Monday, May 25, 2026
Epaper
Home විශේෂාංගගෘහිණියන් පීඩාවට පත් කරන වැසි දින මැසිවිලි

ගෘහිණියන් පීඩාවට පත් කරන වැසි දින මැසිවිලි

බිත්ති තෙමෙනවාද? වත්ත වතුරෙන් පිරෙනවාද? ඔබේ නිවෙසේ ජල පීඩාවට ස්ථිර විසඳුම්

by Shanaka Lakehouse

සෑම මිනිස් හදවතකම ගැඹුරින්ම නිදන්ගතව පවතින සුන්දරම බලාපොරොත්තුවක් වන්නේ කවදා හෝ තමන්ටම කියා නිවෙසක් ඉදිකර ගැනීමේ සිහිනයයි. එය හුදෙක් ගඩොල්, වැලි සහ සිමෙන්තිවලින් තැනූ ව්‍යූහයක් පමණක් නොව ආදරය, ආරක්ෂාව, සැනසීම සහ පවුලේ උණුසුම කැටි වූ ජීවිතයේ අගනාම ආයෝජනයකි.

වසර ගණනාවක් තිස්සේ දහඩිය හෙළා උපයාගත් මුදල් මෙන්ම, බැංකු ණය වාරිකවලට ජීවිතය ගැටගසා ගනිමින් මිනිසුන් වෙහෙසෙන්නේ තමන්ට සහ තම දරුවන්ට නිදහසේ ජීවත් විය හැකි කුඩා ලෝකයක් ගොඩනඟා ගැනීමටයි. එහෙත් අද වන විට බොහෝ දෙනෙකුට මෙම සුන්දර සිහිනය මහත් පීඩාවක් බවට පත්ව ඇත්තේ නිවෙස ඉදිකළ පසු එළඹෙන පළමු වැසි කාලයේදීම මුහුණ දීමට සිදුවන විවිධ තාක්ෂණික දෝෂ හේතුවෙනි. ලක්ෂ සංඛ්‍යාත මුදලක් වැය කර අලංකාර ලෙස නිම කළ නිවෙසේ බිත්ති තෙමීම, පොළොවෙන් ජලය මතුවීම සහ වත්ත පුරා ජලය රැඳීම වැනි ගැටලු නිසා බොහෝ දෙනෙක් අද වන විට පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි.

“අනේ බලන්නකෝ… ගේ හදලා පදිංචි වෙලා අවුරුද්දක්වත් ගියේ නැහැ… දැන් වැස්සක් ආවම වත්ත පුරාම වතුර රැඳෙනවා, කුස්සිය පැත්තෙන් ගේ ඇතුළටත් වතුර එනවා” යැයි බොහෝ ගෘහිණියන් මැසිවිලි නඟන හඬ අද නිරන්තරයෙන් අසන්නට ලැබේ. තවත් සමහරු පවසන්නේ මහත් පරිශ්‍රමයකින් තෝරාගෙන ඉතා ඉහළ මිලක් ගෙවා ආලේප කළ බිත්තිවල තීන්ත තට්ටු ගැලවී යන බවත්, බිත්ති දිගේ දිය සීරාව මතු වීම නිසා නිවෙස පුරා අප්‍රසන්න දුර්ගන්ධයක් හමන බවත්ය. මෙවැනි තත්ත්වයන් හුදෙක් කාලගුණික විපර්යාස නිසාම සිදුවන දේ නොව, නිවෙස සැලසුම් කිරීමේදී සහ ඉදිකිරීමේදී සිදුවූ බරපතළ තාක්ෂණික වැරදිවල ප්‍රතිඵල බව අප වටහා ගත යුතුය. මේ පිළිබඳව අදහස් දක්වන සිවිල් ඉංජිනේරු තාක්ෂණ උපදේශක අජන්ත කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ බොහෝ දෙනා නිවෙසක් ඉදිකළ පසුව පමණක් කානු පද්ධතිය සහ ජලය බැස යාමේ ක්‍රමවේදය ගැන සිතීමට පෙලඹී සිටින බවයි.

නිවෙසක් සැලසුම් කිරීමටත් පෙර, එනම් ඔබ ඉඩම මිලදී ගන්නා අවස්ථාවේදීම එම ඉඩමේ ජල කළමනාකරණය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. විශේෂයෙන්ම වර්තමානයේ නාගරික පරිසරය තුළ පර්චස් දහයක හෝ පහළොවක කුඩා ඉඩමක නිවෙසක් ඉදිකිරීමේදී වැසි ජලය බැස යාම ඉතාමත් තීරණාත්මක සහ සංකීර්ණ කාර්යයකි. ඉඩම වටා ඉදිවන උස් තාප්ප සහ අනෙකුත් ගොඩනැඟිලි නිසා ජලය ස්වාභාවිකව ගලා යාමේ මාර්ග අවහිර වී ඇති බැවින්, විද්‍යාත්මක සහ තාක්ෂණික සැලැස්මක් නොමැතිව ඉදිකරන ඕනෑම නිවෙසක් අනාගතයේදී ජලයෙන් පීඩා විඳීම වැළැක්විය නොහැකිය. නිවෙසක් සැලසුම් කිරීමේදී ඉඩමේ පවතින ස්වභාවික බෑවුම හෙවත් ‘ස්ලෝප්’ එක පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර වැසි ජලය ස්වභාවිකව ගලා යන දිශාව හඳුනාගෙන ඒ අනුව කානු පද්ධතිය සකස් කිරීම ඉංජිනේරු විද්‍යාත්මකව අත්‍යවශ්‍ය වේ.

