සැබෑ දිරිය යනු වැටුණු තැනින් නැඟී සිටීම පමණක් නොව, තමන් ලබාගත් පන්නරයෙන් තවත් දහස් ගණනකගේ ජීවිත ආලෝකවත් කිරීමයි. පොලන්නරුවේ ඈත ගම්මානයක උපත ලබා අද වන විට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ කාන්තා සෞඛ්‍ය උපදේශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් බවට පත්ව සිටින රසිකා නදී ජයසිංහ හෙවත් කාගේත් ආදරණීය “ජානු” යනු එවන් අසාමාන්‍ය පෞරුෂයකි. ඇයගේ ජීවන මාවත හුදෙක් පෞද්ගලික යග්‍රහණ මාලාවක් නොව, සමස්ත කාන්තා පරපුරටම ශක්තියක් සපයන නිහඬ සමාජ මෙහෙවරකි.
අතීතයෙන් පන්නරය ලැබූ
ජානුගේ ක්‍රීඩා දිවියට මූලික අඩිතාලම වැටෙන්නේ පොලන්නරුව ජයන්තිපුර කනිෂ්ඨ විද්‍යාලයෙනි. එහිදී දක්ෂ ක්‍රීඩා දියණියක ලෙස සිය සහජ හැකියාවන් හඳුනාගත් ඇය පසුව ගිරිතලේ මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් ක්‍රීඩා ඉසව් රැසකින් දස්කම් පෑවාය. එහෙත් බොහෝ කාන්තාවන්ගේ ජීවිතවල මෙන්ම විවාහයෙන් සහ දරුවන් දෙදෙනෙකුගේ මවු පදවිය ලැබීමෙන් පසු ඇයද ක්‍රීඩාවෙන් මඳකට ඈත් වූවාය. එහි ප්‍රතිඵලයක් ලෙස අධික ශරීර බර සහ ස්ථූලභාවය නිසා ඇති වූ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට ඇයට සිදු විය.
තමා මුහුණ දුන් එම අසීරු තත්ත්වයම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කරගත් ඇය, නැවතත් ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ තමන්ටම ආවේණික වූ ශෛලියකින් “සුම්බා” (Zumba) සහ ඇරෝබික්ස් (Aerobics) පිළිබඳ පාඨමාලාවක් හදාරමිනි. ඉතා කෙටි කලකින් එම ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ලැබූ ඇය, අද වන විට තිහාරිය, නිට්ටඹුව සහ වතුපිටිවල වැනි ප්‍රදේශවල කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ ව්‍යායාම පාඨමාලා මෙහෙයවමින් සුවිශේෂී සේවාවක් ඉටු කරයි.

ශක්තියේ සලකුණ: බර ඉසිලීමේ සහ සවි එසවීමේ ජයග්‍රහණ
ජානු යනු හුදෙක් උපදේශිකාවක පමණක් නොව ප්‍රායෝගිකව සිය දක්ෂතාව තහවුරු කළ ක්‍රීඩිකාවකි. ඇය තුළ වූ සැඟවුණු ශක්තිය දුලාන්ජන සිවන්ත ගුරුතුමා සහ සුසෑන් ඒකනායක යන උපදේශකවරුන් ඇයව සවි එසවීමේ (Powerlifting) ක්‍රීඩාවට යොමු කළහ. එසේම Sri Lanka Strength Lifting Federation හි මොහොමඩ් අල්පාස් මහතාගෙන් ද, පුහුණුකරු බන්ධුල වික්‍රමසිංහ මහතාගේ දැඩි කැපවීම මත පුහුණුව ලැබූ ඇය කෙටි කලකින්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රැයක් තමා සතු කරගත්තාය.
2021 ජාතික සවි එසවීමේ ශූරතාව
කිලෝග්‍රෑම් 72 බර පන්තිය යටතේ රන් පදක්කම දිනා ගැනීම.
