නිවෙසේ හරිත අවකාශය මඟින් ලැබෙන ඇසට ප්‍රිය දසුන, කාර්යබහුල ඔබේ දිවියට මහත් වූ සැනසීමක් එක් කරයි. ඔබේ නිවෙසේ පාළු ස්වභාවයක් ගන්නා තාප්පයක් හෝ බිත්තියක් සජීවී හරිත
බිත්තියක් බවට පත් කරගැනීම ඒ සඳහා ඇති කදිම විසඳුමයි. නිවහනට අලංකාරයක් මෙන්ම ස්වාභාවික සිසිලසක් එක් කරන, බිත්ති ආවරණය සඳහා යොදා ගත හැකි ජනප්‍රිය වැල් සහ ශාක විශේෂ ගණනාවක් ඇත. පාර්තෙනොසිසස්, ට්‍රැකෙලෝස්පර්ම්, අයිවි, නිල් තම්බොජියා, බෝගන්විලා, ගෝල්ඩන් බෙල්, බළල් පහුරු, වර්නෝනියා එලියාග්නිෆෝලියා වැනි ශාක විශේෂ නිවෙස්වල තාප්ප අලංකාරණය සඳහා යොදා ගනී. මෙම ශාක තාප්ප දිගේ වැවීමට පමණක් නොව ගෙවත්තේ බිත්ති, වැටවල්, ආරුක්කු මාර්ගවල ද ආකර්ෂණීය ලෙස සකස් කරගත හැකි වේ.
මෙම ශාක නඩත්තු කිරීම ද අවශ්‍ය වේ. විශේෂයෙන් ඉහළට ගමන් කරන ශාක පළමු වසරේ දී ජලය හොඳින් සැපයීම සහ සාමාන්‍යයෙන් වසන්තයේ දී අඛණ්ඩව කප්පාදු කිරීම, මියගිය දැව ඉවත් කිරීම, වර්ධනය පාලනය කිරීම සහ මල් පිපීම උත්තේජනය කිරීම සිදු කළ යුතු වේ. ප්‍රධාන වශයෙන් ආධාරක භාවිත කරමින් වැල් සුරක්ෂිත කිරීම, තෙතමනය සඳහා වසුන් යෙදීම සහ ඝන, අඩු වර්ධනය දිරිමත් කිරීම සඳහා තිරස් අතට කඳන් පුහුණු කිරීම සිදු කිරීමෙන් ඔබේ නිවෙසේ හරිත තාප්පය අලංකාර කර ගත හැකි වේ. ලංකාවේ මෙවැනි ශාක වර්ග (climbing plants) කිහිපයක් ගැන අපි හඳුනා ගනිමු.
නිල් තම්බොජියා (Blue Trumpet Vine)
ඇකැන්තසී (Acanthaceae) ශාක පවුලට අයත් නිල් තම්බොජියා හෙවත් Thunbergia laurifolia යනු ලොව වඩාත් ආකර්ෂණීය නිල් පැහැති මල් හටගන්නා වැල් වර්ගයකි. ඉන්දියාව සහ මැලේසියාව මෙම ශාකයේ නිජබිම වේ. නිල් තම්බොජියා ශක්තිමත් මෙන්ම ඉතා වේගයෙන් වර්ධනය වන බහුවාර්ෂික වැල් වර්ගයක් ලෙස ප්‍රසිද්ධය. අඟල් තුනක් පමණ පළල, දර්ශනීය හොරණෑ හැඩැති දම් හෝ නිල් පැහැති මල් පොකුරු වශයෙන් හටගනී. සරත් ඝෘතුවේ සිට වසන්තය දක්වාම මෙහි පුෂ්ප මංජරියන් දැකගත හැකිය. පටු, දිලිසෙන, තද කොළ පැහැති පත්‍රවලින් ගහන මෙම වැල, ඕනෑම වැටක්, තාප්පයක් හෝ ලාම්පු කණුවක් අලංකාර ලෙස වසා ගැනීමට සමත් වේ.
වගාව සහ නඩත්තුව: පූර්ණ හිරු එළිය ප්‍රිය කරන නිල් තම්බොජියා ශාකය සාමාන්‍ය ගෙවතු පසෙහි හොඳින් වැඩෙන අතර, පසෙහි තෙතමනය රඳවා ගැනීම සඳහා සතියකට වරක් ජලය දැමීම ප්‍රමාණවත් වේ. අධික සීතලට සංවේදී වේ. නඩත්තුව ඉතා පහසු වීමත්, සශ්‍රීක පත්‍ර පලසක් ලෙස වර්ධනය වීමත් නිසා ගෘහස්ථ ගෙවතු අලංකරණයේදී පසුබිම් පඳුරක් ලෙස මෙන්ම ආරුක්කු නිර්මාණය මෙන්ම තාප්ප ආවරණය සඳහා ද නිල් තම්බොජියා කදිම තේරීමකි.
