විවාහ මංගල්‍යයක් යනු ඕනෑම තරුණියකගේ සිහිනයකි. එහෙත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ මංගල උත්සවයක් සැලසුම් කිරීමේදී පිරිවැය කළමනාකරණය කර ගැනීම විශාල අභියෝගයකි.
බොහෝ දෙනා මංගල සිහිවටන (Wedding Cake Boxes/Gifts) සඳහා විශාල මුදලක් වැය කරති. නමුත් ඔබ ටිකක් නිර්මාණශීලිව සිතන්නේ නම්, නිෙවසේ ඇති ඉවතලන ද්‍රව්‍ය භාවිතයෙන් ඉතා අඩු පිරිවැයකින්, අලංකාර සහ ගුණාත්මක මංගල සිහිවටන ඇසුරුම් සකසා ගත හැකිය.
මෙවැනි නිර්මාණ මඟින් මුදල් ඉතිරි වනවා පමණක් නොව, ඔබේ මංගල උත්සවයට පෞද්ගලිකත්වයක් සහ පරිසර හිතකාමී වටිනාකමක් ද එකතු වේ. මෙම ඡායාරූපවල දැක්වෙන නිර්මාණ කිහිපයක් සකසා ගන්නා ආකාරය දැන් අපි විමසා බලමු.
පුවත්පත් සහ පැරණි කඩදාසිවලින් නිම කළ ඇසුරුම් (Vintage Paper Bags)
පැරණි ඉංග්‍රීසි පුවත්පත් හෝ පොත්වල කොළ භාවිතයෙන් ඉතා අලංකාර ඇසුරුම් සකසා ගත හැකිය. පුවත්පත් කොළයක් කුඩා බෑගයක් ලෙස අලවා, එහි ඉහළ කොටසට ලේස් එකක් (Lace paper doilies) හෝ රිබන් පටියක් එක් කිරීමෙන් එයට රාජකීය පෙනුමක් ලබා දිය හැකිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පුවත්පතේ ඇති අකුරු රටා නිසා එයට ලැබෙන “Vintage” පෙනුමයි.
රෙදි කැබලිවලින් කළ හැකි නිර්මාණ (Fabric Wraps)
අප නිෙවසේ ඉතිරි වන අලංකාර මල් මෝස්තර සහිත රෙදි කැබලි මේ සඳහා කදිමයි. ටොෆි එතුමක හැඩයට (Candy shape) රෙදි කැබැල්ලකින් කේක් කැබැල්ල එතීම ඉතා පහසුය. දෙපසින් කුඩා නූල් පටියකින් හෝ රිබන් පටියකින් ගැටගැසූ විට එය ඉතා ආකර්ෂණීය වේ. විශේෂයෙන්ම මංගල තේමාවට ගැළපෙන වර්ණ මෙහිදී තෝරා ගත හැකිය.
හණ රෙදි සහ කාඩ්බෝඩ් ඇසුරුම් (Rustic Burlap Style)
ස්වාභාවික පෙනුමකට කැමති අයට හණ රෙදි (Burlap) සහ බ්‍රවුන් පේපර් (Brown paper) භාවිත කළ හැකිය. සාමාන්‍ය බ්‍රවුන් පේපර් කවරයක් මත හණ රෙදි කැබැල්ලක් අලවා, එය හණ නූලකින් ගැටගසා කුඩා ලී හදවත් හෝ මල් කිහිපයක් එක් කිරීමෙන් ඉතා වටිනා පෙනුමක් ලබා ගත හැකිය.
සැලකිලිමත් විය යුතු කරුණු
මෙම නිර්මාණ සිදු කිරීමේදී නිවැරදි නිමාවක් (Finishing) තිබීම අත්‍යවශ්‍ය වේ. රෙදි හෝ කඩදාසි කැපීමේදී එකම ප්‍රමාණයකට කැපීමට වගබලා ගන්න. මැලියම් හෝ ග්ලූගන් භාවිත කිරීමේදී පිටතට නොපෙනෙන ලෙස ඉතා පිරිසුදුව එම කටයුත්ත කරන්න.
විවාහ මංගල්‍යයකට එන අමුත්තන් සැමවිටම අගය කරන්නේ ඔබ කොතරම් මුදලක් වියදම් කළාද යන්න නොව, ඔබ කෙතරම් ආදරයෙන් සහ කැපවීමෙන් ඔවුන් වෙනුවෙන් යමක් කළාද යන්නයි. එබැවින්, ඔබේ මංගල දිනයට පෙර නිෙවසේ සාමාජිකයන් සමඟ එකතු වී මෙවැනි නිර්මාණශීලි දේ සකසා ගැනීමෙන් පවුලේ බැඳීම් ද ශක්තිමත් වේ.
මෙවැනි නිර්මාණ මඟින් ඔබේ මංගල දිනය ද අලංකාර කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. අඩු වියදමකින් වැඩි වටිනාකමක් එකතු කරගන්නා මෙවැනි නිර්මාණ, අනාගතයේදී ස්වයං රැකියාවක් ලෙස දියුණු කරගැනීමට ද ඔබට මඟ පෙන්වනු ඇත.
TEXT – මධුර ප්‍රභාත් ගමගේ
