Monday, May 25, 2026
Epaper
Home විශේෂාංගදැවැන්ත රිදී තිරයේ වැඩ කළ මට දැන් පුංචි තිරය පොඩි වැඩියි

දැවැන්ත රිදී තිරයේ වැඩ කළ මට දැන් පුංචි තිරය පොඩි වැඩියි

'සාජන්ට් පුංචිසෝම' අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය

by Shanaka Lakehouse

‘සාජන්ට් පුංචිසෝම’ යනු මේ දිනවල දිවයිනේ සිනමාශාලාවල ප්‍රේක්ෂක හදවත දිනා ගනිමින් තිරගත වන හාස්‍යා්ත්පාදන සිනමා නිර්මාණයකි. මීට වසර දොළෙහකට පෙර රසික හදවත් පිනවූ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස ‘සාජන්ට් පුංචිසෝම’ චිත්‍රපටය නිර්මාණය වී ඇත. විවිධ ශානරවල චිත්‍රපට රැසක් නිර්මාණය කර ඇති ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මෙහි අධ්‍යක්ෂවරයායි. තරුණි අපි, සාජන්ට් පුංචිසෝම චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් මෙන්ම තිර රචනයෙන්ද හැඩ කළ උදයකාන්ත වර්ණසූරිය සමඟ කතාබහට එක්වූවෙමු.

ඔබ කලින් කලට විවිධ ශානරවල චිත්‍රපට කරමින් සිදු කරන්නේ අධ්‍යක්ෂවරයෙක් ලෙස අත්හදා බැලීමක් ද?

අත්හදාබැලීමක් කරන්නේ නෑ. මං පුංචි කාලේ ඉඳන්ම සිනමාව හැදෑරුවා. ඒත් මං කවදාවත්ම සිනමාවේ ශානර හැදෑරුවේ නෑ. ශානර යනු සිනමා විෂයයේ පොදු සංකල්පයක්. සිනමාවේ සිනමාත්මක බව, මූලධර්ම හැම ශානරයකටම පොදුයි. ඉතින් මට අවශ්‍ය වුණේ සිනමාවේ මූලධර්ම සහ අනෙක් කරුණු කාරණා එක් කරගෙන ගුණාත්මක නිර්මාණ කරන්නටයි. එතැනදී මේ ශානරයට අයත් චිත්‍රපට පමණක් කරනවා යැයි මං කිසි දිනක සිතුවේ නෑ. මම විවිධත්වයට කැමැතියි. ඒ වගේම එකම ශානරයක චිත්‍රපට කළා නම් මට චිත්‍රපට තුන හතරකට වඩා කරන්නට ලැබෙන්නේ නෑ. අද බොහෝ විට අප දකින්නේ එකම ශානරයක කොටු වී සිටින අධ්‍යක්ෂවරුන්. එහෙත් මට වුවමනා වුණේ ඒ කොටුවෙන් මිදිලා විවිධ ඉසව් කරා ගමන් කරන්නයි. ඒ නිසා මං හැම ශානරයකම වාගේ චිත්‍රපට කළා. එයින් ඇතැම් චිත්‍රපට ඉතා සාර්ථක වුණා. සමහර චිත්‍රපටවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණේ නෑ. ඒත් මට අවශ්‍ය වුණේ විවිධ ශානරවලින් අධ්‍යක්ෂවරයෙක් ලෙස මගේ හැකියාව පෙන්වීමටයි.

ඔබ නිර්මාණය කරන චිත්‍රපට අතර හාස්‍ය ජනක ශානරයට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩියි නේද?

හාස්‍යජනක චිත්‍රපට සැබැවින්ම ජනප්‍රිය චිත්‍රපට ශානරයක්. එයට වාණිජමය පැත්තෙනුත් හොඳ පැවැත්මක් තියෙනවා. ඉතින් ක්ෂේත්‍රයේ රැඳි සිටින්නට හොඳ ශානරයක් ලෙස හාස්‍ය ජනක චිත්‍රපට ශානරය දැක්විය හැකියි. පවුලේ සැමට එකට හිඳගෙන නැරඹිය හැකි නිසා ඊට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේම හාස්‍යජනක චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීම ඉතා පරිස්සමට කළ යුතුයි. මමත් බහුබූතයෝ, ගින්දරී, කොස්තාපල් පුඤ්ඤසෝම, වර්තමානයේ තිරගත වන සාජන්ට් පුංචිසෝම ඇතුළුව හාස්‍යජනක චිත්‍රපට කිහිපයක්ම කළා. ඉතින් ඇත්තටම ඒ චිත්‍රපට වාර්තාගත ආදායම් ලැබූ බව කිව යුතුයි. ඒ නිසා එය මට මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට රුකුළක් වුණා.

කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සාජන්ට් පුංචිසෝම චිත්‍රපටයේදී වෙනස් වුණේ ඇයි?

ඇත්තටම මං චිත්‍රපටයේ තිර රචනය කළේ මහේන්ද්‍ර පෙරේරාව හිතේ තබාගෙනයි. ඒත් ඒ දවස්වල ඔහුගේ කාර්යබහුලත්වය නිසා ඔහු අතින් මගේ කටයුත්ත අතපසු වන බව මට වැටහුණා. ඒ නිසා මට මේ චිත්‍රපටය කරන්න සිද්ධ වුණේ ම‌හේන්ද්‍රව අත්හරිමින්. ඒ වගේම මේ චිත්‍රපටයේ සාජන්ට් කියන නමට ගැළපෙන හොඳම චරිතය විදිහට අනතුරුව මගේ හිතේ මැවුණේ ප්‍රියන්ත සෙනෙවිරත්නවයි. ඔහුගේ පෙනුම වගේම හැකියාව සහ රංග කෞශල්‍යය මුසු කරගෙන මේ චිත්‍රපටය මං කළා.

 

පොලීසිය ඇසුරින් හාස්‍යා්ත්පාද චිත්‍රපට කිරීම තරමක් පරිස්සමින් කළ යුත්තක්. ඔබ එය කළ ආකාරය ගැන කිව්වොත්..

පොලීසිය කියන්නේ රාජ්‍ය ආයතනයක්. මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා කැපවීමෙන් වටිනා සේවයක ඔවුහු නිරත වෙනවා. ඒ වුණත් පොලීසිය තුළත් විවිධ දූෂණ අක්‍රමිකතා සිදු වන බව අපි නිතර දෙවේලේ දකින බව අමුතුවෙන් කිව යුතු නෑ. ඒත් මට මේ හරහා ඒවා පෙන්වා දීමට අවශ්‍ය වුණේ නෑ. පොලිස් නිලධාරියෙක් කියන්නේ අප සමාජයේ ජීවත් වන අපි වගේම මනුස්සයෙක්. නිල ඇඳුමින් එළියට ගියාම ඔවුනුත් අපි වගේම මේ සමාජයේ පවතින හැම ප්‍රශ්නයකටම මුහුණ දෙනවා. ඒ සියල්ල අරගෙන මම මේ චිත්‍රපටය නිර්මාණය කළා. පොලිස් නිලධාරීන් සේවයේ යෙදෙන විට මුහුණදෙන විවිධ අකරතැබ්බ, ප්‍රශ්න ආදිය පෙන්වා දෙමින් හාස්‍ය මතු වන පරිදි චිත්‍රපටය නිර්මාණය කළා මිස ඔවුන්ව අපහාසයට උපහාසයට ලක් කරන්නට මං නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කර නෑ.

සාජන්ට් පුංචිසෝම චිත්‍රපටයේ කණ්ඩායමෙන් ඔබට ලැබුණූ සහයෝගය ගැනත් කියමු

ප්‍රධාන චරිතය ප්‍රියන්ත සෙනෙවිරත්නට අමතරව රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළා. ඔවුන් මා සමඟ මීට පෙර මගේ නිර්මාණ රැසකම කටයුතු කර තිබෙනවා. ඉතින් ඒ නිර්මාණවලදී වගේම මෙහිදීත් මට ඔවුන් ඇතුළු සමස්ත කණ්ඩායමේම සහයෝගය නිබඳව ලැබුණා.

 

ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ටෙලිනාට්‍ය කලාවෙන්.. දැන් ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවන්නේ ඇයි?

