Monday, May 25, 2026
Epaper
Home පුවත්යකඩ රාමු මතින් ලෝක වාර්තාවක්

යකඩ රාමු මතින් ලෝක වාර්තාවක්

කාංචනාගේ අඩි 65ක තොරණ

by Shanaka Lakehouse

සාමාන්‍යයෙන් “තොරණක්” යැයි කී සැණින් අපේ මතකයට එන්නේ දැවැන්ත යකඩ බට, ලී කොටන් සහ දහස් ගණනක් වූ විදුලි බුබුළු සමඟ ගැටෙන දේහධාරී පිරිමින් පිරිසකි. එහෙත්, ඒ සාම්ප්‍රදායික මතය මුළුමනින්ම කණපිට හරවමින්, අඩි 45, 50 උස දැවැන්ත යකඩ රාමු මතට නැඟී තොරණක සම්පූර්ණ විදුලි පරිපථය සහ වයරින් කටයුතු තනිවම සිදු කරන අපූරු කාන්තාවක් අපට හමු විය. ඇය නමින් කුසුම් කාංචනමාලා ය.

පසුගිය වසරේ අඩි 45ක තොරණක් තනා රටම මවිත කළ ඇය, මෙවර (2026 වසරේ) සූදානම් වන්නේ ලාංකේය කාන්තා නාමය ලෝක වාර්තාවකට එක් කිරීමටයි. ඒ, “ලෝකයේ උසම සහ විශාලතම තොරණක් කාන්තාවක් විසින් නිර්මාණය කිරීමේ” යන සුවිශේෂී ලෝක වාර්තාවකට (Serendib World Records) හිමිකම් කියමිනි. උසින් අඩි 65ක් සහ පළලින් අඩි 70ක් වන මෙම දැවැන්ත තොරණේ සම්පූර්ණ විදුලි රටා සහ ආලෝක සැලසුම් සියල්ල ඇයගේම නිර්මාණයක් වීම තවත් සුවිශේෂී කරුණකි.

සැබවින්ම මෙය සාමාන්‍ය නිර්මාණයක් නොව, කාන්තාවකගේ නොපසුබට ධෛර්යය සහ අසීමිත හැකියාව ලොවටම කියාපාන මහා වෑයමකි.

“මුලින්ම කියන්න අපිට, කාන්තාවකට ආගන්තුක වුණු මේ සංකීර්ණ තොරණ නිර්මාණ කලාවට ඔබ පිවිසෙන්නේ කොහොමද?”

“ඇත්තටම මම මේ කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 10ක් 15ක් විතර වෙනවා. මගේ මහත්තයා තමයි තොරණේ මුල ඉඳලම ව්‍යූහය හදන්නේ. ඉස්සර මම කළේ එයාට උදවු කරන එක. ඒත් මට ඕ‍ෙන වුණා යම් කිසි දෙයක් කරනවා නම් ඒක හරියාකාරව, පිළිවෙළකට සහ මට දැනෙන විදිහටම කරන්න. වෙන කෙනෙක් කරනකම් බලාගෙන ඉන්නවාට වඩා මම ම ඒ දේ ඉගෙන ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි මීට අවුරුදු තුන හතරකට කලින් මම තීරණය කළේ තොරණේ වයරින් සහ ලයිට් දාන එක සම්පූර්ණයෙන්ම මම ම කරන්න. ගිය අවුරුද්ද වෙද්දී තොරණ සම්පූර්ණ වයරින් එක කළේ මම.”

“කාන්තාවක් විදිහට අඩි 40ක්, 50ක්.. එහෙමත් නැත්නම් මෙවර අඩි 65ක් උසකට නඟින්න ඔබට බයක් දැනෙන්නේ නැද්ද?”