2021 Strong Woman තරගාවලිය
සමස්ත තරගාවලියේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීම.
2023 Bench Press Powerlifting: කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීම.
ඇයගේ මෙම ජයග්‍රහණ පිටුපස ඇති සැබෑ රහස වන්නේ “ජවය” නොව “ධෛර්යය” බව ඇය නිතර පවසයි. කාන්තාවක ලෙස ශාරීරික ශක්තිය හසුරුවන ආකාරය පිළිබඳව ඇය තැබූ ආදර්ශය අද වන විට බොහෝ තරුණ ක්‍රීඩිකාවන්ට මඟ පෙන්වීමක් වී තිබේ.
පිටියෙන් විනිසුරු අසුනට නව පරිච්ඡේදයක්
ක්‍රීඩිකාවක ලෙස උපරිම ජයග්‍රහණ ලැබූ ජානු, මෑතකදී තවත් වැදගත් තීරණයක් ගත්තාය. ඒ නවක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලබා දෙමින් ක්‍රියාකාරී තරග බිමෙන් සමුගැනීමයි. එහෙත් ඇය ක්‍රීඩාවට සමු දුන්නේ නැත. ඒ වෙනුවට ඇය බර ඉසිලීමේ සහ සවි එසවීමේ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ තරග විනිසුරුවරියක ලෙස නව ගමනක් ආරම්භ කළාය.
දැනටමත් ජාත්‍යන්තර තරග විනිශ්චය සඳහා සුදුසුකම් ලබා ඇති ඇය, තරග පිටියේදී තීරණ ගන්නා නිලධාරිනියක ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට වෙහෙසෙයි. මෙය ක්‍රීඩාවක පරිණතභාවය පෙන්වන අවස්ථාවකි. ක්‍රීඩිකාවක ලෙස පදක්කම් දිනීමට වඩා, ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා විනිසුරු අසුනේ හිඳිමින් ඇය ඉටුකරන සේවය අතිශය ප්‍රශංසනීය වේ.
සංස්කෘතික සීමා බිඳලන සමාජ මෙහෙවර
ජානුගේ මෙහෙවරෙහි අගය වඩාත් ඉස්මතු වන්නේ ඇය සමාජයේ “සැඟවුණු කාන්තාවන්” නීරෝගිභාවය කරා යොමු කිරීමට දරන වෙහෙස නිසාය. විශේෂයෙන්ම සංස්කෘතික බාධක හේතුවෙන් පොදු ස්ථානවල ව්‍යායාම කිරීමට මැළිකමක් දක්වන මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් ඇය ලබා දෙන දායකත්වය අතිශය වැදගත් වේ. ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ සංස්කෘතික වටිනාකම් සුරැකෙන පරිදි ආරක්ෂිත වටපිටාවක ව්‍යායාම පුහුණු පන්ති සංවිධාන කර දීම තුළින්, රෝගී වීමට ඉඩ නොදී නීරෝගි මවු පරපුරක් බිහි කිරීමට ඇය සමත් වී තිබේ.
“එකම සංස්කෘතික රාමුවක හිරවීමට වඩා ඔබේ ජීවිතයට ආදරය කරන්නේ නම්, නීරෝගිව සිටීමට සුළු වේලාවක් හෝ වෙන් කරන්න” යන්න ඇය ඔවුන්ට ලබා දෙන පණිවිඩයයි. දියවැඩියාව, හෘදයාබාධ සහ කොලෙස්ට්‍රෝල් වැනි රෝගවලින් වැළකී සිටීමට ව්‍යායාමය අත්‍යවශ්‍ය බව ඇය තම අත්දැකීමෙන් පෙන්වා දෙයි. ඇය පවසන පරිදි නූතන සමාජයේ රෝගීන්ගෙන් 90% ක් ශාරීරික ක්‍රියාකාරකම් මඳකම නිසා පීඩා විඳිති.