සිනමාවට එන්නට පෙර මං ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. බොහෝ දෙනෙක් ඔය ප්‍රශ්නය මගෙන් අහනවා. ඇත්තටම මුල් කාලයේත් මං ටෙලි නාට්‍ය ගැන හිතුවේ නෑ. මගේ ආසාව වුණේ සිනමාවට අවතීර්ණ වීමටයි. ඒත් මට ඊට කෙළින්ම පය ගැසීම එතරම් පහසු වුණේ නෑ. ඒ නිසා සිනමාවට පිවිසෙන්නට මඟක් ලෙස මං ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය භාවිත කළා. දැන් ටෙලි නාට්‍යවලට මගේ ලොකු කැමැත්තක් නෑ. අද වන විට ටෙලි නාට්‍ය දැඩි ලෙස වාණිජකරණය වෙලා. එක් එක් මාධ්‍යයන්ට වුවමනා ලෙස අධ්‍යක්ෂවරුන් ටෙලි නාට්‍ය නිර්මාණය කරනවා. මං එහෙම කාගේ හෝ බලපෑම් යටතේ වැඩ කරන්න කැමැති නෑ. සිනමාවට වඩා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයේදී ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන්. ඒත් දැවැන්ත රිදී තිරයේ වැඩ කළ මට පුංචි තිරය දැන් පොඩි වැඩියි කියා හිතෙනවා.

ඉදිරියේදී පුඤ්ඤසෝම තෙවැනි කොටසක් ඒවිද?

කාලයත් එක්ක මගේ හිතට කතාවක් ආවොත් තෙවැනි කොටසක් ඒවි. එය අතිශයින්ම ප්‍රබල තිර නාටකයක් විය යුතුයි.

කිසිදු චිත්‍රපටයක් සියයට සියයක් සාර්ථක වන්නේ නෑ. ඉතින් ඒ අඩුපාඩු හදාගෙන අදටත් මේ ක්ෂේත්‍රයේ පය ගසා හිඳීමේ රහස මොකක්ද?

චිත්‍රපටයක දුර්වල අවස්ථා, අඩුපාඩු තියෙන්න පුළුවන්. චිත්‍රපටයේ ඇතැම් තැන්වල ප්‍රේක්ෂකයන් සිත් නොගන්නා තැන් තිබිය හැකියි. ඉතින් චිත්‍රපටයකදී ප්‍රේක්ෂක අවධානය, කැමැත්ත තේරුම් ගැනීම බොහොම අපහසුයි. එය මට පමණක් නොව ලෝකයේ සෑම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ටම පොදු කාරණාවක්. ඉතින් වැදගත්ම දේ අඩුපාඩු හදාගෙන හොඳ නිර්මණ බිහි කරමින් සිනමාවේ රැඳී සිටිමයි.

බින්දු සහ බන්දු අතර ප්‍රශ්නයට ඔබත් පැටලුණා.. දැන් ඒ දෙන්නා මිතුරුයි. ඒ ගැනත් අදහසක් දක්වමු..

බින්දු, මගේ ගින්දරී චිත්‍රපටයේ සුළු චරිතයක් රඟ දැක්වූ නිසා මටත් එහි නීතිමය කටයුතුවලට වසර 4-5ක් උසාවි යන්න සිද්ධ වුණා. බින්දු මගේ චිත්‍රපටයේ වගේම තවත් ඩී.වී.ඩී. චිත්‍රපට ගණනාවකම රඟපාලා තිබුණා. ඒ සියලු දෙනා එක්කම මටත් ඒ නඩුවට සම්බන්ධ වන්න සිදු වුණා. ඉතින් ඒ නඩුව නිෂ්ප්‍රභ කරමින් ගරු අධිකරණය අපව නිදොස් කොට නිදහස් කළා. එය මගේ ජීවිතයේ අමිහිරි අත්දැකීමක්. උසාවි ගානේ රස්තියාදු වෙන්න මං කැමැති නෑ. අනතුරුව බන්දුටත් මේ සිද්ධිය‌ තේරුම් යන්න ඇති. ඒ නිසා ඔවුන් දැන් මිතුරු වෙලා තිබෙනවා. ඇත්තටම නඩුව යන අතරතුරත් මම සහ බන්දු අතර කිසිදු අමනාපයක් තිබුණේ නෑ. අප අතර හැමදාම කලාකරුවෝ ලෙස හොඳ හිතවත් සබඳතාවක් තිබුණා. අද වන විට බන්දු සහ බින්දුත් හිතවත් වෙලා තිබෙනවා. ඉතින් ඒ ගැන කලාකරුවෙක් ලෙස මට ගොඩක් සතුටුයි.

 

TEXT – ආර්.පී. මිහිරාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?