“කිසිම බයක් නැහැ. මට හොඳ ආරක්ෂකයෙක් මගේ ළඟම ඉන්නවා, ඒ මගේ මහත්තයා. එයා තමයි මට මේ හැම දේකටම ශක්තිය දෙන්නේ. මම අඩි 45, 50 තොරණෙත් උඩටම නැඟලා තමයි වැඩ කරන්නේ. බිම ඉඳන් බලලා මේක කරන්න බැහැ. අපිම උඩට නැඟලා, හැම වයර් එකක්ම හරි තැනට සම්බන්ධ කරන්න ඕනේ. මම දන්නවා මම කරන දේ නිවැරදි ව කරනවා කියලා, ඒ නිසා මට උස ගැන කිසිම බයක් දැනෙන්නේ නැහැ.”

“මේ දැවැන්ත රාජකාරියේදී ඔබේ පුංචි දියණියන් දෙදෙනාගෙනුත් ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක් කියලා අපි දුටුවා. ඒ ගැනත් මතක් කරමුද?”

“ඇත්තටම ඔව්. මගේ ලොකු දුවට වයස අවුරුදු 11යි, පොඩි දුවට අවුරුදු 9යි. ලොකු දුවට යන්තම් වයස අවුරුදු 3 වෙනකොටම තමයි එයා මේ ලයිට් දාන වැඩවලට උදවු කරන්න පටන් ගත්තේ. අපි මේ තොරණ නිර්මාණයේ වැඩ කරද්දී ලයිට් පාස්සන්නේ, රටා නිර්මාණය, සර්කිට් නිර්මාණය වගේ දේවල වැඩ කරලා දෙන්නේ මගේ දරුවෝ දෙන්නා. අනිත් දරුවෝ වගේ සෙල්ලම් කර කර ඉන්නේ නැතුව, එයාලා මේ සංකීර්ණ වැඩේට ආසාවෙන් උදවු කරනවා. එක අතකින් මහත්තයාගේ හයිය, අනිත් අතින් දරුවන්ගේ උදවුව. මේ දෙකම තියෙන නිසා තමයි මට කිසිම බයක් නැතුව මේ වගේ දැවැන්ත අභියෝගය භාරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. තනියම මේ වැඩේ කරගෙන ගියපු අපි දෙන්නාට අද වෙද්දී සේවකයෝ පස්දෙනකු සමඟ වැඩ කරන්න පුළුවන් තැනක දැන් ඉන්නවා.”

“පසුගිය වසරේ ඔබ දෙපළ කළ ඒ දැවැන්ත නිර්මාණයට සමාජයෙන් නිසි ඇගයීමක් ලැබුණා නේද?

“ඔව්, ඇත්තටම අපේ මහන්සියට සහ මේ කලාවට අපි කරන කැපවීමට මේ අවුරුද්දේ අප්‍රේල් 12 ඉතා ඉහළ ඇගයීමක් ලැබුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වුණු “ජාතික ගෞරව අභිමානී සම්මාන ප්‍රදානෝත්සවයේදී” ‘දෙවිසඳ’ ජාතික සංස්කෘතික පදනම මඟින් අපි දෙන්නාටම ගෞරව නාම පිරිනැමුවා. එතැනදී මගේ ගමනේ ලොකුම ශක්තිය වුණු මගේ සැමියා, මධුසංක සිල්වාට “කලා නිපුණ” සහ “ජාතික අභිමානී” කියන ගෞරව නාමයන් පිරිනැමුවා. මට “විශ්ව ප්‍රසාදිනී” සහ “ජාතික අභිමානී” කියන ගෞරව නාමයන් හිමි වුණා. කාන්තාවක් විදිහට මේ ක්ෂේත්‍රයෙන් එහෙම ඇගයීමක් ලැබීම ගැන මට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.”

“ඔබ මේ වසරේ සූදානම් වන්නේ ලෝක වාර්තාවක් පිහිටුවන්නට බව අපට දැනගන්නට ලැබුණා. මොකක්ද මේ සුවිශේෂී වාර්තාව?”

