දහස් ගණනක් වූ බෞද්ධ පොතපත අතරේ පන්සියපනස් ජාතක පොතට ඇති ඉල්ලුම පුදුමාකාරය. බාල, තරුණ, මහලු වයස් භේදයකින් තොරව ඉමහත් ගෞරවයෙන් පරිහරණය කරන කෘතියක් වූ මෙහි නවතම මුද්‍රණයක් ගැන අපට අසන්නට ලැබිණි.
ඒ ප්‍රවීණ ලේඛකයකු වූ එස්. විජේසුරිය මහතාගේ පුත් භාතිය විජේසූරිය වෙතිනි.
මෙම මස 22 වැනි සිකුරාදා සවස 4.30ට පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලයේ දී මෙලෙස එළි දැක්වෙන සංක්ෂිප්ත පන්සියපනස් ජාතක පොත් වහන්සේට අමතරව ඔහු විසින් රචිත ‘සිහිනෙන් දුටුවෙමි‘ නම් වූ නවතම කෙටි කතා එකතුව ද තම පාඨකයන් වෙත පිරිනමන්නට ඔහු බලාපොරොත්තු වේ. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු භාතිය විජේසූරිය පොත පතට පෙම් බඳින්නේ සිය පියාගේ ආභාෂය ඔස්සේය. විද්‍යා විෂයයන් හැදෑරුව ද පියාණන්ගේ දැඩි කැමැත්ත සහ ආසාව නිසාම ඔහු පියාගේ ලේඛන කටයුතු සඳහා දායක විය. එහි ප්‍රතිඵලයක් ලෙස විජේසූරිය මහතා සහ භාතිය එක්ව දැනට වසර කිහිපයකට පෙර පන්සිය පනස් ජාතක පොතේ සංස්කරණයක් එළි දැක්වූයේය.
නමුත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන්ගේ ඉල්ලීම වූයේ මෙය බෞද්ධ ජනතාවට වඩාත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි නව සංස්කරණයක් කළ යුතු බවයි. එමෙන්ම තරමක් වයස්ගත අයට පරිහරණයට පහසුවන පරිදි අකුරු ප්‍රමාණය විශාල කිරීමටත් යෝජනා විය. ඒ අනුව බෞද්ධ සැදැහැවතුන්ගේ පහසුව තකා එක් ජාතක කතාවක් එක් පිටුවකට එන පරිදි සරල භාෂාවකින් මෙය සංක්ෂිප්ත කිරීමේ වගකීම භාතිය වෙත පැවරුණි.
පන්සියපනස් ජාතක පොතට අමතරව භාතිය විසින් රචිත කෙටි කතා සංග්‍රහයක් ද එදිනට එළිදැක්වෙන අතර ‘සිහිනෙන් දුටුවෙමි‘ යනුවෙන් නම් කළ එය කෙටි කතා හතරකින් සමන්විත වේ. ඊට අමතරව එස්. විජේසුරිය මහතා විසින් රචිත සියලු කෘතින් නැවත මුද්‍රණය කරන්නටත් තමා බලාපොරොත්තු වන බව භාතිය අප සමඟ පැවසීය.
TEXT – චම්පා
