ලෝකය කෙතරම් සන්නිවේදනයෙන්, තාක්ෂණයෙන් සහ ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගියද, මානව සංහතියේ අනාගතය වූ දරුවන් මුහුණ දෙන අඳුරු ඉරණම තවමත් නිමාවී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ජාත්‍යන්තර ළමා ආරක්ෂක සංවිධාන විසින් නිකුත් කර ඇති අලුත්ම දත්ත පෙන්වා දෙන ආකාරයට බාල වයස්කාර දරුවන් අපයෝජනයට ලක්වීම වර්තමානය වන විට ගෝලීය සෞඛ්‍ය සහ සමාජීය හදිසි අනතුරක් දක්වා වර්ධනය වී ඇත.
ළමා අපයෝජනයක් යනු වයස අවුරුදු 18ට අඩු ඕනෑම දරුවකුට, ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට, සංවර්ධනයට හෝ ගෞරවයට හානි පමුණුවන අයුරින් සිදුකරනු ලබන සියලුම ආකාරයේ වැරදි සහ හිංසනයන් වේ. එනම්, දරුවන්ට දරුණු ලෙස තුවාල සිදුකිරීම සහ පහරදීම ඇතුළත් කායික අපයෝජනය, ලිංගික සූරාකෑම සහ අතවර කිරීම් ඇතුළත් ලිංගික අපයෝජනය, දරුවාගේ මූලික අවශ්‍යතා වන ආහාර, නවාතැන්, වෛද්‍ය ප්‍රතිකාර සහ අධ්‍යාපනය අහිමි කරමින් සිදුකරන නොසලකා හැරීම මෙන්ම බැණවැදීම්, තර්ජනය කිරීම් සහ හුදකලා කිරීම් ඇතුළත් මානසික අපයෝජනය යි. මීට අමතරව, වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමඟ අන්තර්ජාලය හරහා දරුවන් සූරාකෑම සහ ළමා ශ්‍රමිකත්වය ද ළමා අපයෝජන ගණයට අයත් වේ. මෙම ඕනෑම ක්‍රියාවක් නිසා දරුවකුගේ පෞරුෂය බිඳවැටෙන අතර, ඔවුහු මුළු ජීවිත කාලය පුරාම දරුණු මානසික පීඩනයන්ට ලක් වෙති.
ලෝකයේ පුරා සිදුවන ළමා අපයෝජන සම්බන්ධව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ‘චයිල්ඩ්ලයිට්’ ගෝලීය ආයතනයේ නවතම දත්ත දරුණු ඛේදවාචකයක් අනාවරණය කරයි. ලොව පුරා සෑම වසරකම දරුවන් මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් විවිධ අයුරින් අන්තර්ජාලය සහ තාක්ෂණය හරහා ලිංගික සූරාකෑම්වලට ලක්වන අතර, ලෝකයේ බොහෝ කලාපවල, දරුවන් තිදෙනකුගෙන් එක් අයකුම තම භාරකරුවන් අතින් දරුණු කායික දඬුවම්වලට ගොදුරු වේ. දකුණු ආසියානු කලාපය තුළ මේ තත්ත්වය අතිශය ඛේදජනක වේ. එහි වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර සෑම දරුවන් 8 දෙනකුගෙන් එක් අයකු කුමන හෝ මට්ටමක අපයෝජනය අත්දැකීමකට මුහුණ දෙන බවද ‘චයිල්ඩ්ලයිට්’ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. දියුණු යැයි සම්මත බටහිර යුරෝපයේ පවා සෑම දරුවන් 15 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම ඉරණමට මුහුණ දෙන අතර, කෘත්‍රිම බුද්ධිය (AI) සහ තාක්ෂණය භාවිත කරමින් දරුවන්ගේ ඡායාරූප ව්‍යාජ ලෙස අසභ්‍ය දර්ශන බවට පත් කර කප්පම් ගැනීම වර්තමාන ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ළමා අපරාධය බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන සිදුවන ආකාරය දෙස බැලීමේදී, එය අප සමාජය වෙළාගත් තවත් එක් නිහඬ වසංගතයක් බව පැහැදිලි වේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නවතම දත්තවලට අනුව, වසරකට ලංකාවෙන් ළමා අපයෝජන සහ හිංසන පැමිණිලි 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වේ. ලංකාව තුළ බහුලවම දැකිය හැක්කේ කායික වධහිංසා පැමිණවීම් සහ ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අතහැර දමා සිඟමන් යැවීමට හෝ ශ්‍රමිකයන් ලෙස සේවයේ යෙදවීමට කටයුතු කිරීමයි. මෙහි ඇති කටුක සත්‍යනම්, මෙරට සිදුවන ළමා ලිංගික අපයෝජනවලින් 80%කටම වගකිව යුත්තේ දරුවා හොඳින්ම හඳුනන, විශ්වාස කරන පවුලේ ඥාතීන්, අසල්වැසියන්, ගුරුවරුන් හෝ වගකිවයුතු භාරකරුවන් වීමයි. මීට අමතරව, මෑතකාලීන දත්තවලට අනුව වසරකට බාල වයස්කාර ගැබ්ගැනීම් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ළමුන් යොදාගැනීම සහ ජංගම දුරකථන හරහා සිදුවන සයිබර් අතවර ද ලංකාව තුළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