“ඔව්, මම මේ වසරේ සූදානම් වෙන්නේ “ලෝකයේ උසම සහ විශාලතම තොරණක් කාන්තාවක් විසින් නිර්මාණය කිරීමේ ලෝක වාර්තාව” (Serendib World Record) පිහිටුවන්නයි. සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයෙන් මට ඒ සඳහා නිල වශයෙන් අවසරය ලැබිලා තියෙනවා. අඟුණුකොළපැලැස්ස මහජන ක්‍රීඩාංගණයේ ඉදිකරන්න සූදානම් වෙන මේ තොරණ උසින් අඩි 65ක් සහ පළලින් අඩි 70ක් වෙනවා. මෙහි සම්පූර්ණ විදුලි රටා, ආලෝක සැලසුම්, වඩුවැඩ සහ නිර්මාණාත්මක සැලසුම් සියල්ලම සිද්ධ වෙන්නේ මගේ අධීක්ෂණය සහ මගේ නිර්මාණාත්මක අයිතිය යටතේයි. මම හිතනවා මේක මගේ පෞද්ගලික ජයග්‍රහණයක් වගේම ලංකාවේ කාන්තාවන්ගේ ශක්තිය ලෝකයටම පෙන්නන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා.”

“මෙවැනි විශාල අභියෝගයක් භාර ගැනීමට ඔබට බලපෑ ප්‍රධානම හේතුව කුමක්ද?”

“අපේ සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාන්තාවන්ට කරන්න පුළුවන් රූපලාවණ්‍ය‍ කටයුතු, එහෙමත් නැත්නම් ගුරු වෘත්තිය වගේ දේවල් විතරයි කියලා. මට ඕ‍ෙන වුණා ඒ රාමුව කඩන්න. තොරණක් කියන්නේ යකඩ බට එක්ක, කරන්ට් එක එක්ක කරන මහා දැවැන්ත, අවදානම් වැඩක්. මේ වගේ දෙයක් කාන්තාවකට කරන්න පුළුවන්ද කියලා අහපු අයට, ‘ඔව්, කාන්තාවකට ධෛර්යය තියෙනවා නම් අඩි 65ක් උඩට නැඟලත් මේක කරන්න පුළුවන්’ කියලා ඔප්පු කරලා පෙන්වන්න මට ඕ‍ෙන වුණා.”

“ලෝක වාර්තාවක් පිහිටුවීම කියන්නේ ලේසි පහසු කටයුත්තක් නොවෙයි. මේ ගමනේදී ඔබට ඇති ප්‍රධානතම බාධාව කුමක්ද?”

“මට තාක්ෂණික දැනුම තියෙනවා, හයිය තියෙනවා, නොපසුබට උත්සාහය තියෙනවා. ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආර්ථික අපහසුකම. මේ තරම් දැවැන්ත තොරණක් හදන්න විශාල මුදලක් වැය වෙනවා. ඒ මුදල හොයාගන්න එක තමයි මේ වෙලාවේ මට තියෙන ලොකුම අභියෝගය.”

ශ්‍රී ලාංකේය කාන්තා ධෛර්යය ලොවටම කියාපාන මේ අපූරු කාන්තාවගේ උත්සාහය හුදෙක් ඇයගේ සිහිනයක් පමණක් නොවේ. එය අප සැමගේම අභිමානයකි. අඩි 65ක් ඉහළ අහසේ දිදුලන ඒ ආලෝක රටා නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ඇයට ඇතත්, ඊට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ඇයට නොමැත. එබැවින්, කලාවට සහ කාන්තා ව්‍යවසායකත්වයට අතහිත දෙන ඔබ සැමගෙන්, හැකි පමණින් මෙම ලෝක වාර්තා කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා කුසුම් කාංචනමාලා සහයෝගය පතයි.

අඟුණකොළපැලැස්ස මහජන ක්‍රීඩාංගයේදී මැයි මස 31 වනදා සිට ජූනි 7 දක්වා මෙම අතිවිශාල තොරණ ප්‍රදර්ශනයට නියමිතයි. කාන්තාවකගේ අසීමිත ශක්තිය ලෝකයටම ගෙනයන කුසුම් කාංචනමාලාගේ මේ දැවැන්ත කටයුත්තට සැමගේම ආශිර්වාදය හා සහයෝගය නොඅඩුව ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු!

 

TEXT – ගවේෂ් කළරූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?