බොහෝ දෙනා සිදුකරන ප්‍රධාන වැරැද්දක් වන්නේ ඉඩමේ පවතින ස්වභාවික බෑවුම නොසලකා හරිමින් නිවෙසේ මට්ටම් සකස් කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික වර්ෂා කාලවලදී ජලය බැස යාමට මඟක් නොමැතිව නිවෙසේ බිත්ති අසල රැඳී පවතින අතර එම ජලය අත්තිවාරම හරහා බිත්ති දිගේ ඉහළට ගමන් කිරීම නිසා තීන්ත ගැලවීම සහ බිත්ති දිය සීරාවෙන් පිරී යාම සිදුවේ. වහලයේ සිට ඇදහැලෙන වැසි ජලය පාලනය කිරීම සඳහා විධිමත් පීලි පද්ධතියක් සහ බැස යාමේ බට පද්ධතියක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම ජලය නිවෙසේ අත්තිවාරම අසලට පතිත වීමට ඉඩ නොදී, විධිමත් ලෙස සකස් කළ උරාගන්නා වළකට හෝ ප්‍රධාන කානු පද්ධතියට යොමු කළ යුතුය. එසේ නොමැති වුවහොත් වහලෙන් වැටෙන අධික ජල කඳ නිසා නිවෙස වටා ඇති පස සේදී යාම සහ අත්තිවාරම අස්ථාවර වීම පවා සිදුවිය හැක.

නිවෙසේ ආරක්ෂාව සඳහා එහි පරිමිතිය වටා කානු පද්ධතියක් ඉදිකිරීම අනිවාර්ය කරුණකි. මෙය හුදෙක් සෞඛ්‍යාරක්ෂිත පියවරක් පමණක් නොව, නිවෙසේ ආයු කාලය තීරණය කරන ප්‍රධාන සාධකයකි. මෙම කානු පද්ධතිය මඟින් නිවෙස අසල රැඳෙන ජලය වහාම ඉවත් කරන බැවින් අත්තිවාරම වියළිව තබා ගැනීමට හැකි වේ. තවත් වැදගත් තාක්ෂණික කරුණක් වන්නේ නිවෙසින් බැහැර කරන අපජලය සහ වහලයෙන් එන වැසි ජලය කිසිසේත්ම එකම පද්ධතියකට යොමු නොකිරීමයි. බොහෝ අය වැසි ජලය බැස යන කානුවටම මුළුතැන්ගෙයි අපජලයද මුදා හරින අතර මෙහි ප්‍රතිඵලය වන්නේ කානු පද්ධතිය ඉක්මනින් අවහිර වී වැසි දිනවලදී අපිරිසිදු ජලය නිවෙස දෙසට ගලා ඒමයි. මේ නිසා වැසි ජලය සහ අපජලය බැහැර කිරීම සඳහා වෙනම පද්ධති දෙකක් සැලසුම් කිරීම දිගුකාලීන සහනයක් ලබා දෙයි.

නිවෙස ඉදිකිරීමේදී කානු පද්ධතිය යනු නිවෙසේ ඉදිකිරීම් අවසන් වූ පසු සැකසිය යුතු අමතර අංගයක් නොව එය නිවෙසේ ව්‍යුහාත්මක සැලසුම සමඟම ආරම්භ විය යුතු අත්‍යවශ්‍ය ඉංජිනේරුමය කොටසකි. විශේෂයෙන්ම ගෘහිණියක් ලෙස ඔබ මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා බොහොමයකි. වැසි දිනවලදී මුළුතැන්ගෙය ආසන්නයේ වතුර රැඳීම නිසා ලිස්සා වැටීම් සිදුවිය හැකි අතර, කානු උතුරා යාම නිසා ඇතිවන අපිරිසිදු තත්ත්වය පවුලේ සෞඛ්‍යයටද තර්ජනයකි. නාගරික ප්‍රදේශවල බොහෝ දෙනා තම ඉඩම සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කිරීම හෝ ගල් ඇල්ලීම මඟින් අලංකාර කිරීමට උත්සාහ කළද ඉන් සිදුවන්නේ වැසි ජලය පොළොවට උරා ගැනීමට ඇති අවස්ථාව අහුරා දැමීමයි. මේ නිසා නිවෙස අවට ජලය පිරීමේ ගැටලුව තවත් උග්‍ර වේ.

එබැවින් නිවෙසක් ඉදිකිරීමට පෙර දක්ෂ ඉංජිනේරු තාක්ෂණ උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීම තුළින් මෙවැනි ගැටලු රාශියක් මඟහරවා ගත හැකිය. ඉඩම මිලදී ගැනීමේ සිට එහි මට්ටම් පරීක්ෂා කිරීම, නිසි පීලි පද්ධතියක් තෝරා ගැනීම සහ ක්‍රමවත් කානු පද්ධතියක් සැලසුම් කිරීම යන සියල්ල එකිනෙකට බද්ධ වූ ක්‍රියාවලියකි. නිවැරදි සැලසුමක් නොමැතිව ඉදිකරන ලද නිවෙසක් අනාගතයේදී අඛණ්ඩව අලුත්වැඩියා කිරීමට සිදුවන බැවින් එය ඔබගේ ආර්ථිකයට මෙන්ම මානසික සැනසීමටද විශාල බාධාවකි. ඔබගේ සිහින නිවෙස වැස්සට හඬන තැනක් නොව ඕනෑම වැසි අවස්ථාවකදී පවා ඔබව සුරක්ෂිතව තබන සැබෑ සෙවණක් බවට පත් කර ගැනීමට නම් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙරම ජල කළමනාකරණය පිළිබඳව නිවැරදි සැලසුමකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ යුතුය. එවිට ඔබ මහන්සියෙන් ගොඩනැඟූ ඒ හීන මාලිගාව පරපුරෙන් පරපුරට සුරක්ෂිතව පවතිනු ඇත.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?