Monday, May 25, 2026
Epaper
Home Highlightsදෙණියායෙන් මතු වූ මොළේ උණ අවදානම

දෙණියායෙන් මතු වූ මොළේ උණ අවදානම

by Shanaka Lakehouse

පසුගිය දිනවල දෙණියාය ප්‍රදේශයෙන් වාර්තා වූ පාසල් දරුවන් අතර පැතිර යන සැකකටයුතු වයිරස් මෙනින්ජයිටිස් (Viral Meningitis) තත්ත්වය පිළිබඳව ඔබ සියලු දෙනාම මේ වන විටත් දැනුවත්ව ඇති. සිසුන් 47 දෙනෙකුට රෝගය වැලඳී ඇති බවට සැක කරන අතර 15 දෙනෙකුගේ රෝගී තත්ත්වය තහවුරු වී තිබීමත්, පාසල් වසා දැමීමට සිදුවීමත් සමඟ මවුපියන් තුළ විශාල බියක් හටගෙන තිබෙනවා.

අද අපි මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ ගැන සවිස්තරාත්මකව කතා කරමු.

Meningitis කියන්නේ මොකක්ද?

Viral සහ Bacterial Meningitis අතර වෙනස

මෙනින්ජයිටිස් කියලා කියන්නේ අපගේ මොළය සහ සුෂුම්නාව වටා ඇති ආරක්ෂිත පටල තුනෙහි ඇතිවන ප්‍රදාහ තත්ත්වයකි.

Viral Meningitis (වයිරස් මෙනින්ජයිටිස්)

මෙය වයිරසයක් මගින් ඇතිවන මෙනින්ජයිටිස් තත්ත්වයයි. බහුලවම දැකිය හැකි මෙනින්ජයිටිස් වර්ගය මෙය වන අතර, බොහෝ විට මෙය එතරම් දරුණු නොවේ. නිසි විවේකය සහ ප්‍රතිකාර සමඟ රෝගීන්ගෙන් බහුතරයක් සති කිහිපයකින් සම්පූර්ණ සුවය ලබයි.

Bacterial Meningitis (බැක්ටීරියා මෙනින්ජයිටිස්)

මෙය බැක්ටීරියාවක් මගින් ආසාදනය වීමෙන් හටගන්නා අතර ඉතාමත් භයානක, ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන තත්ත්වයකි. පැය කිහිපයක් ඇතුළත රෝගියාගේ ජීවිතය පවා අහිමි වීමට හෝ මොළයට ස්ථිර හානි සිදුවීමට මෙය හේතු විය හැක.

Viral Meningitis ඇතිවෙන්න හේතු මොනවද?

වයිරස් මෙනින්ජයිටිස් ඇතිවීමට විවිධ වයිරස් වර්ග හේතු විය හැක:

Non-polio Enteroviruses – වයිරස් මෙනින්ජයිටිස් ඇතිවීමට ප්‍රධානතම හේතුව මෙයයි.

හර්පීස් වයිරසය (Herpes simplex viruses – HSV) – විශේෂයෙන්ම HSV-2 වයිරසය.

කම්මුල්ගාය සහ සරම්ප වයිරසය (Mumps and Measles viruses) – එන්නත්කරණය නිසා මේවා දැන් අඩු වුවත්, තවමත් අවදානමක් පවතී.

පැපොල වයිරසය (Varicella-zoster virus)

ඉන්ෆ්ලුවෙන්සා වයිරසය (Influenza virus)

කොහොමද මේ වෛරස අපේ මොළේ පටලවලට යන්නේ?

මෙය පියවර කිහිපයකින් සිදුවේ:

රෝගියකු කහින විට, කිවිසුම් යවන විට පිටවන කෙළ බිඳිති මඟින් (ශ්වසන මාර්ගයෙන්) හෝ වයිරසය සහිත මලපහ තැවරුණු අත් හෝ ජලය මගින් (ආහාර මාර්ගයෙන්) වයිරසය නීරෝගි අයෙකුගේ ශරීරයට ඇතුළු වේ.

ශරීරයට ඇතුළු වූ වයිරසය උගුරේ හෝ බඩවැල්වල පටක තුළ ගුණනය වීමට (වර්ධනය වීමට) පටන් ගනී.

ඉන්පසු වයිරසය අපගේ රුධිර සංසරණ පද්ධතියට එක්වේ.

අපගේ මොළය ආරක්ෂා කිරීමට Blood-Brain Barrier නමින් විශේෂිත පද්ධතියක් ඇත. නමුත් රුධිරයේ ඇති වයිරසය මෙම බාධකය ජයගෙන මොළයේ සහ සුෂුම්නාව වටා ඇති මස්තිෂ්ක සුෂුම්නා තරලයට (CSF) සහ පටලවලට ඇතුළු වී ආසාදනය ඇති කරයි.

රෝග ලක්ෂණ මොනවාද?

අධික උණ – ශරීරයට වයිරසයක් ඇතුළු වූ විට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයට එරෙහිව සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උණ හටගනී.

දැඩි හිසරුදාව – මොළය වටා ඇති පටල ආසාදනය වී ඉදිමීම නිසා හිස් කබල ඇතුළත පීඩනය වැඩි වේ. මෙය සාමාන්‍ය හිසරුදාවකට වඩා ඉතා තදබල ලෙස දැනේ.

