ඔහුගේ පුදුමය සාධාරණය.
හදිසියේම ආවෙ දුලාගෙ නැන්දලගෙ ගෙදර යන ගමන්. අපිට හිතුණා ඔයාලගෙ අප්පච්චිත් බලල යන්න. ආකර්ෂණා කීවාය.
“ඉතින් කියන්න තිබුණනේ එනවා කියල.” විස්මය මැඬ ඔහු වචන එකතු කළේය.
” නෑ ප්ලෑන් කරලා ආපු ගමනක් නෙමෙයි.”
දුලා කීවේ සත්‍ය සඟවමිනි.
“කොහොමටත් ආකර්ෂි දන්නෙත් නෑ. මේක ක්ෂණික තීරණයක්.
ඇය නිදහසට කරුණු කීවාය.
කුඹුරේ සිට අරවින්දලාගේ ගෙදර එන විට එහි අමුත්තියක්ද වූවාය. ඇය අරවින්දලාගේ ඥාතිි නැඟණියකි.
“මේ නදීෂා දුවටත් මම එන්න කීවා.
උදවු වෙන්න.”අරවින්දගේ අම්මා කීවාය.
සියලු දෙනා එක්ව දිවා ආහාරය සැකසූහ. කල් ඇතුව වැඩ අවසන් කර ඇළෙන් නාගත් අරවින්ද නිෙවසට ගොඩවැදුණි.
සුහද කතාබහ අවසන්ව, අව්ව කෙමෙන් පහව යද්දී ඔවුහු මහමළුව වඳින්නට සූදානම් වූහ. ඒ යුවතියන්ගේ යෝජනාව ස්ථිර කරමිනි.දුලානි, යුවළට ඉඩ දෙමින් ඉදිරි අසුනෙහි ඉඳ ගත්තාය. අරවින්දගේ වත මහන්සියෙන් හෙම්බත්ව තිබුණි. ඇගේ දෑතට ඔහුගේ දෑතෙහි කරගැට හොඳින් හඳුනා ගන්නට හැකි විය.
ආකර්ෂණාගේ දෑතම අරවින්ද සිය මුවට ළංකළත් සැණින් හෙමින් උකුළ මත තැබීය.ඒ රියැදුරුට කන්නාඩියෙන් පෙනෙතැයි වූ හැඟීමෙනි.
“ඔයා ගොඩක් මහන්සි වෙනවා.” ඇය කීවාය.
මහ මළුවට පා තැබූ ඔවුහු ශ්‍රී මහ බෝධිය වන්දනා කරගත්තෝය. ආකර්ෂණා කිසිදු කරදරයකින් තොරව සිය අපේක්‍ෂාවන් ඉටුවන්නට ප්‍රාර්ථනා කළාය. ඔවුහු රුවන්වැලි සෑය වෙත ළඟා වූහ. බැස යන හිරු රශ්මිය රුවන්වැලි දාගැබ මුඳුනේ චූඩාමාණික්‍යය වෙත විදාලීය. රන්වන් හිරු රැසින් බැබළෙන කිරි පබළුවන් දාගැබ, මහත් ශාන්ත වූ ස්වරයක් ගෙන එනු ලැබිණි. නිසංසලේ වන්දනා කරමින් පැයක් පමණ ඔවුහු ඔවුන්ගේ ලෝකවල ආගම ඇදහූහ.
“හරිම ශාන්තයි මෙහෙම ඉන්දැද්දි පුදුම සැනසීමක් දැනෙනවා අරවින්ද.
මම ආසයි රැයක් එළිවෙනකම් රුවන්වැලි සෑය ළඟ මෙහෙම ඉන්න”. ඇය කීවාය.
“ඔව් දවල්ට පොළොව රත් වුණත් රෑට හරිම සිසිල්. මෙහේ හුඟාක් අය පෝයදා නොවුණත් පූජාවන්ට එනවා.”ඔහු කීය.
“අපි දැන් යන්න ඕනැ.
දුලාලගෙ නැන්දල අපි එනකම් මඟ බලාගෙන ඉන්නවා.” ඇය කීවාය.
බිඳෙන් බිඳ අඳුර ගලා එමින් තිබුණි. මෙවර යෝජනාව ආකර්ෂණාගෙනි. ඒ තිසා වැවේ මොහොතක් රැඳී යන්නටය. පොහොය නොවුණත් ළාසඳ මෝදුවෙමින් තිබුණි.