බළල් පහුරු (Cat’s Claw Vine)
නිවර්තන අමෙරිකාව නිජබිම කරගත් බළල් පහුරු හෙවත් Dolichandra unguis-cati යනු බිග්නෝනියාසී (Bignoniaceae) පවුලට අයත් ශාකයකි. අතිශය වේගයෙන් වර්ධනය වන දැවමය ඉහළට ගමන් කරන වැල් වර්ගයකි. හවායි දූපත්හි, මෙය ඇති තදින් බදාගන්නාසුලු ස්වභාවය නිසාම ‘හග්-මී-ටයිට්’ (Hug-me-tight) ලෙස ද හඳුන්වනු ලබයි. මීටර් 30ක් තරම් ඉහළට වර්ධනය විය හැකි මෙම ලියානා වර්ගය, බිත්ති හෝ ගස් මත නැඟීම සඳහා බළලෙකුගේ නියපොතුවලට සමාන කුඩා කොකු වැනි ගුවන් මුල් භාවිතාකරයි. ‘බළල් පහුරු’ යන නම මෙයට ලැබී ඇත්තේ ද එම සුවිශේෂී පිහිටීම නිසාමය. වසන්තයේ අග භාගයේදී මුළු වැලම වසාගනිමින් හටගන්නා රන්වන් කහ පැහැති හොරණෑ හැඩැති මල්, ඕනෑම පාළු තාප්පයකට හෝ වත්තකට ක්ෂණික දීප්තියක් එක් කිරීමට සමත් වේ.
වගාව සහ නඩත්තුව
බළල් පහුරු පූර්ණ හිරු එළියට සහ නියඟයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි. වැලි සහිත හෝ මැටි සහිත පසෙහි පහසුවෙන් වැඩේ. මෙය ඉතා වේගයෙන් පැතිරෙන බැවින්, බිත්තියට අධික බරක් වීම වැළැක්වීම සඳහා සෑම වසර කිහිපයකට වරක් වසන්තයේ දී කප්පාදු කිරීම අත්‍යවශ්‍ය වේ. බළල් පහුරු අලංකාර ශාකයක් වුවද, එහි ඇති අධික ආක්‍රමණශීලි ස්වභාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මෙය වනාන්තර පද්ධතිවල අනෙකුත් ගස් ගෙල සිරකරමින් විනාශ කරන ආක්‍රමණශීලි ශාකයක් ලෙස ද හඳුනාගෙන ඇත. එබැවින් ඔබේ ගෙවත්තේ මෙය වගා කරන්නේ නම්, එය පාලිත මට්ටමක පවත්වා ගැනීමට වගබලා ගත යුතුය.
ගෝල්ඩන් බෙල් (Nong Nooch Vine / Golden Bell)
තායිලන්තයේ ලෝක ප්‍රසිද්ධ නොන්ග් නොච් උද්භිද උද්‍යානයට ගෞරවයක් ලෙස නම් කර ඇති මෙම වැල් වර්ගය උද්භිද විද්‍යාත්මකව Petraeovitex bambusetorum ලෙස හැඳින්වේ. ලැමියාසී (Lamiaceae) හෙවත් මින්ට් පවුලට අයත් වේ. මැලේසියාවට සහ බෝර්නියෝ දූපත්වලට ආවේණික වූවකි. අසාමාන්‍ය පෙනුමකින් යුත් මල් හටගන්නා ගෝල්ඩන් බෙල් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ද දැකගත හැකි වේ. මෙම ශාකයේ සුවිශේෂත්වය වන්නේ එහි ඇති ‘පෙන්ඩුලස් රේසීම්’ හෙවත් පහළට එල්ලා වැටෙන පුෂ්ප මංජරියයි. මෘදු කහ පැහැති පත්‍ර වැනි කොටස් අතරින් මතුවන ක්‍රීම් සුදු පැහැති මල් පොකුරු, අඩි 2 සිට 4 දක්වා දිගට කඳුරැල්ලක් මෙන් පහළට විහිදී යයි. වසන්තයේ සිට සරත් සමය දක්වා මාස ගණනාවක් පුරා නොකඩවා මල් පිපෙන නිසා ඔබේ නිෙවසට අලංකාරයක් ගෙන දේ.
TEXT – ඩිල්කි සමරනායක