ලංකාව තුළ ළමයාව සුරක්ෂිත කරගැනීම සඳහා ස්ථාවර නීතිමය රාමුවක් සහ ආයතනික පද්ධතියක් සකස් කර ඇතත් ඒ පිළිබඳ නිවැරැදි දැනුවත් බවක් සමාජය සතුව පවතී ද යන්න ප්‍රශ්නයකි. එසේම ඒ පිළිබඳ දැනුවත්ව සිටීමද සමාජයක් සතු අත්‍යවශ්‍ය කාරණයකි. 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත මඟින් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම කැපවූ විශේෂ ආයතනයක් පිහිටුවා ඇති අතර, ඕනෑම අපයෝජනයක් පිළිබඳව පැමිණිලි කිරීමට 1929 නමින් පැය 24 පුරා ක්‍රියාත්මක නොමිලේ ඇමතුම් සේවාවක් ද ස්ථාපිත කර ඇත.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය 1995 අංක 22 සහ 1998 අංක 29 දරන සංශෝධන පනත් මඟින් ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, ළමා අසභ්‍ය ප්‍රකාශන සහ ළමා සූරාකෑම් සඳහා වසර 20ක් දක්වා වූ බරපතළ වැඩසහිත බන්ධනාගාරගත කිරීම් සහ දඩ මුදල් පැනවීමට දැඩි ප්‍රතිපාදන සලසා ඇත. එහිදී නීතිය අනුව වරදේ ස්වභාවය සහ වින්දිතයාගේ වයස අනුව දඬුවම් වෙනස් විය හැකි අතර සමහර වරදවලට අවම සහ උපරිම සීමා වෙන වෙනම නියම කර ඇත. එසේම, 1939 අංක 48 දරන ළමුන් හා යොවුන් තරුණයන් පිළිබඳ ආඥාපනත මඟින් වරදට ලක්වන සහ ආරක්ෂාව අවශ්‍ය වන දරුවන් වෙනුවෙන් විශේෂ අධිකරණ සහ පරිවාස රැකවරණ ක්‍රමවේද සකස් කර ඇත. නීතිමය ප්‍රතිපාදන මෙසේ පැවතිය ද,වාර්තාවලට අනුව ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ළමා අපයෝජන නඩු 4,000කට අධික ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ විභාග වෙමින් පැවතීම සාධාරණත්වය ඉටුකිරීම ප්‍රවේගවත් කිරීමට ඇති ප්‍රධාන බාධාවකි.
තත්ත්වය මෙසේ තිබිය දී මෑත කාලීනව ශ්‍රී ලාංකේය සමාජය තුළ ළමා අපයෝජන පිළිබඳ කතා බහ යළිත් කරළියට පැමිණ ඇත. කල දුටු කළ වළ ඉහ ගන්නා වැඩිහිටි ප්‍රජාවගේ හැසිරීම් මත මලක්වන් දරුවකුගේ අනාගතය ගිනි වැදී විනාශ වීම කිසිවිටෙකත් සාධාරණීයකරණය කළ නොහැකිය. කුමන හෝ අනාරක්ෂිත තත්ත්වයක දී දරුවාගේ පසින් සිට ගැනීමට තරම් වැඩිහිටියාට දැනුමක් සහ අවබෝධයක් තිබිය යුතුය. එහෙත් වර්තමාන සිදුවීම් තුළ එම අවබෝධය හෝ වගකීම ඔවුන් බැහැර කර ඇති ආකාරය පැහැදිලිව දක්නට ඇත. සංඛ්‍යාලේඛන සහ නීතිමය තත්ත්වය පිළිබඳ දැන දැනත් උඩ බලාගෙන සිටීම හෝ හීල්ලීම ඔබේ දරුවාගේ අනාගතය ද අනාරක්ෂිත කරන්නකි.
දරුවන්ට සුරක්ෂිත හෙටක් බිහි කිරීම හුදෙක් රාජ්‍යයක හෝ නීතියේ පමණක් වගකීමක් නොව, සමස්ත මානව සමාජයම එක්ව කළ යුතු මෙහෙවරකි. දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් විෂය මාලාව තුළට වයසට ගැළපෙන පරිදි ලිංගික අධ්‍යාපනය සහ තාක්ෂණය ආරක්ෂිතව භාවිත කරන ආකාරයද ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය වේ. එමඟින් තමන්ට සිදුවන වැරැද්දක් හඳුනා ගැනීමටත්, ඊට එරෙහිව “නැත” කීමටත් දරුවා තුළ ආත්ම විශ්වාසය ගොඩනැගේ. මීට අමතරව, මවුපියන් තම දරුවන් සමඟ විවෘතව සන්නිවේදනය කළ යුතු අතර, ඔවුන්ගේ චර්යාත්මක වෙනස්කම් සහ අන්තර්ජාල භාවිතය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතුය. කුමන රටක, කුමන පරිසරයක ජීවත් වුවත් දරුවන් කායික හා මානසික වශයෙන් නීරෝගි, බියෙන් තොර නිදහස් පරිසරයක හැදී වැඩීමට සැලැස්වීම තුළින් පමණක්ම ලෝකය වඩාත් සුන්දර තැනක් කළ හැකි බැවින්, ළමා අපයෝජනයට එරෙහිව හඬ අවදි කිරීම මෙන්ම දරුවාට සුන්දර වර්තමානයක් ලබා දීම සමාජයක් වගවිය යුතු වගකීමක් බව මතක තබා ගත යුතු ය.
TEXT – රුවංගා දිසානායක කැලණිය විශ්වවිද්‍යාලය
