට අධික කාලයක් සිංහල සිනමාව සිය අසමසම රංගන ප්‍රතිභාවෙන් ඒකාලෝක කළ ඇය, මෙරට සිනමා වංශකතාවේ නොමැකෙන සලකුණයි. මාලිනී ෆොන්සේකා යනු හුදෙක් රූපයෙන් පමණක් නොව, ගැඹුරු මනුෂ්‍ය හැඟීම් මතු කරන විශිෂ්ට රංගන කෞෂල්‍යයකින් පිරිපුන් කලාකාරිනියකි.
ඇයගේ සිනමා දිවියේ ස්වර්ණමය සන්ධිස්ථාන ලෙස සැලකෙන නිර්මාණ ගැන අධ්‍යයනය කරන විට ‘නිධානය’ චිත්‍රපටයේ අයරින් ලෙස ඇය පෑ රංගනය ලාංෙක්ය සිනමාවේ උත්කෘෂ්ටතම අවස්ථාවකි.’බඹරු ඇවිත්’හි හෙලන්ගේ චරිතය හරහා වෙරළබඩ තරුණියකගේ අහිංසකත්වය සහ පීඩනය මැනවින් ඵතුළින් නිරූපණය කළාය.
‘එයා දැන් ලොකු ළමයෙක්’, තාරුණ්‍යයේ සංවේදී හැරවුම් ලක්ෂ්‍යයන් ප්‍රකාශ කිරීමට ඇය දැක්වූ දක්ෂතාව මෙහිදී කැපී පෙනේ.
මාලිනී සතු සුවිශේෂී හැකියාව වන්නේ චරිතයක ආත්මය හඳුනාගෙන, ඇස් දෙකින් සහ සියුම් මුහුණේ ඉරියව්වලින් ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට ඇති හැකියාවයි. ඇය සිනමා සිත්තමකට එක් කරන්නේ අපූර්ව වූ ප්‍රාණවත් බවකි. තරුණ පරපුරේ රංගන ශිල්පිනියන්ට ඇය සැබෑ ආදර්ශයකි. ගැහැනියක සතු ශක්තිය සහ අභිමානය සිය රංගනය හරහා ප්‍රකාශ කළ මාලිනී ෆොන්සේකා, සැබැවින්ම අපේ යුගයේ මහා නිළියයි. ඇයගේ රංගන දිවියේ අමරණීය මතකයන් සහ සිනමා ගමන් මඟ තේමා කරගනිමින් නිර්මාණය වන “රැජිණිය” සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ නවලෝක උත්සව ශාලාවේදී ප්‍රමුඛ පෙළේ කලාකරුවන් රැසක් සමඟ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සිනෙස්ටා පදනමේ සභාපති, ආචාර්ය ජයන්ත ධර්මදාසයන්ගේ නිෂ්පාදනයක් වන ‘රැජිණිය’ අධ්‍යක්ෂණය කරණු ලබන්නේ අරුණ ජයවර්ධනය. තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ ගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් ඇඩම්ස් මැක්ලීන්, අංග රචනය බුවනෙක රණවකගෙන් සහ ඇඳුම් නිර්මාණය ජනක උල්ලඳුපිටි ගෙනි. ආචාර්ය චන්න විජේවර්ධන නර්තන අධ්‍යක්ෂණයෙන් එක්වන ‘රැජිණිය’ ට
පසුබිම් සංගීතයෙන් භාතිය සහ සන්තුෂ් එක්වෙති.
මාලිනී ෆොන්සේකා නිළි රැජිණගේ සිනමා දිවියේ සන්ධිස්ථානයන් අලලා නිර්මාණය වන මෙම සිනමාපටයෙහි තාරුකා වන්නිආරච්චි, දමිත් විජේතුංග, ජනිත් වික්‍රමගේ, සුදීක්ෂා සමාධි, සෙනාලි ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, වසන්ත කුමාරවිල, හෂාන් රත්නායක, අමිල කරුණානායක, දිනෙත් ද සිල්වා, විදුරවි හංසජ, අනුරාධ එදිරිසිංහ සහ ලවන් අභිෂේක් ඇතුළු ජනප්‍රිය නවක නළු නිළියන් සමඟ ප්‍රවීණයන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.
මුහුරත් උලෙළ අවසානයේදී සංවිධායක මඬුල්ල කියා සිටියේ, ඉතා ඉක්මනින් මෙහි රූගත කිරීම් නිම කර ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට කටයුතු කරන බවයි. සිංහල සිනමාවේ අසහාය රැජිණියට කරන උපහාරයක් බඳු මෙම නිර්මාණය සිනමා ලෝලීන්ට නිසැකවම නැවුම් අත්දැකීමක් වනු නොවනුමානය.

TEXT – මධුර ප්‍රභාත්