බෙල්ලේ තද ගතිය – මෙය මෙනින්ජයිටිස්වල ප්‍රධානතම ලක්ෂණයකි. මොළයේ සිට පහළට යන සුෂුම්නාවේ පටල ආසාදනය වීම නිසා, නිකට පපුව දෙසට නැවීමේදී දැඩි වේදනාවක් සහ තද ගතියක් ඇති වේ.

ආලෝකය දෙස බැලීමට අපහසු වීම (Photophobia) – ආසාදනය වූ පටල මඟින් ඇසේ දෘෂ්ටික ස්නායුවලට බලපෑම් එල්ල කරන බැවින් දීප්තිමත් ආලෝකය දෙස බැලීම වේදනාකාරී වේ.

ඔක්කාරය හා වමනය – මොළය වටා පීඩනය (Intracranial pressure) ඉහළ යාම හේතුවෙන් මොළයේ වමනය පාලනය කරන මධ්‍යස්ථාන උත්තේජනය වී වමනය ඇතිවේ.

කුඩා දරුවන්ගේ ලක්ෂණ – කුඩා දරුවන්ට මෙම වේදනාවන් පැවසිය නොහැකි නිසා ඔවුන් එක දිගට හැඬීම, කිරි බීම ප්‍රතික්ෂේප කිරීම, අසාමාන්‍ය ලෙස නිදාගැනීම සහ හිස් මුදුනේ ඇති මෘදු කොටස ඉලිප්පී යාම දැකිය හැක.

හඳුනාගැනීමේ පරීක්ෂණ

Lumbar Puncture / Spinal Tap

මෙය මෙනින්ජයිටිස් තහවුරු කිරීමේ ප්‍රධානතම පරීක්ෂණයයි. මෙහිදී කොන්දේ පහළ ප්‍රදේශයෙන් කුඩා කටුවක් ඇතුළු කර මොළය සහ සුෂුම්නාව වටා ඇති තරලයෙන් (CSF) මිලිලීටර කිහිපයක් ලබා ගනී. වයිරස් මෙනින්ජයිටිස් වලදී මෙම තරලය සාමාන්‍යයෙන් පැහැදිලි වේ. නමුත් එහි සුදු රුධිරාණු (විශේෂයෙන් Lymphocytes) වැඩි වී ඇත. බැක්ටීරියා මෙනින්ජයිටිස්වල මෙන් මෙහි සීනි මට්ටම අඩුවන්නේ නැත.

රුධිර පරීක්ෂණ – FBC, CRP වැනි පරීක්ෂණ මගින් ශරීරයේ ආසාදන තත්ත්වයක් පවතින බව හඳුනා ගනී. රුධිර සාම්පල PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් නිශ්චිත වයිරසය කුමක්දැයි හඳුනාගත හැක.

CT හෝ MRI ස්කෑන් – මොළයේ වෙනත් ඉදිමීමක් හෝ හානියක් ඇත්දැයි බැලීමට Lumbar puncture එකට පෙර ස්කෑන් පරීක්ෂණයක් සිදු කරයි.

ප්‍රතිකාර මොනවාද?

වයිරස් ආසාදනයක් බැවින් මීට ප්‍රතිජීවක ලබාදීමෙන් පලක් නොවේ. ප්‍රතිකාර බොහෝ දුරට රෝග ලක්ෂණ පාලනය කිරීමට යොමු කෙරේ.

ප්‍රමාණවත් ලෙස විවේක ගැනීම.

විජලනය වළක්වා ගැනීමට තරල වර්ග

(IV fluids හෝ බීමට ජලය) ලබා දීම.

උණ සහ වේදනාව පාලනය කිරීමට පැරසිටමෝල් වැනි ඖෂධ ලබා දීම.

HSV හෝ Varicella වැනි නිශ්චිත වයිරසයක් නම්, වෛද්‍යවරයකුගේ උපදෙස් මත Acyclovir වැනි ප්‍රතිවෛරස ඖෂධ ලබා දිය හැක.

රෝගයෙන් වැළකීමට කළ යුතු දේවල්

වැසිකිළි යාමෙන් පසු, ආහාර ගැනීමට පෙර සහ කහින/කිවිසුම් යන අවස්ථාවලින් පසු සබන් දා අත් සේදීම. (Enterovirus පැතිරීම වැළැක්වීමට මෙය ඉතා වැදගත්).

වතුර බෝතල්, කෝප්ප, හැඳි ගෑරුප්පු, තුවා හෝ තොල් ආලේපන වෙනත් අය සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින්න.

දොර හැඬල, මේස, සෙල්ලම් බඩු ආදිය නිතර විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝග ලක්ෂණ ඇති අය සමඟ සමීපව ගැවසීමෙන් වළකින්න. රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල් යැවීමෙන් වළකින්න.

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ඇති සරම්ප, කම්මුල්ගාය ආදී එන්නත් නිසි කලට ලබා දීම.

සෞඛ්‍ය බලධාරීන් මේ වන විටත් දෙණියාය ප්‍රදේශයේ තත්ත්වය දැඩි නිරීක්ෂණයට ලක් කර ඇති බැවින් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත. නමුත් දැනුවත්භාවය සහ පූර්වාරක්ෂාව යනු ඕනෑම රෝගයකට එරෙහිව අප සතු හොඳම ආයුධයයි. රෝග ලක්ෂණ දුටු විගස ප්‍රමාද නොකර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කරන්න. ඔබත්, ඔබගේ ආදරණීයයනුත් ආරක්ෂිතව සහ නීරෝගිව සිටීමට නිරන්තරයෙන් සැලකිලිමත් වන්න!

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?