පහුගිය දවස්වල විශේෂ දින සැමරුම් ගණනාවක්ම තිබුණා ඔබට මතක ඇති. අවුරුදු, උපන් දින සාද අතරේ විශේෂයෙන්ම මවුවරුන්ගේ දින සැමරුම නිසා රෝස මලක් රුපියල් 600ටත් ඉහළට ගියා ඔබ දකින්න ඇති. හැබැයි ඒ උණුසුම පහව යද්දී ඒ මිල ආයෙමත් රුපියල් 150 සීමාවට බහිනවා.
සමහර මල් වවන්නන් මේ මිල බහිද්දී අධෛර්යමත් වෙනවා. හැබැයි මල් ව්‍යාපාරයේ ඇත්තම රහස තියෙන්නේ විකුණන මිලේ නෙවෙයි. නෙළාගත් මල් අස්වැන්නෙන් කීයක් ඔබ නාස්ති නොකර
“නැවුම්ව” පාරිභෝගිකයා අතට පත් කරනවාද කියන එක මතයි.
“මම මල් ටික ලස්සනට කැපුවා. හැබැයි කොළඹට යද්දී පරවෙලා…”
බොහෝ සුළු පරිමාණ මල් වවන්නන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මේකයි. ලොකු සමාගම්වලට තියෙන මිල අධික අධිශීතකරණ පද්ධති අපට නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ විද්‍යාවේම තියෙන “කෙමිකල් රහස්” කුස්සියේ තියෙන දේවල්වලින්ම කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද?
මලක් නෙළූ පසුවත් ඒක හුස්ම ගන්නා සජීවී දෙයක්. රස්නය වැඩි වෙන්න වැඩි වෙන්න මලක හුස්ම ගන්නා වේගය තෙගුණයකින් වැඩි වෙනවා. හරියට මනුස්සයෙක් අව්වේ දුවනවා වගේ. ඉතින් ඒ මලට අවශ්‍ය ශක්තිය සහ ආරක්ෂාව දියරයක් විදිහට ලබා දීමෙන් පර වෙන්නේ නැතිව දවස් 5ක් වුණත් තියාගන්න පුළුවන් කිව්වොත් ඔබට විස්වාස කළ හැකිද?
දැන් වගේ වර්ෂා කාලයකදී මල් පර නොවී දවස් ගණනක් තියාගන්න මේ උපදෙස් ටික ඔබට රත්තරන්වලට වඩා වටිනවා කියලා හිතෙනවා.
අංක 01: මල් “කන්ඩිෂනින්” (Conditioning) කිරීමේ රහස
මල් කපපු ගමන් පැක් කරන්න හදන්න එපා. කපපු මල් අඟල් කිහිපයක් ගැඹුරට වතුර බාල්දියක දාලා අඩුම පැය 12-24ක් සිසිල් තැනක තියන්න. මල තමන්ගේ ඇඟ ඇතුළට වතුර උරාගෙන ශක්තිමත් වෙන්නේ මෙන්න මේ කාලයේදීයි.
අංක 02: ගෙදරදීම හදාගන්නා “මැජික්” දියරය (DIY Preservative Solution)
ලොකු මල් ශාලාවල පාවිච්චි කරන “Cut Flower Food” එක ගෙදරදීම මේ විදිහට හදමු.
පිරිසුදු වතුර ලීටර් 01ක් ගන්න.
ඒකට සුදු සීනි මේස හැඳි 02ක් දාන්න. (සීනි මලට අවශ්‍ය ශක්තිය – Energy ලබා දෙනවා).
නැවුම් දෙහි යුෂ මේස හැඳි 02ක් එකතු කරන්න. (දෙහි වතුරේ pH අගය අඩු කරනවා. එවිට මලට වතුර උරා ගැනීම පහසුයි).
පීරිසි කෝප්පයකට බ්ලීචිං කුඩු (Household Bleach) තේ හැඳි භාගයක් දාන්න. (මේක වතුරේ බැක්ටීරියා ඇතිවීම වළක්වනවා).
මේ දියරය පාවිච්චි කිරීමෙන් මලක නැවුම් බව දවස් කිහිපයකින් දික් කරගන්න පුළුවන්. මල් පොකුර ප්‍රවාහනය කරද්දී, නටුව අවසානය වට කරලා මේ දියරයෙන් පෙඟවූ පුළුන් කැබැල්ලක් තියලා පොලිතින් එකකින් සීල් කරන්න.
අංක 03: “සිනක්කාරම්” (Alum) රහස
ඔබ Hydrangeas වගේ මල් වවනවා නම්, ඒවායේ නටුව කැපූ වහාම කිරි වගේ දියරයක් එනවා. ඒක නටුවේ සිදුරු වහනවා. ඉතින් වහාම නටුවේ කෙළවර සිනක්කාරම් (Alum) කුඩු ටිකක රඳවන්න. එය වතුර ගමන් කරන මාර්ගය වහාම විවෘත කරනවා.
අංක 04: මලට හුස්ම ගන්න දෙන්න (PP Sleeving)
අපේ අය කරන ලොකුම වැරැද්ද තමයි මල් හුළං නොවදින සාමාන්‍ය බෑග්වල දාලා සීල් කරන එක. ඒ ඇතුළේ මල් “දහඩිය” දානවා (Sweating). එතකොට Grey Mold වගේ දිලීර හැදිලා මල් කුණු වෙනවා.
දැලක් වගේ සිදුරු සහිත (Perforated PP Sleeves) බෑග් පාවිච්චි කරන්න. එවැනි බෑග් 100ක මිටියක් රුපියල් 850ක් වගේ වෙන්නේ. මලට හුස්ම ගන්න ඉඩ දීමෙන් විතරක් මලක ආයුෂ 30%කින් වැඩි කරගන්න පුළුවන්. මල් ප්‍රවාහනයේදී සේවාවන් තෝරාගනිද්දී, මල් යතුරුපැදියේ හුළඟට ඇවිදීම (Wind-burn) වැළැක්වීමට දෘඩ කාඩ්බෝඩ් පෙට්ටියක මල් අසුරන්න. යතුරුපැදියක වේගයෙන් හුළඟ වදිද්දී, මලක තෙතමනය 40 ගුණයකින් වේගයෙන් ඉවත් වෙනවා.
ඔබ කොපමණ මල් හැදුවත් වැඩක් නැහැ, ඒවා පාරිභෝගිකයා අතට යද්දී “Bent Neck” හෙවත් බෙල්ල නැමෙන තත්ත්වයට පත් වෙනවා නම්. ඒ නිසා රෝස වගේ මල්වලට රෝස නෙට් (Flower Nets) පාවිච්චි කරන්න අමතක කරන්න එපා.
අවසාන වශයෙන් මේ ටිකත් මතක තියාගන්න. මල් ප්‍රවාහනය කරන්න හොඳම වෙලාව උදේ 8:00ට කලින්. කොළඹ රස්නය අංශක 10කින් වැඩි වෙද්දී ඔබේ ලාභය දියවෙන වේගයත් තෙගුණයකින් වැඩි වන බව අමතක කරන්න එපා.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