තිසා වැවේ ජලය ඇගේ හදවත සේම මතුපිටන් නිසලය. ඇතුළතින් ගැඹුරුය.
ඇගේ දෑතට ඔහුගේ රළු දෑත් හමුවුණි. හදවතට බරක් වැටුණා වගෙයි. ඇය හුස්මක් ගත්තාය. ඒ හුස්ම දිගුය. ඇය කර ගැට දෑත් සෙමෙන් පිරිමැද්දාය. ඔහු සුළඟට ඇගේ නළල මත රැඳුණු කියඹුවැලක් සියතින් මෑත් කළේය. ඇතුළාන්තයෙන් ආ හුස්ම ඔහු පිටකළේද ඇයට නොදෙවැනිවය. ඔවුනොවුන්ට සමුගන්නට වෙලාවය. ඔහු ඇයගේ නළල මත හාදුවක් තැබීය.ඇය ඔහුගේ ළයට ළංවී මුහුණ තබා මොහොතක් නිසලව සිටියාය.
“අපි දැන් යන්න ඕනෑ.”තව මිනිත්තුවක් හිටියා නම් හොඳ යැයි සිතූවත් ඇය එසේ නොකීවාය.
“යන්න දෙන්න ලෝබයි.”
ඒ ඔහුය. මේ මොහොතෙන් මිදීම දෙන්නාටම ලෝභය.
“අපි යන්නම් කියමින් “ඇය මුදුව ඒ දෑත් සිප ගත්තාය. ඒ වචනවල ඇගේ අභ්‍යන්තරික හැඟීම් එක්ව තිබුණි.
නැන්දා පෙර මඟට වී සිටියාය. ආගිය කතා බස් බොහෝය. ගමන් වෙහෙස මඳක් නිවී ගියේ ඇඟ පත සෝදා ගැනීමෙන් අනතුරුවය. නැන්දා ගෙනෙන ලද තේ එක තොල ගාමින්මගෙවී ගිය උණුසුම් මොහොත පිළිබඳව ඇය මෙනෙහි කළාය.
නැන්දා විසින් රාත්‍රී ආහාරය ප්‍රණීතව සකසා තිබුණි. බදින ලද වැව් මාළු, තිබ්බටු බැඳුමක්, මඤ්ඤොක්කා ඇතුළු තවත් බොහෝ දෑ ඊට එක්ව තිබුණි. ගමේ කෑම ඔවුන්ට ගෙනාවේ ප්‍රණීත රසයකි.
පසුදා උදයේ යළි ගමන් ඇරඹිණි. මහන්සිය නිසා වැඩි කතාබහක් නොවුණ අතර ආකර්ෂණා තුළ නේක සිතිවිලි පහළ විය. එකී සිතිවිලි අතර එක්තරා සිතිවිල්ලක් තදබල ලෙස කැකෑරෙමින් වැඩුණි.
අරවින්දගේ මව උදවුවට කැඳවූ යුවතිය කවුද?
ඇය අප දෙස විමසිල්ලෙන් බැලුවේ ඇයි?
උඩමළුවට යන ගමනට එක්වීමට කැමැත්තෙන් සිටි ඇයව අරවින්ද විසින් නැවැත්වූයේ ඇයි?
මට අරවින්දව විශ්වාස කරන්න පුළුවන්ද?
විකාර රූපයේ සිතුවිලි යටි සිතෙහි හොල්මන් කරන්නට විය. ඒවාට පිළිතුරු සොයන්නට පොරබැදුව මුත් ඇය නිහඬවම සිටියා ය. දුක සතුට කැළතුණු මතක අහම්බයක් ලෙස හෝ ආකර්ෂණා දැකීම අරවින්දට ගෙනාවේ සියුම් සතුටකි. ඒ සතුටෙහි සතුට මෙන්ම සියුම් ශෝකයක් ද වූ බව ඔහුට දැනුණි. ඒ ඇගෙන් වෙන්වීමේ මොහොත ඉක්මන් වීමය.
“තව ටික වෙලාවක් ඇය සමඟ තනිවන්නට තිබුණා නම්” ඔහු සිතීය.
“ඒත් ඇයි මේ දෙන්න නොකියාම ආවෙ. ඇත්තටම වුවමනාව දුලානිගේ නෑ ගෙදර යන්නමද?