ජාතික අභිමානය සහ ඇගයීම
ඇයගේ මෙම අසීමිත කැපවීම සහ සමාජ මෙහෙවර රජය සහ විවිධ සංවිධාන විසින් ඇගයීමට ලක් කර ඇත. එහි උච්චතම අවස්ථාව වන්නේ ඇය “ස්වයං අභිමානී ලංකා” ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමයි. මෙය ඇයගේ පෞද්ගලික ජයග්‍රහණයකට වඩා, සමාජයේ කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ නීරෝගිභාවය වෙනුවෙන් ඇය ඉටු කරන නිහඬ සේවයට ලැබුණු රාජ්‍ය මට්ටමේ උපහාරයකි.
කාන්තාවන්ට පමණක් වෙන් වූ මෙම පුහුණු පාඨමාලා හරහා ඇය නිර්මාණය කර ඇත්තේ නීරෝගි පරපුරක් පමණක් නොව, තමන් ගැන විශ්වාසයක් ඇති කරගත් ශක්තිමත් කාන්තා ප්‍රජාවකි. වතුපිටිවල ප්‍රදේශයේ ඇයගේ සැමියා වන චමින්ද විජේරත්න මහතාගෙන් ලැබෙන නොමඳ සහයෝගය ඇයගේ මෙම සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් වී තිබේ.
නීරෝගි දිවියක් පිළිබඳ ඇයගේ අවවාදය
ජානු පෙන්වා දෙන්නේ වර්තමානයේ කාර්යබහුලත්වය තුළ මිනිසුන් කාර්යාලවල හෝ නිවෙස්වල එකම තැනක සිරවී සිටීම නිසා ශරීරයට අවශ්‍ය ක්‍රියාකාරීත්වය නොලැබෙන බවයි. අතීත ගැමියා වැඩපළ කරමින් ලබාගත් ස්වාභාවික ව්‍යායාමය අද අපට අහිමි වී ඇත. එබැවින් හිතාමතාම ව්‍යායාම සඳහා කාලය වෙන් කිරීම අත්‍යවශ්‍ය වේ.
“ව්‍යායාම නතර කිරීමෙන් පසු ශරීරය නැවත පැරණි තත්ත්වයට පත්වීමට වඩා වැදගත් වන්නේ ජීවිත කාලය පුරාම නීරෝගිව සිටීමයි. ඔබ ඔබේ ශරීරයට ආදරය කරන්නේ නම්, දිනකට සුළු වේලාවක් හෝ ඔබේ නීරෝගිකම වෙනුවෙන් වෙන් කරන්න,” යන්න ඇයගේ අවසාන පණිවිඩයයි. ශරීරයට දහඩිය දැමීම ලෙඩ රෝග රාශියකට ස්වාභාවික ඔසුවක් බව ඇය අවධාරණය කරයි.
පොලන්නරුවේ සිට ඇරඹි රසිකා නදී ජයසිංහගේ මේ ගමන අද වන විට දහස් ගණන් කාන්තාවන්ට ශක්තියක් වී තිබේ. ඇය සැබවින්ම දිරිය කාන්තාවකි. ඇයගේ කතාව අපට පසක් කර දෙන්නේ තමන්ගේ සැඟවුණු හැකියාවන් හඳුනාගෙන, කැපවීමෙන් කටයුතු කළහොත් ඕනෑම බාධකයක් මැද ලෝකය දිනාගත හැකි බවත්, තමන් ලබන ජයග්‍රහණ සමාජයේ යහපත උදෙසා යෙදවීම සැබෑ මානුෂීය ගුණාංගයක් බවත්ය. ජාත්‍යන්තර විනිසුරුවරියක ලෙසත් දක්ෂ උපදේශිකාවක ලෙසත් ඇය ඉටු කරන මෙහෙවර රටට මහත් ආභරණයකි.
TEXT – දුමින්ද කාරියවසම්