නැත්නම් මගේ වගතුග බලන්නද
ඒත් මගේ හැම දේම ආකාෂි එක්ක කියල තියෙනවනේ.”
අරවින්ද සිතුවේය.
අප්පච්චි අසනීපෙන් බව, මල්ලි කැම්පස් යන්න බලාගෙන ඉන්න බව, ගෙදරට එකම ආදායම කුඹුර වපුරා ගත්තොත් බව මේ සියල්ල තමා විසින් පැහැදිලිව ඇයට පැවසූ බව යළි ආවර්ජනය කළේය. තමන් පැවසුවේ මුසාවක්දැයි නිරීක්ෂණයට මේ අනපේක්ෂිත ගමන යොදා ගන්නට ඇතැයි අන්තිමට හිතුව මුත් එය සිතින් අමතක කිරීමට උත්සාහ කළේය.
එදා හවස මහමළුව වැඳ පුදාගෙන ආකර්ෂණාලා පිටත්ව ගිය පසු බසයකට නැඟ ගත් අරවින්ද නිෙවසට එන විට රෑ බෝ වී තිබුණි. ඒ වන විටත් නදීෂා අම්මා සමඟ කතාවට වැටෙමින් ගෙතුළ සිටියාය.
“ආ මෙයා තාමත් මෙහෙද?”ඇසුවේ සිතෙහි වූ අකැමැත්ත සඟවා ගනිමිනි.
” ඔව්… ලොකු පුතා එනකම්ම ඉඳලම යනවා කිව්වේ.”
අම්මා පිළිතුරු දුන්නාය. දිවා කාලයේ ගත වෙහෙසා වැඩ කිරීමත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක සංකාවත් ඔහු ගතත් සිතත් වෙළාගෙන තිබුණි. ඔහුට අවශ්‍ය තිබුණේ මොනවා හෝ කුසට දමා ඇඳට යාමටය.
” මේ කෙල්ලගේ දැඟලිල්ලට ආකාෂි මොනවා හිතුවද දන්නෑ.”
ඔහුගේ හිත කීය. මුහුණ කට සෝදා, කුස්සියට ගිය ඔහුට අම්මා බෙදා දුන් බත් පිඟාන ද කැටිව ඉදිරිපසට පැමිණියේය. ඒ පසුපසින්ම ඇදී ආ නදීෂා පසුපසින් සෙවණැල්ලක්ව පැමිණ ඔහු ඉදිරියේ වාඩිගත්තාය.
“නංගි බත් කාලාද?”
ඇසිය යුතු යමක් නැති හෙයින් ඔහේ කටට ආ හිස් වදන නිදහසේ යන්නට ඉඩ හැරියේය.
“ඔව් මං බත් කෑවා. ඒත් ඔයා කටක් කවනවා නම් හා .”
“අනේ මේ… විකාර නැතිව ඉන්න.”
ඔහු කීවේය.
” ඇත්තටම ඔයාගේ යාළුවොද ඒ?”
” වැඩිය කතා නොකළ ලස්සන කෙනා ඔයාගේ කෙල්ලනේ.
ඇත්ත කියන්න.”
ඔහු ඇගේ මුහුණ දෙස බැලුවා පමණි. කටට දෙකට යළි බත් ටික ගිල දමන්නට විය.
” ඇයි ඔයාට කියන්න දෙයක් නෑ නේද ?”
ඔහු දෙස බලමින් ඇය කීවාය.
” ඔව් ඉතින්.. මාවත් මඟහැරලා රුවන්වැලි සෑයට ගියේ ඒකනේ.”
ඇය නෝක්කාඩු කීවාය.
“ඔයාට පිස්සුද නංගි. වාහනේ ඉඩත් නැහැ. අනික ආපහු එද්දි තට්ට තනියම? ඒ අය මොනවා හිතයිද? අනෙක ඔයා ගිහින් නැති තැනක් නෙමෙයි නේද? ”
ඔහු හේතු කීය.
“අනේ ලොකු පුතේ.. කාල ඉවර නම් මේ කෙල්ල ඇරලලා එන්නකෝ.
දැනුත් රෑ වෙලා ….පුතා එනකම් කිය කියා ඔය හිටියේ. හේරත් මාමලා බයවෙලා ඇති. මොකද සුනංගු කියලා.”
අම්මා කීවාය.
තවත් කොටසකින් හමුවෙමු
